(අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්න වලින් එරී නොසිටීමට නම් - මධ්‍යම ආණ්ඩුව වගකීම් බෙදා ගත යුතුයි යන ලිපිය කොටස් හතරකින් පල කිරීම සදහා ඉදිරිපත් කරමි. මේ එහි පළමු කොටසයි- Sujata Gamage)
සහල් හිඟය සහ උතුරේ මහාවීර් සැමරුම යනු පසු ගිය සතියේ ප්‍රධාන තැනක් ගත් ප්‍රශ්නයි. මේවා මැතිවරණ පොරොන්දුවලින් යථාර්ථයට සංක්‍රමණය වෙමින් සිටින නව රජයට ප්‍රායෝගික මතවාදයක් හැඩගැස්වීමට උපකාර වන සන්ධිස්ථානයන් දෙකක් කියා මම හිතනවා.
සහල් හිඟය ගත්තහම එය කැබිනට් මණ්ඩලයට වෙළඳපොලේ රාජ්‍ය මැදිහත්වීමේ සීමාවන් ගැන සාමූහිකව ඉගෙන ගෙන සුදුසු ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක්. මහාවීර් සැමරුම කාරණයේදී, අපගේ වාර්ගික සබඳතා පිළිබඳ නව ආඛ්‍යානයක් ගොඩනැගීමට රජයට මෙම තත්වය අවස්ථාවක් කර ගන්න පුළුවන්. රිළවුන් පිළිබඳ ප්‍රශ්නයත් වන ජීවින්ගේ පැවත්මේත් හා ජනතාවගේත් අවශ්‍යතාවයන් තුලනය තුලනය කර ගනිමින් වඩා ගැඹුරුට සිතා පිලිතුරු සෙවිය යුතු ප්‍රශනයක්.
නව රජයේ අවධානය මෙම කේන්ද්‍රීය ප්‍රශ්න කෙරේ යොමු වීම රජයේත් අපේ සැමගේත් යහපතටම හේතු වෙනවා. ඒ වගේම සිල්ලර ප්‍රශ්නවල එරිලා අවුල් කර ගත්තොත් සිදුවන අයහපතත් ඒ වගේමයි. විශේෂයෙන් අධ්‍යාපනය ගත්තාම එකම ප්‍රශ්න සෙට් එක වසරක් ගානේ මතුවෙමින් අමාත්‍යංශය ඒවායේ එරෙන තත්වයක් තියෙන්නේ.

උදාහරණ ලෙස, ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවූ විභාග ප්‍රශ්න තුන, දුප්පත් දරුවන්ට පාසල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමේ නොහැකියාව සහ ගුරු පත්වීම ඉල්ලා උද්ඝෝෂණ කරන පාසල්වල සංවර්ධන නිලධාරීන් වැනි පසුගිය සතියේ කරලියට සම්බන්ධ කාරණා වූ එවැනි ගැටළු කිහිපයක් විය. ඉදිරියේදී මෙවැනි ප්‍රශ්න වල නොඑරී අධ්‍යාපනයේ දිශානතිය වඩා වැදගත් ප්‍රශ්න වලට අවධානය දීමට නම් අධ්‍යාපන ඇමතිවරිය විසින් වහාම වගකීම් විමධ්‍යගත කර පැවරීම කල හැකි/යුතු බව තර්ක කිරීමට කැමැත්තෙමි.
සමස්තයක් ලෙස, අධ්‍යාපන අමාත්‍යාංශයට යම් දිගුකාලීන වැඩ පිළිවෙලක් සම්පාදනය කර ක්‍රියාත්මක වීමට නම් අවශ්‍ය නම් සියලු දේම තම කරපිට පටවා නොගෙන තම කාර්යයන් පැවරීම සහ/හෝ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ. ආරම්භයක් ලෙස ඉහත සදහන් ‘සිල්ලර’ ප්‍රශ්න වලට තිරසාර විසදුම් ලෙස -

