සුළු-ධනේශ්වර පන්තිය පිළිබඳ අධ්‍යයන – 01 
 අපේ රටේ වාමාංශික දේශපාලන සාහිත්‍යය තුළ වැඩියෙන්ම සඳහන් වන වචනයක් ඇත්නම්, එය ‘සුළු-ධනේශ්වරය’ නම් වචනය යි. මාක්ස්වාදී සාහිත්‍යය තුළ ‘ධනපති පන්තිය’ (නිෂ්පාදන මාර්ග හිමි අය) සහ ‘නිර්ධන පන්තිය’ (තමන්ගේ ‘ශ්‍රම ශක්තිය‘ ශ්‍රම වෙළඳපොලේ විකිණීම හැර වෙන කරන්නට දෙයක් නැති පන්තිය) පිළිබඳ පැහැදිලි නිර්වචන ඇත. 


ලුම්පන් නිර්ධනයන් (ජීවත්වීම සඳහා තම ශ්‍රමය ධනපති පන්තියට විකුණන පන්තිය- ඔවුන්ගෙන් ධනපති පන්තිය ගන්නා සේවය වන්නේ, තමන් වෙනුවෙන් අපරාධ වලට මෙම පන්තිය යොමු කිරීමයි. උදාහරණයක් ලෙස, චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් අපරාධ වලට යොමු වූයේ බැද්දෙගාන සංජීව ය.) සඳහා පවා පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කළ හැකිය. ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කළ යුත්තේ මන්ද යන විවාදාත්මක කාරණය පවා මාක්ස්වාදය තුළ සාකච්ඡා වෙයි. 


නමුත් ගැටලුව වන්නේ, ‘සුළු-ධනේශ්වර’ පංතිය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. මේ සඳහා, සම්භාව්‍ය මාක්ස්වාදයේ සිට ”බටහිර මාක්ස්වාදය” දක්වා පුළුල් ක්ෂේත්‍රය තුළ ඇත්තේ තරමක ව්‍යාකූලතාවයකි. ඊට හේතුව වන්නේ, සුළු-ධනේශ්වර විඥාණය බොහෝවිට සාධාරණ විඥාණයක් (General Consciousness) ලෙස සලකා ක්‍රියා කිරීමයි.

 අන් සියලු දෙනාට පොදු වූ විඥාණ ගතිගුණ සුළු-ධනේශ්වර විඥාණය ප්‍රකට කරන බවක්, අඩුම වශයෙන් ශ්‍රී ලංකාව තුළ පැහැදිලිය. 

ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් බලවත් වූ පුළුල් බහුතරයක් තමන්ගේ එම හැකියාව වර්ධනය කරගෙන ඇත්තේ, රාජ්‍ය බලය හෙබවූ හෝ හොබවන දේශපාලකයන්ට හේත්තු වීමෙනි. 

‘සුමල් පෙරේරා’ ධනපතියෙකු වූයේ, යුද සමයේදී ‘සිරිසේන කුරේට’ සහ ‘අනුරුද්ධ රත්වත්තේට’ කිට්ටු වීමෙනි. ‘ධම්මික පෙරේරා’ ධනපතියෙකු වූයේ, ආර් ප්‍රේමදාසට කිට්ටු වීමෙනි. අශෝක් පතිරගේ සහ දිලිත් ජයවීර ධනපතියන් වූයේ, ගෝඨාභය රාජපක්ෂට කිට්ටු වීමෙනි. හැරී ජයවර්ධන ධනපතියෙකු වූයේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායක හරහා ය.

ඉහත පෙන්වා දුන් ආර්ථික සාධකය නිසා ඉහත ධනපතියන් ක්‍රියාව තුළ ධනපතියන් වූවත් ඔවුන්ගේ ආකල්ප සහ විඥාණය සුළු-ධනේශ්වරය. මේ හේතුව නිසා, ලංකාවේ ‘සුළු-ධනේශ්වර’ පන්තියට ශුද්ධ විඥාණයක් නැත.[No Essence] එය, පරායත්ත සහ අනුකරණවාදී විඥාණයකි. 

