20 වසරක ප්‍රගතිය සමරමින් නවදිල්ලි නුවර ඇරඹි 18 වැනි බ්‍රික්ස් සමුළුවේදී, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල එකමුතුව වෙනුවෙන් චීන ජනපතිගෙන් ප්‍රබල සහතිකයක්.
ගෝලීය අභියෝග ජයගනිමින් සාමය, නවෝත්පාදනය සහ සමෘද්ධිය කරා යන ගමනේ තෙවන ස්වර්ණමය දශකයක් අරඹන්න චීනය පෙරමුණට.
බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීම අද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණා. බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ලෝකයේ වැඩිම බලපෑමක් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බව චීන ජනාධිපති ෂී ජින් පිං එහිදී ප්‍රකාශ කළා
මෙම වසරේ බ්‍රික්ස් රටවල සහයෝගිතාවේ 20 වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා. ගෙවී ගිය දශක දෙක තුළ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය පුළුල් වෙමින් අඛණ්ඩ ව නව ජීවගුණයක් පෙන්නුම් කර තිබෙනවා. මේ වනවිට, එය ලෝකයේ වැඩිම බලපෑමක් සහිත නැඟී එන වෙළඳපොළ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බවට පත්ව ඇතැයි ෂී ජින්පිං සඳහන් කළා.
බ්‍රික්ස් රටවල් ඉතිහාසයේ නිවැරදි දිශාවෙහි ස්ථිරව සිටිය යුතුයි. එමෙන්ම නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම වැඩිදියුණු කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නා.
තෙවන ස්වර්ණමය දශකයකට චීනයෙන් පූර්ණ සහාය
අභියෝග හා දුෂ්කරතාවලින් සපිරි ගෙවී ගිය දශක දෙක තුළ, සහයෝගිතාව සහ එකමුතුකම සැමවිටම බ්‍රික්ස් යාන්ත්‍රණයේ සංවර්ධනය සඳහා බලවේගය වී ඇති බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා. සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීම සඳහා බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන "ස්වර්ණමය දශකය" ඇරඹීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර චීනය ලබන වසරේදී බ්‍රික්ස් සභාපතිත්වය භාර ගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 19වැනි සමුළුවේ සත්කාරකත්වය ද දරනු ඇති බව ද එහිදී නිවේදනය කළා.
(සටහන | දිනුශී ධීරසේකර )
බිජිං සිට .....