(1) තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා වත්මන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වෙනුවට විශ්වාසනීය උපදේශක මණ්ඩලයක්
(2) ළමා සුභසාධන ගැටළු බිම් මට්ටමෙන්ම හඳුනා ගෙන විසදුම් සෙවීම සඳහා පාසල් පැමිණීමේ කමිටු නැවත සක්‍රීය කිරීම සහ;
(3) ගුරු සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාතික ගුරු සභාවක් පිහිටුවීම නම්කර හැක.
ඉහත සඳහන් එක් එක් ‘සිල්ලර’ ගැටලුව හා විසදුම් ගැන වෙන වෙනම විස්තරාත්මකව සලකා බලමු.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න දිග්ගැසීම
සැප්තැම්බර් 15 වැනි දින පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (G5SE) අවසන් වූ වහාම විභාගයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බව අනාවරණය වුනා පමණක් නොව එය ප්‍රධාන පුවතක්ද වුනා. අමාත්‍යවරිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුව විසින් නිර්දේශ කළේ සියළු දෙනාටම පිටවූ ප්‍රශ්න තුනට පූර්ව ලකුණු ප්‍රමාණය ලබා දෙන ලෙසයි. ඒ නිර්දේශය නොතකා දෙමාපියන් ජනාධිපතිවරයා වෙත පැමිණි අතර, ඔහු තීරණය කළේ ලකුණු කිරීම සති දෙකකට විරාමයක් තැබිය යුතු බවයි.
ඊට අමතරව දෙමාපියන් ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිය අතර, එතනදී අධිකරණය විසින් නොවැම්බර් 18 දින අතුරු නියෝගයක් නිකුත් කරමින් බලධාරීන්ට ලකුණු කිරීම වැළැක්වීමට නියෝග කළා. ඊට දින කිහිපයකට පසු රජයේ ප්‍රතිචාරය ලෙස සියලුම අයදුම්කරුවන්ට පිටවූ ප්‍රශ්න තුනට පූර්ව ලකුණු ප්‍රමාණය ලබා දීමේ නිර්දේශය සමඟ රැඳී සිටීමට රජය ගත් තීරණය නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නා. එම ඉදිරිපත් කිරීම පිළිබඳ තීන්දුව අධිකරණය විසින් දෙසැම්බර් 11 වැනි දින විභාගයට ගැනීමට නියමිතයි.
විශේෂඥ කමිටුවේ තීරණය පිටු පා මේ තරම් දුරට ප්‍රශ්න දිගස්සීමට දෙමාපියන් කණ්ඩායමකට හැකි වූයේ ඇයි?
විභාග ප්‍රශ්න පිටවීමේ පුවත සැලවීමත් සමඟම අමාත්‍යාංශය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි. මෙම කමිටුව පත් කිරීම හා එහි සංයුතිය පිළිබඳව විවෘත බවක් නොතිබීම ප්‍රශ්නය දුර දිග යාමට හේතුවක් කියා මම හිතනවා. 2022-24 රනිල් වික්‍රමසිංහ රජය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් (NEPF) කෙටුම්පත් කිරීමට පත්කළ විද්වත් කමිටුවේ තොරතුරු හෙළි නොකිරීම දැන් ආණ්ඩුවේ සිටින පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක් වුනා. එය සාධාරණ විවේචනයක් ලෙස මම එදත් සිතුවා. අදත් එවැනි කමිටු පිළිබදව රජයේ පාරදෘශ්‍ය භාවය තිබිය යුතු බව මම සිතනවා.
ඇත්තටම නැවත මෙවැනි තාක්ෂණික ප්‍රශ්න දුර දිග යාම වැළැක්වීමට නම් අමාත්‍යංශය විසින් නිෂ්ඵල ජාතික අධ්‍යාපන කොමිසම වෙනුවට අභ්‍යන්තර උපදේශක මණ්ඩලයක් තබා ගත යුතුයි. ශක්තිමත් පර්යේෂණ ඒකකයක් සහය ඇතිව පැවැත්වෙන එවැනි උපදේශක මණ්ඩලයක් පිළිබඳව විශ්වාසය ගොඩ නැගිය යුතුයි.
අධ්‍යාපන ප්‍රතිපත්තියේ වගකීම දරන වත්මන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අසාර්ථක ආයතනයකි. 1992 දී ප්‍රකාශයට පත් කරන ලද එහි පළමු ලේඛනය හැර, ඔවුන්ගේ ප්‍රතිපත්ති ලේඛන බලධාරීන් විසින් නොසලකා හැර තිබෙනවා. ප්‍රතිපත්ති ලේඛන කෙටුම්පත් කිරීමට වැය කළ මුදල පිළිබඳව විගණකාධිපතිවරයාද ප්‍රශ්න කරලා තිබෙනවා.