අපට වඩාත් වැදගත් වන්නේ, ඔවුන්ගේ සම්බන්ධීකරණ විඥාණයයි.[linking] මෙම හේතුව නිසා, ලංකාවේ දේශපාලන සන්ධාන නිර්මාණය වීමේ දී ඉතාම ක්‍රියාකාරී සම්බන්ධීකරණ කාර්යයක් කරන්නේ සුළු-ධනේශ්වරය යි. ලංකාවේ සියලුම වාමාංශික දේශපාලන සංවිධානවල සාමාජික-සාමාජිකාවන් සහ ඊනියා වාමාංශික බුද්ධිමතුන් ද අයත් වන්නේ, සුළු-ධනේශ්වරයට ය. 

එපමණක් නොව, ලංකාවේ සිංහල ජාතිවාදයේ අති බහුතරය සමන්විත වන්නේ ද සුළු-ධනේශ්වරයෙනි. එබැවින්, සුළු ධනේශ්වර විඥාණය න්‍යායගත කිරීම ඉතාම දුෂ්කරය.

අපි මේ සංකීර්ණතාවයේ මූලය සලකමු. 

Lenin 2

මහින්ද-මෛත්‍රී : හේගලියානු අර්ථයෙන්, දෙදෙනාම විගඩමකි. 

ලංකාවේ සිටින ඕනෑම දේශපාලන බුද්ධිමතෙකු ‘මෛත්‍රීපාල සිරිසේන’ සහ ‘මහින්ද රාජපක්ෂ’ ඉතාම ඉක්මනින් කුලක දෙකකට දැමීමට නියමිතය. 

නමුත් හේගල්ට අනුව, ඉතිහාසය විවෘතය. මේ දෙදෙනා වර්ග දෙකක මිනිසුන් යැයි සිතීමට අපව පොළඹවන්නේ කුමන ෆැන්ටසියක අප ආධාරකරුවන් නිසාද? 

මේ දෙදෙනාම තම තමන්ගේ ගම්වල දේශපාලනය කර ඇත්තේ සහ පුද්ගලයන් මෙහෙයවා ඇත්තේ සමාන ආකෘතියකිනි. කෙටියෙන් කිවහොත්, මේ දෙදෙනාගේම විඥාණය සුළු-ධනේශ්වරය. 

නමුත් මේ දෙදෙනා වෙනස් වන්නේ, තම තමන්ගේ සම්බන්ධීකරන විඥාණය තුළදී ය. එක් අයෙකු , ‘සිංහල ජාතිවාදය’ අධිපති විඥාණය ලෙස ගන්නා විට අනෙකා, එය එසේ සලකන්නේ නැත.මේ දෙදෙනාටම ‘සමාජය’ ද්‍රව්‍යාත්මකව වෙනස් කළ නොහැකි මුත් එක අයෙක් අනෙකාට වඩා ‘අදහස්’ භෞතික බව දනියි. ඒ නිසා, එක් අයෙකු ‘ජෝක්’ කරන අතර අනෙකාව ‘වීරයෙකු’ කරයි. හේගලියානු අර්ථයෙන්, දෙදෙනාම විගඩමකි. 

නන්දන ගුණතිලක - විමල් විරවංශ : දෙපැත්තට පැනීම විගඩමකි.

ඉහත අර්ථයෙන් ගත් විට, ලංකාවේ සුළු-ධනේශ්වර මහජනයාගේ ”සාධාරණ විඥාණය” ඉතාම ගතිකය. JVP  නන්දන ගුණතිලක වසර විස්සකින් UNP  වන අතර JVP  විමල් වීරවංශ වසර විස්සකින් රාජපක්ෂ පරායත්තතාවාදියෙක් වෙයි. 

