හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ ලෝක තෙල් මිල මාස එකහමාරකට පසු ඉහළම අගයට
සැපයුම් මාර්ග ඇණහිටී: බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවීමෙන් ගෝලීය උද්ධමන අවදානමක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය සහ ප්‍රධාන නාවික සැපයුම් මාර්ගවලට එල්ල වන ප්‍රහාර හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජාත්‍යන්තර මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.94% කින් ඉහළ ගොස් ඩොලර් 100.80 ක් ලෙස සටහන් වූ අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි (WTI) බොරතෙල් බැරලයක මිල ද 2.76% කින් ඉහළ ගොස් ඩොලර් 95.60 ක් දක්වා වර්ධනය විය. පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ ඉහළම අගය මෙය වේ.
සැපයුම් මාර්ග අවහිර වීමේ බිය

ගෝලීය බොරතෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදු වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය දැඩි ලෙස සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව බලශක්ති විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට පෙර දිනකට බැරල් මිලියන 8 ත් 9 ත් අතර ප්‍රමාණයක් මෙම මාර්ගය හරහා ප්‍රවාහනය කෙරුණ ද, වත්මන් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එය දිනකට බැරල් මිලියන 2 කටත් වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව රයිස්ටැඩ් එනර්ජි (Rystad Energy) ආයතනය පෙන්වා දෙයි.
ඊට අමතරව රතු මුහුද ආශ්‍රිතව සහ ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ තෙල් ප්‍රවාහන නෞකාවලට එල්ල වන ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර හේතුවෙන් සැපයුම් ජාලය දැඩි අවදානමකට ලක්ව ඇත.
පිරිපහදු ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළට
අමු බොරතෙල් මිලට සමගාමීව ඩීසල් සහ පෙට්‍රල් වැනි පිරිපහදු කළ නිමි ඉන්ධන මිල ගණන් ද ලෝක වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. යුරෝපීය වෙළෙඳපොළේ ඩීසල් බැරලයක මිල ඩොලර් 199 ආසන්නයේ පවතින අතර, පිරිපහදු කිරීමේ පිරිවැය සහ හිඟය හේතුවෙන් බොරතෙල් සහ නිමි ඉන්ධන අතර මිල පරතරය වාර්තාගත මට්ටමකට ළඟා වී ඇත.
ගෝලීය පිරිපහදු ධාරිතාව සීමා වීම සහ මැදපෙරදිගින් මෙන්ම රුසියාවෙන් ලැබෙන සැපයුම් අඩාල වීම හමුවේ සාමාන්‍ය පිරිපහදු වියදම් පැවතියේ නම් බොරතෙල් බැරලයක් ඩොලර් 150 කට ආසන්න අගයක පැවතිය යුතු බව වූඩ් මැකෙන්සි (Wood Mackenzie) ආයතනයේ බලශක්ති විශේෂඥ ඇලන් ගෙල්ඩර් සඳහන් කරයි.
ගෝලීය ආර්ථිකයට එල්ල වන පීඩනය

කලාපීය අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇති බවට වෙළෙඳපොළ ආයෝජකයින් අනුමාන කිරීම හේතුවෙන් මෙම මිල උච්චාවචනයන් සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. බලශක්ති මිල මෙලෙස ඉහළ යාම ලොව ප්‍රධාන මහ බැංකු විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සංකීර්ණ කිරීමට හේතු විය හැකි බව විස්ඩම්ට්‍රී (WisdomTree) ආයතනය පෙන්වා දෙයි.
සැපයුම් ජාලයන්හි පවතින මෙම අවිනිශ්චිතතාව ඉදිරි සති කිහිපය තුළ ලෝක ආර්ථිකයේ ප්‍රවාහන, නිෂ්පාදන සහ පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පුරෝකථනය කරයි.
වැඩිදුර තොරතුරු සඳහා මුලාශ්‍ර :
Reuters : Brent crude rises above $100 a barrel as Middle East conflict intensifies
Rystad Energy Analysis








