leader s

මැදවාර මැතිවරණය අබියස තැපැල් ඡන්ද නීතිය වෙනුවෙන් ට්‍රම්ප් පරිපාලනය ශ්‍රේෂ්ඨාධිකරණයට


අමෙරිකානු තැපැල් ඡන්ද නීතිය වහා බලාත්මක කරන්නැයි ධවල මන්දිරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්


එළඹෙන නොවැම්බර් මැදවාර මැතිවරණයට පෙර එක්සත් ජනපද තැපැල් සේවාව (USPS) මඟින් ඉදිරිපත් කළ නව තැපැල් ඡන්ද ක්‍රමවේදය වහා බලාත්මක කිරීමට අවසර දෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි ඉල්ලීමක් සිදුකර තිබේ.

පහළ අධිකරණයකින් පැනවූ අතුරු තහනමක් හේතුවෙන් අත්හිටුවා ඇති මෙම නියාමන සැලැස්ම, මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයත් සමඟ අමෙරිකානු දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව ඇත.

ෆෙඩරල් අධිකරණ තහනම සහ නව අභියාචනය

 

ballot84

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දිසා විනිසුරු ඉන්දිරා තල්වානි විසින් සැප්තැම්බර් මුල් සතියේදී තැපැල් සේවාවේ මෙම සැලැස්මට එරෙහිව සති දෙකක තාවකාලික වාරණ නියෝගයක් නිකුත් කරන ලදී. ඊට එරෙහිව පරිපාලනය මුලින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියද, ඉන් අනතුරුව විනිසුරුවරිය විසින් එම නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව වළක්වමින් පූර්ව නඩු තීන්දුවක් (preliminary injunction) ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව, පෙර අභියාචනය ඉල්ලා අස්කර ගත් ට්‍රම්ප් පරිපාලනය, නව අධිකරණ වාරණය ඉවත් කරගැනීම සඳහා හදිසි පදනම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම දෙවන පෙත්සම ගොනු කර ඇත. අධිකරණ ක්‍රියාපටිපාටියේ පහසුව තකා සහ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මෙම පියවර ගත් බව අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව රෙගුලාසි සහ කාල සීමාවේ අර්බුදය

යෝජිත නව රීති මාලාව යටතේ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය මැතිවරණ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද හිමියන්ගේ නාමලේඛන විශේෂ අන්තර්ජාල පද්ධතියකට (portal) ඇතුළත් කළ යුතු අතර, තැපැල් ඡන්ද කවර නිරීක්ෂණය කිරීම (tracking)  පහසු කිරීම සඳහා විශේෂ 'බාර්කෝඩ්' (barcodes) මුද්‍රණය කිරීම ද අනිවාර්ය වේ.


කෙසේ වෙතත්, මේ වන විටත් උතුරු කැරොලිනා ප්‍රාන්තය තැපැල් ඡන්ද නිකුත් කිරීම අරඹා ඇති අතර, ඇලබාමා ඇතුළු තවත් ප්‍රාන්ත කිහිපයක් ඉදිරි දිනවලදී ඡන්ද පත්‍රිකා තැපැල් කිරීමට සූදානම් වේ. මෙවැනි තත්ත්වයක් තුළ, මෙම නීති ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වැඩි බවත්, නියමිත කාලයට පෙර එය අනුමත නොවුණහොත් ඡන්දදායකයන් අතර අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇතිවිය හැකි බවත් රජයේ නීතිඥවරු තර්ක කරති.

 

ballots2398
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දෙපාර්ශ්වයේ මත ගැටුම

ඡන්ද පත්‍රිකාවල ආරක්ෂාව තහවුරු කිරීමටත්, සුදුසුකම් ලත් ඡන්දදායකයන්ට පමණක් ඡන්දය හිමිවන බවට සහතික වීමටත් මෙම වෙනස්කම් අත්‍යවශ්‍ය බව ධවල මන්දිරය පෙන්වා දෙයි. රජයේ නීතිපති (Solicitor General) ඩී. ජෝන් සෝවර් අධිකරණයට දන්වා ඇත්තේ මෙය තැපැල් ක්‍රමවේදය හරහා සිදුවන ඡන්ද ක්‍රියාවලියේ විනිවිදභාවය වෙනුවෙන් ගත් මූලික පියවරක් පමණක් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ ප්‍රාන්ත 23ක නියෝජිතයන් සහ සිවිල් අයිතිවාසිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, මැතිවරණයට කෙටි කලක් තිබියදී ගෙන එන මෙවැනි සීමා කිරීම් මඟින් සාමාන්‍ය ඡන්දදායකයාගේ ඡන්ද අයිතිය අහිමි වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම, මැතිවරණ නීති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ ප්‍රාන්තයන්ට සහ කොංග්‍රසයට පමණක් බවත්, විධායකයට ඊට සෘජුව මැදිහත් විය නොහැකි බවත් විනිසුරු තල්වානි සිය නියෝගයෙන් අවධාරණය කර තිබිණි.

ඉදිරි පියවර

මෙම හදිසි පෙත්සම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රාන්ත රජයන්ට සහ සිවිල් සංවිධානවලට බදාදා දක්වා කල් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේතාන්ජි බ්‍රවුන් ජැක්සන් නියෝග කර ඇත. ඒ අනුව, කඩිනම් නඩු විභාගයකින් පසු අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන තීන්දුව එරට ඉදිරි මැදවාර මැතිවරණ ක්‍රියාවලියට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වැඩිදුර තොරතුරු:


CNN වාර්තාව: Trump admin renews Supreme Court ask to let mail ballot rule to take effect

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්