*අගෝස්තු මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා විදුලි වාහන 27,000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වෙයි
*ඉහළ යන තෙල් මිල සහ නව විමෝචන ප්‍රමිතීන් වෙළෙඳපොළ පරිවර්තනය වේගවත් කරයි
ඔස්ට්‍රේලියාවේ මෝටර් රථ වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට සාම්ප්‍රදායික පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා යමින් පූර්ණ විදුලි මෝටර් රථ (EV) අලෙවිය ඉහළම ප්‍රතිශතය වාර්තා කර තිබේ. ඉහළ යන ගෝලීය ඉන්ධන මිල හමුවේ පාරිභෝගිකයින් ආර්ථිකමය සහ පරිසර හිතකාමී විකල්ප වෙත නැඹුරුවීම මෙම සීඝ්‍ර වර්ධනයට ප්‍රධානතම හේතුව ලෙස ක්ෂේත්‍ර ප්‍රවීණයෝ පෙන්වා දෙති.
පසුගිය අගෝස්තු මාසය තුළදී ඔස්ට්‍රේලියාව පුරා විදුලි මෝටර් රථ 27,000කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇති අතර, එය සමස්ත නව රථවාහන අලෙවියෙන් 24.9%ක ප්‍රතිශතයකි. එම කාලසීමාව තුළ අලෙවි වී ඇත්තේ පෙට්‍රල් වාහන 26,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඩීසල් වාහන 23,600ක් පමණි. ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) රථ ද එක් කළ විට, පසුගිය මාසයේ අලෙවි වූ සමස්ත නව රථ අතරින් 36%ක්ම විදුලි ආරෝපණය කළ හැකි වාහන වීම විශේෂත්වයකි.
වෙළෙඳපොළ වෙනස් කළ සාධක ද්විත්වය

මෙම දැවැන්ත පරිවර්තනය පිටුපස ප්‍රධාන සාධක දෙකක් බලපා ඇත. ඉරාන කලාපයේ උද්ගතව ඇති යුද වාතාවරණය හමුවේ ගෝලීය බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ඉන්ධන භාවිතය අධික පිරිවැයක් සහිත තත්ත්වයකට පත්වීම ඉන් පළමුවැන්නයි. දෙවැන්න වන්නේ මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල පිටාර දුම් විමෝචනය වාර්ෂිකව අවම කිරීම අනිවාර්ය කරමින් පසුගිය වසරේ හඳුන්වා දුන් ෆෙඩරල් වාහන විමෝචන ප්‍රමිතියයි (Federal Vehicle Emissions Standard).
එම ප්‍රතිපත්තිය හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් විවිධ මිල මට්ටම් යටතේ විදුලි මාදිලි රැසක් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මීට වසර හතරකට පෙර සමස්ත අලෙවියෙන් 2%ක්ව පැවති විදුලි වාහන අනුපාතය, පසුගිය වසරේදී 8% දක්වාත්, මේ වන විට හතරෙන් එකක සීමාව දක්වාත් පැමිණ ඇත්තේ මීට පෙර පැවති දේශපාලන විවේචන සහ සැකසංකා මධ්‍යයේය.
පාරිභෝගික තේරීම සහ නව බලාපොරොත්තු
මෙම සුවිශේෂී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දේශගුණික විපර්යාස හා බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් ප්‍රකාශ කර ඇත්තේ, මෙය රටක් ලෙස තීරණාත්මක සංධිස්ථානයක් බවයි. දේශපාලන මතවාදවලට එහා යමින්, ධාවන පිරිවැය අඩු මෙන්ම ජාත්‍යන්තර ඉන්ධන මිල උච්චාවචනයන්ගෙන් ආරක්ෂා විය හැකි වාහන තෝරා ගැනීමට ජනතාව ප්‍රායෝගිකව ක්‍රියා කර ඇති බව ඔහු සඳහන් කරයි.
අගෝස්තු මස වෙළෙඳපොළ දත්තයන්ට අනුව ටොයෝටා සමාගම තවදුරටත් පෙරමුණේ පසුවන නමුත්, චීනයේ BYD සහ ටෙස්ලා (Tesla) සමාගම් ඉහළම අලෙවියක් සහිත සන්නාම අතරට පැමිණ ඇත. සමස්තයක් ලෙස වැඩිම අලෙවියක් වාර්තා කළ සන්නාම 10න් 5ක්ම චීන නිෂ්පාදන (BYD, GWM, MG, Geely, Chery) වීම විශේෂත්වයකි. තනි මාදිලියක් ලෙස ටෙස්ලා 'Model Y' රථ 6,400කට වඩා අලෙවි වෙමින් ඉහළම ඉල්ලුම දිනාගෙන තිබේ.
යටිතල පහසුකම් පුළුල් කිරීමේ අභියෝගය

ඔස්ට්‍රේලියානු විදුලි වාහන කවුන්සිලයේ (Electric Vehicle Council) ප්‍රධානී ජූලි ඩෙල්වෙකියෝ පෙන්වා දෙන්නේ මේ වන විට විවිධ මාදිලි 200කට ආසන්න සංඛ්‍යාවක් වෙළෙඳපොළේ පවතින බවත්, මෙම ප්‍රතිලාභය ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ කුලී නිවැසියන්ට ද පහසුවෙන් ළඟා කරදීම ඉදිරි ඉලක්කය විය යුතු බවත්ය.
ෆෙඩරල් මෝටර් රථ කර්මාන්ත මණ්ඩලයේ (FCAI) ප්‍රධාන විධායක ටෝනි වෙබර් පෙන්වා දෙන්නේ පාරිභෝගික නැඹුරුව සීඝ්‍රයෙන් වෙනස් වන බැවින්, විශේෂයෙන් අධිවේගී මාර්ග සහ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කරගත් විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (Charging Infrastructure) කඩිනමින් පුළුල් කිරීම පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වන බවයි.
වැඩිදුර කියවීම සඳහා:
The Guardian: EV sales outpace petrol cars for first time as Australians dodge soaring fuel costs
Federal Chamber of Automotive Industries (FCAI) - VFACTS Reports
Electric Vehicle Council Australia








