බටහිර ආධිපත්‍යයට අභියෝගයක් ද? අභ්‍යන්තර ගැටුම් මැද ආර්ථික බලවතුන්ගේ එකමුතුව
ඩොලරයට විකල්ප සොයන බ්‍රික්ස් බලය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක් ද?
ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වේ. රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඇතුළු ප්‍රමුඛ රටවල නායකයින්ගේ සෘජු සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව කෙරෙහි මේ වන විට සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේම දැඩි අවධානය යොමුව තිබේ.
එක්සත් ජනපදය මෙම සමූහයේ සාමාජිකයෙකු නොවුණ ද, වොෂින්ටනයේ ප්‍රතිපත්ති සහ විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ තීරුබදු පියවරයන් ගෝලීය ආර්ථිකය පුරා ඇති කර තිබෙන බලපෑම මෙවර සාකච්ඡා මේසයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.
ආර්ථික අනාවැකියකින් ලෝක බලවතෙකු වූ බ්‍රික්ස්
2001 වසරේදී ගෝල්ඩ්මන් සැක්ස් ආයතනයේ ආර්ථික විද්‍යාඥ ජිම් ඕ'නීල් විසින් හඳුන්වා දුන් 'BRIC' සංකල්පය, 2006 දී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එක්ව රාජ්‍ය තාන්ත්‍රික එකමුතුවක් බවට පත් කළේ ය. පසුව 2010 දී දකුණු අප්‍රිකාව එක්වීමත් සමඟ එය 'BRICS' ලෙස පුළුල් විය.
වර්තමානය වන විට ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත් කර ගනිමින් පුළුල් වී ඇති මෙම එකමුතුව, ලෝක ජනගහනයෙන් 45%කට අධික ප්‍රමාණයක් සහ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) තුනෙන් එකකට වැඩි කොටසක් නියෝජනය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වැනි බටහිර කේන්ද්‍රීය මූල්‍ය ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කරමින් 'ගෝලීය දකුණේ' (Global South) රටවල් සඳහා සාධාරණ නියෝජනයක් දිනා ගැනීම මෙම එකමුතුවේ මූලික අරමුණයි.
ඩොලර් ආධිපත්‍යයට එරෙහිව විකල්ප මූල්‍ය ක්‍රමයක්?
බටහිර රටවල් විසින් පනවනු ලබන ආර්ථික සම්බාධක හමුවේ ජාත්‍යන්තර වෙළෙඳාමේදී එක්සත් ජනපද ඩොලරය මත යැපීම අවම කිරීම පිළිබඳව රුසියාව සහ බ්‍රසීලය දිගින් දිගටම යෝජනා කර තිබේ. ඒ වෙනුවෙන් ඩොලර් බිලියන 100කට අධික ආරම්භක ප්‍රාග්ධනයක් සහිතව පිහිටුවන ලද නව සංවර්ධන බැංකුව (New Development Bank - NBD) හරහා සාමාජික රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය මුදල් ඒකකවලින් මූල්‍යාධාර සැපයීම දැනටමත් ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, පොදු බ්‍රික්ස් මුදල් ඒකකයක් බිහිවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර පවතින්නේ මිශ්‍ර ආකල්පයකි. ඉන්දියාව වැනි රටවල් බටහිර සමඟ පවතින උපායමාර්ගික හා ආර්ථික සබඳතා බිඳ නොදමා ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු සඳහා පමණක් දේශීය මුදල් භාවිතය ප්‍රවර්ධනය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.
අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සහ භූ දේශපාලනය
බ්‍රික්ස් සමූහයේ සාමාජිකත්වය දරන සෑම රටක්ම කලාපීය බලවතුන් වුවද, ඔවුන් අතර පවතින දේශපාලනික හා උපායමාර්ගික වෙනස්කම් නොසලකා හැරිය නොහැක. චීනය ගෝලීය පද්ධතිය තුළ තීරණාත්මක බලවේගයක් ලෙස නැගී එද්දී, ආසියා-පැසිෆික් කලාපයේ චීනයේ තරඟකරුවෙකු වන ඉන්දියාව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සමඟ සමීප ආරක්ෂක සබඳතා පවත්වාගෙන යයි.
එක්සත් රාජධානියේ චැතම් හවුස් ආයතනයේ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, රුසියාව මෙම සමූහය බටහිර සම්බාධකවලට එරෙහි උපායමාර්ගික වේදිකාවක් ලෙස භාවිත කිරීමට උත්සාහ කළ ද, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලට ලෝකය කඳවුරු දෙකකට බෙදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. බටහිර සමඟ විවෘත ගැටුමකට නොගොස් ස්වාධීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකාව සහ බ්‍රික්ස් සාමාජිකත්වය
ශ්‍රී ලංකාව ද බ්‍රික්ස් සමූහය මෙන්ම එහි නව සංවර්ධන බැංකුව (NDB) සමඟ සමීපව කටයුතු කිරීමට සහ සාමාජිකත්වය ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබේ. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථික ස්ථාවරත්වය අපේක්ෂා කරන පසුබිමක, බහුවිධ මූල්‍ය ප්‍රභවයන් වෙත ප්‍රවේශ වීම මෙරට විදේශ ප්‍රතිපත්තියේ වැදගත් අංගයකි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙතෙක් පූර්ණ සාමාජිකත්වයට ඇතුළත් කර නොගැනීම පිටුපස කරුණු කිහිපයක් බලපා ඇත. ඉල්ලුම් කර ඇති රටවල් සංඛ්‍යාව 40 ඉක්මවා ඇති බැවින්, බ්‍රික්ස් සංවිධානය විසින් පූර්ණ සාමාජිකත්වය වෙනුවට නව 'සහකාර රටවල්' (Partner Status) ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කිරීම ප්‍රධාන සාධකයකි. එසේම, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය, අපනයන ධාරිතාව සහ කලාපීය භූ දේශපාලනික සමතුලිතතාවය වැනි මූලික නිර්ණායක අනුව ප්‍රමුඛතා ලැයිස්තු සැකසීම ද මෙයට හේතු වී තිබේ. කෙසේ වෙතත්, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නව සංවර්ධන බැංකුව හරහා ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා විවර කර ගැනීමේ ඉඩකඩ තවදුරටත් විවෘතව පවතින බවයි.