එම කොමිෂන් සභාවේ අනදාලභාවයට හේතුව එහි ව්‍යුහය සහ එහි මෙහෙවර තුළ පැහැදිලි වෙනවා. එය ස්ථාපිත කර ඇත්තේ ජනාධිපතිවරයාට උපදෙස් දීම සඳහා ස්වාධීන ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයක් ලෙසයි. එම කොමිසමේ ස්වාධීනත්වය ප්‍රශ්නකාරී නමුත් ප්‍රතිපත්ති සම්පාදනය සම්පුර්ණයෙන් අතට ගෙන ඇත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්ය වරුන් පිරිසක්. උදාහරණයක් ලෙස 2020-2030 සඳහා ප්‍රතිපත්ති සම්පාදනයේදී පාසල් පද්ධතිය හෝ වෘත්තීය අධ්‍යාපන පද්ධතිය නියෝජනය ඇත්තේ නැහැ. පුද්ගලික අංශයේ නියෝජනයත් නැහැ. පාසල් අධ්‍යාපනය හමාර කරන පිරිසගෙන් 10% අඩු ගානකට උසස් අධ්‍යාපනය ලබාදීම ඒකාධිකාරයක් පවත්වා ගෙන යන කණ්ඩායමකින් අනිකුත් 90% සාධාරණයක් ඉටු වෙන ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
අනික් අතින් කුමන විධියේ විශේෂඥයින් කණ්ඩායමකට වූවත් ඒ අයට බලයට පත්වන රජයකට ස්වාධීනව ප්‍රතිපත්ති මාලාවක් සාදා දෙන්න පුළුවන් යන්න සාවද්‍ය මතයක්. එහෙම කවුරු හරි හදලා දෙන ප්‍රතිපත්ති බාර ගන්න ආණ්ඩු කොහෙවත් නැහැ. අවශ්‍ය වන්නේ සමාජ-දේශපාලන යථාර්ත්යන්ට සංවේදී වෙමින් අදාළ අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරමින් සාක්ෂි පදනම් කරගත් උපදෙස් ලබා දෙන අමාත්‍යංශයේ කොටසක ලෙස නමුත් අතේ දුරින් කටයුතු නිත්‍ය උපදේශක මණ්ඩලයකි. ජාජබයේ මැතිවරණ ප්‍රකාශයේ එවැනි උපදේශක සභා අමාත්‍යංශ තුල පිහිටුවන බවට කියා ඇති බවද මෙහිදී මතක් කළ යුතුයි.
තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි පවුල්

2023 අගෝස්තු මස සිට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම් පාසල් සිසුන්ගෙන් 55% කගේ අධ්‍යාපනයට සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කර ඇති අතර එයින් 29% ක බලපෑමට ලක් වූ දරුවන්ගේ දෙමාපියන් විසින් පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම අඩු කර හෝ සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි. එම තොරතුරු රැගත් වාර්තාව පළවූ වහාම කැබිනට මණ්ඩලය විසින් එම තොරතුරු අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා එක් ළමයෙකුට රුපියල් 6000/- ක දීමනාවක් ලබාදීමටත්, අස්වැසුම වැඩසටහනට ඇතුළත් කර නොමැති දරුවන්, මව හෝ පියා ආබාධිත පවුල්වල දරුවන්, අනාථ නිවාසවල සිටින සියලුම පාසල් වයසේ දරුවන් සහ විශේෂ තත්ත්වයන් මත අසරණ වූ දරුවන්ටත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එම දීමනාව ලබා දීමටත් තීරණය කර තියෙනවා.
මෙම තීරණය මුලින්ම බැලූ බැල්මට හොඳ එකක් බව පෙනෙනවා. නමුත් ප්‍රශ්නය 2023 අගෝස්තු මාසයේදී හෝ ඊට පෙර සිට එන එකක්. සමීක්ෂණ වලින් ඒ තොරතරු ලබාගෙන ක්‍රියාත්මක වන කොට අවුරුද්දකටත් වැඩියි. ඇත්තෙන්ම බිම් මට්ටමේ ප්‍රශ්න ඒ මට්ටෙන්ම හඳුනාගෙන පිළියම් යෙදීමේ යාන්ත්‍රණ අපිට තිබෙනවා. උදාහරණ වශයෙන් ළමයින්ගේ පාසල් පැමිණීමට අදාළ ප්‍රශ්න ගැන සොයා බැලීම සඳහා ග්‍රාම නිලධාරී මට්ටමේ කමිටු පිහිටුවේ 1997 වසරේයි. එමකමිටු නැවත පාසල් මට්ටමේ කමිටු අලුත් ව්‍යුහයකින් 2016 වසරේ අලුත් කළා. එම කමිටුව වලින් ලැබෙන තොරතුරු අනුත්ව කටයුතු කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා බැදී සිටිනවා.
උදාහරණ ලෙස:

“දෙමාපියන්ට දරුවෙකුගේ පාසල් අධ්‍යාපනය සඳහා මූලික අවශ්‍යතා ලබා දීමට නොහැකි වූ බවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සෑහීමකට පත්වන්නේ නම් හැකි සෑම විටම එවැනි අවශ්‍යතා සැපයීමට කටයුතු කිරීම [පාසල් පැමිණීමේ කමිටුව ගැසට් අංක 1963/30 - 2016 අප්‍රේල් 20].
ආර්ථික හෝ වෙනත් දුෂ්කරතා හේතුවෙන් පාසල් නොයන දරුවන් සොයා බලා පසු විපරම් කිරීමටත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ජාතික සමීක්ෂණ එන තෙක් බලා නොසිට ක්‍රියාත්මක වීමට යාන්ත්‍රණ පාසල් හෝ ප්‍රාදේශීය මට්ටමින් ඇති බව පැහැදිලිය.
එබැවින්, කැබිනට් මණ්ඩලයේ මීළඟ කාර්යය විය යුත්තේ විය යුත්තේ පමාද වී ලැබෙන තොරතුරු මත උඩු මහලේ සිට තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස් පාසල් පැමිණීමේ කමිටු සක්‍රීය කර බිම් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කල් වේලා ඇතිව අයවැය මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වලට ලබා දීමයි.

ගුරු පත්වීම් ඉල්ලා සිටි සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාව දෙසැම්බර් 2 වැනිදා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් අතර ඒ නිසාම තාවකාලික රජයේ පත්වීම් ලබා ගත් උපාධිධාරීන් පිළිබඳ පොදු ගැටලුව විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගත්තා.
2024-12-02 දිනැති එම කැබිනට් තීරණයේ සඳහන් වන පරිදි 1994 වසරේ සිට 2020 දක්වා අවස්ථා 7කදී සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 150,000කට අධික පිරිසක් විවිධ යෝජනා ක්‍රම මඟින් රජයේ සේවයට බඳවාගෙන තිබෙනවා. මෙම පත්වීම් ලබාදී ඇත්තේ බඳවා ගත් අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් හෝ ආයතන වල අවශ්‍යතාවන් පිළිබඳව නිසි ඇගයීමකින් තොරව. ඉන් සංවර්ධන නිලධාරීන් 15,800 කට වඩා ජාතික හා පළාත් පාසල්වල ඉගැන්වීමේ නිරතව ඉන්නවා. ඒ අයගේ විරෝධතාව ඔවුන්ට ගුරු සේවයට බඳවා ගැනීමට නියම කර ඇති පරීක්ෂණය පිළිබඳව බවයි පෙනෙන්නේ.
ආරංචි හැටියට එම පරීක්ෂණය ගණිතය හා භාෂාව ඇතුළු දැනුම විමසන පොදු පරීක්ෂණයක්. නැටුම් හෝ ඉංග්‍රීසි උගන්නන්න මෙවැනි පරීක්ෂණයක් සුදුසු නැති බව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මතයයි.
ඇත්තෙන්ම ගුරු වෘත්තියට අදාල විශාලම ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන් සඳහා නිශ්චිත නිර්නායක සහිත ලියා පදිංචි වීමක් නැති කමයි. එක්සත් රාජධානියේ ඉගැන්වීම සඳහා ඉගැන්වීමේ නියාමන නියෝජිතායතනයෙන් (TRA) සුදුසුකම් ලත් ගුරු සහතිකයක (හෝ QTS එක) අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන්. ඒ වගේම, හෙදියන් විසින් ශ්‍රී ලංකා හෙද කවුන්සිලයෙන් සහතිකය ලබා ගත යුතුයි. රූපලාවන්‍ය ශිල්පීන්ට පවා තම ව්‍යාපාර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියාපදිංචි කිරීමට NVQ සුදුසුකමක් තිබිය යුතුය.
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

විභාග ප්‍රශ්න පිටවීමේ පුවත සැලවීමත් සමඟම අමාත්‍යාංශය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි. මෙම කමිටුව පත් කිරීම හා එහි සංයුතිය පිළිබඳව විවෘත බවක් නොතිබීම ප්‍රශ්නය දුර දිග යාමට හේතුවක් කියා මම හිතනවා. 2022-24 රනිල් වික්‍රමසිංහ රජය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් (NEPF) කෙටුම්පත් කිරීමට පත්කළ විද්වත් කමිටුවේ තොරතුරු හෙළි නොකිරීම දැන් ආණ්ඩුවේ සිටින පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක් වුනා. එය සාධාරණ විවේචනයක් ලෙස මම එදත් සිතුවා. අදත් එවැනි කමිටු පිළිබදව රජයේ පාරදෘශ්‍ය භාවය තිබිය යුතු බව මම සිතනවා.