කලින් UNP සහ පසුව ශ්‍රී ලංකා බවට කිහිප වරක් රූපාන්තරණය වූයේ රොනී ද මැල් ය. මේ වනවිට, දෙපැත්තට පැනීම විගඩමකි. මේ අර්ථයෙන් ගත් විට, විප්ලවවාදී සමාජවාදීන්ගේ සිට ජාතිවාදියා දක්වා ද, ලිබරල්වාදියාගේ සිට ලැක්ලෝවාදියා හෝ ශීෂැක්වාදියා දක්වා මුලුමහත් පරාසයම ‘සුළු-ධනේශ්වරය’.

නිශ්චිත න්‍යායික මෙවලම් භාවිතා කරනු ලබන අවංක පුද්ගලයෙකු ලංකාවේ දී බරපතළ ලෙස ‘යථාර්ථය’ කුමක්ද යන ගැටලූවට මුහුණ දෙයි. මෙහිදී, පළමු න්‍යායික ප්‍රවේශය අපට මෙසේ සහතික කළ හැකිය. 

යථාර්ථය යනුවෙන් දෙයක් ඇත්තට නැත. යථාර්ථය අප ප්‍රබන්ධගත කළ යුතු දෙයකි. මෙම ප්‍රබන්ධකරණය සඳහා ඇති තරම් අලුත් ප්‍රවේශ ඇත. මෙසේ වන්නේ, ගෝලීය ධනවාදයේ නියමුවන් එම ක්‍රියාවලියට ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව සහභාගී නො කර ගන්නා නිසාය. ඔවුන් අපව සලකන්නේ, වෙළඳපොළක් සහ ජනගහනයක් ලෙස ය. 

මේ හේතුව නිසා, චීනය සකබර්ග්ගේ Facebook වලට ඉඩ නො දෙයි. ඒ සඳහා, ඔවුන්ගේ දේශීය නිෂ්පාදනය වන We-chat ඇත. යම්කිසි රටක ‘නිෂ්පාදනය’ අධිනිශ්චය වන්නේ නම්, එම රටෙහි මතවාදී සැකැස්මට අනන්ත චලනයක් නැත. යම් රටක ‘ප්‍රතිනිෂ්පාදනය’ (ලංකාවේ මෙන්) අධිපති නම්, එම රටෙහි මතවාදී ප්‍රස්ථාරයට අනන්ත ගමනක් ඇත. 

Mangala Ranil Text 2020.04.29ලංකාවේ ‘ධම්මික පෙරේරා’ ප්‍රධාන ධනපතියෙකි. නමුත් ඔහුට මතවාදී තලයෙහි ලොකු බලපෑමක් කළ නොහැකිය. නමුත් දිලිත් ජයවීරට මතවාදී තලයෙහි ලොකු බලපෑමක් කළ හැකිය. ඔහු සිංහල ජාතියේ වාසනාවට ගාල්ලේ උපන් දේශප්‍රේමී පුත්‍රයෙකි. භෞතික තලයේ දී මේ දෙදෙනාම ‘ධනපතියන්’ ය. නිෂ්පාදන මාර්ග හිමි ය. 

නමුත් ලංකාවේ සුළු-ධනේශ්වර විඥාණය උදව් කරන්නේ, ධම්මිකට නොව දිලිත්ට ය. මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේ සමලිංගික, ලිබරල් මංගල සමරවීර මිස ජාතිවාදී නලින්ද සිල්වා නොවේ. රාජපක්ෂලාට යළිත් බලය ලැබෙන ආකාරයට (තමන්ට ජනාධිපති වීමට) රාජ්‍ය හැසිර වූයේ, ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී රනිල් වික්‍රමසිංහ මිස පොළොන්නරුවේ ග්‍රාම සේවක නොවේ.

දැන් ඔබේ/මගේ හිස අවුල් වී ඇතිවාට සැකයක් නැත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විකිණීමට එන එළවළු ගොවියාට ඉහත සුළු-ධනේශ්වර විකාරය බලපාන්නේ කෙසේද?

ඔහු කරා තොරතුරු ගෙන යන්නේ අප නොව දිලිත් ජයවීර සහ මාක් සකබර්ග් ය. සකබර්ග් යනු, ජාතිවාදියෙක් නොවේ. සමලිංගික විවාහවලට අනුග්‍රහ දක්වන ඔහු ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදීයෙකි. නමුත් දිලිත් ජයවීර ලිබරල්-ජාතිවාදියෙකි. මේ දෙදෙනාම ලංකාවේදී උදව් කරන්නේ භූමිපුත්‍ර-ස්වාධිකාරී ජාතිවාදයකට ය. 

මේ ගොන්නේම සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාවණා ඇතුළු ඉතිරි ජාතිවාදීන්ගේ විඥාණ ස්වභාවය කුමක්ද? සුළු දේපළක් හිමි අස්ථීර විඥාණයට බාහිර සතුරෙක්  අවශ්‍ය මන්ද?

ඒ අනුව, ඉහත විවිධ කාණ්ඩ වෙන් කළ හැක්කේ ඔවුන්ගේ විඥාණ ස්වභාවය අනුව නොවේ. මන්ද, ඔවුන් සියලු දෙනාගේ විඥාණයේ පොදු ගුණාකාරය සුළු-ධනේශ්වර නිසාය. එසේ නම්, බුර්ෂුවා පන්තියෙන් (රනිල් වික්‍රමසිංහ හෝ සුමන්දිරන්) සුළු-ධනේශ්වරය වෙන් කළ හැක්කේ කෙසේද? මේ අය එකම ජාතියක් ද? විමල් වීරවංශ සහ සුමන්දිරන් අතර වෙනස කුමක්ද? වෙනස ඇත්තේ, ‘අවිඥාණය’ තුළ ය.

 සුළු-ධනේශ්වරය සහ බුර්ෂුවා පන්තිය වගුවේ කොටස් දෙකක් වන්නේ, ඔවුන් විනෝද වන ආකාර දෙකක් වන නිසාය. එක වර්ගයකගේ තර්කය පිරිමි ය. අනිත් වර්ගයේ තර්කය ස්ත්‍රී ය. 

 ‘සුළු-ධනේශ්වරය’ ශ්‍රී ලංකාවේ ”සාධාරණ විඥාණයක්” වී ඇති යුගයක දී (ලැකානියානු සැබෑවක් වී ඇති මොහොතක) එය සංකේතීයකරණය කළ හැක්කේ, ඔවුන්ගේ දෘෂ්ටිවාදයන්ට සම්බන්ධ අවිඥාණය කියවීමෙන් ය. මාක්ස්වාදයට පවා සුළු-ධනේශ්වර විඥාණයේ ජනප්‍රියභාවය විසංයෝජනය කළ නොහැකිය. කළ හැක්කේ, එහි සම්බන්ධීකරණ ගුණයට යටත් වී විකාර දෙඩවීම ය. 

Deepthi k 2020.04.29
අපි පළමුව කළ යුත්තේ, සුළු-ධනේශ්වරය ලංකාවේ ලබාගෙන ඇති අධිපති මතවාදය විසංයෝජනය කිරීමයි. අධ්‍යාපනයේ 6%යේ බොරුවට පසු බැසිල් රාජපක්ෂ ලංකාවේ විශ්වවිද්‍යාල ගුරුවරුන් ‘ජනතා විමුක්ති පෙරමුණෙන්’ මතවාදීව වෙන් කළේය. ඒ අය (විශ්වවිද්‍යාල ගුරුවරු) අහසේ ලඹ දෙන්නේ මේ නිසාය.

ඉහත ඓතිහාසික පර්යාවලෝකනය තුළින් අප මේ උත්සාහ කරන්නේ, ඉඳිආප්පයක් වී ඇති සුළු-ධනේශ්වර විඥාණය න්‍යායගත කිරීමටයි. මේ එහි පළමු පියවරයි.

(දීප්ති කුමාර ගුණරත්න - 3mana.com)

(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්