leader s

රාජකීය විද්‍යාලයෙන් උගත්, චිකාගෝ විශ්ව-විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලත් සහ මෙල්බර්න් විශ්ව-විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත්-උපාධියක් ලැබූ කොළඹ බාන්ස් පෙදෙසේ ජීවත් වූ කපිල චන්ද්‍රසේන, රනිල් වික්‍රමසිංහගේ භාෂාවෙන් කියනවා නම් මැදමුලන රාජපක්ෂ පවුල සමඟ කරන්නට ගිය ආර්ථික ගනුදෙනුව කුමක් ද? මෙම තත්වය ලංකාවේ මේ මොහොතේ ජීවත් වන ඕනෑම ප්‍රබුද්ධ මධ්‍යම පාන්තිකයෙකුගේ හදවතට ආයාචනය කරන ගැටලුවයි.


ඇත්තටම මෙම ගැටලුව ඥාණ විභාගයට (Epistemology) අයිති ගැටලුවක් ද? එනම්, අධිකරණ වෛද්‍ය විද්‍යාවට, නීතියට, අල්ලස් කොමිසමට අවබෝධ කරගත හැකි ප්‍රශ්නයක් ද? නැතහොත්, අපගේ පංචේන්ද්‍රියන්ට සහ විඥාණයට ගෝචර වන දැනුමට අදාළ නොවන සද්භාවවාදී ගැටලුවක් ද? ඉංග්‍රීසියෙන්, Ontological. Ontological යනු, සම්ප්‍රදායික ඉන්ද්‍රියගෝචර දැනුම සමතික්‍රමණය කර තර්ක ඥාණය යොදාගෙන පොදු දැනුමට පිටින් කුමක් පවතී ද? යන්න විභාග කිරීමයි. මෙම අවබෝධය අයත් වන්නේ, පාරභෞතික (Metaphysical) ක්ෂේත්‍රයට ය. 

 

WhatsApp Image 2026 05 21 at 16.38.40

අරවින්ද සිල්වාට තම මස්සිනාට සිදු වූයේ කුමක් ද යන්න Ontological level එකක පහදා දීම දුෂ්කරය. නමුත්, අනාගත දවසක ලංකාවේ මැද පන්තියට Ontological side එක පැත්තට නොපැමිණ යථාර්ථය නම් අත්දැකීම වටහා ගැනීමට නො හැකිවනු ඇත. යමක ‘සාරය’ (Essence) යථාර්ථය ලෙස පමණක් නොව ආත්මීය අත්දැකීමක් ලෙස ද විග්‍රහ කළ හැකිය. මෙතෙක් මේ මරණය පිළිබඳව ඔබ කියවූ ජනමාධ්‍ය කියවීම අයත් වන්නේ, යථාර්ථය පැත්තට ය.

වර්ෂය 2005 - ලිපියේ අන්තර්ගතය හැකිතාක් සාරාංශගත කරනු ලැබේ. එය, අනාගත දවසක දිගු ලියවිල්ලක් වනු ඇත. (මා අතින් හෝ කවුරු හරි අතින්)
 
ලිපියේ උප මාතෘකාව- 2005 දී ඇති වූ ශ්‍රී ලංකාවේ දේශපාලන විපරිවර්තනය පිළිබඳ දාර්ශනික කියවීමක්.

 

සමපේක්ෂණ තර්ක කිරීම් යනු, ප්‍රපංචයක නැතහොත් හේතුව (Reason) අභ්‍යන්තරයෙන් ප්‍රශ්න කිරීමයි. යථාර්ථය වටහා ගැනීමට පොදුවේ යොදා ගන්නා තර්ක දෙක වන්නේ, ආත්ම මූලික තර්කනය (Subjective logic) සහ වාස්තවික තර්කනය (Objective logic) යි.
 
2005 වර්ෂයේ පැවැත් වූ ජනාධිපතිවරණයට පෙර පැවති දේශපාලන යථාර්ථය මෙලෙස සාරාංශගත කළ හැකිය.
 
2005 වර්ෂයේ දී මගේ දේශපාලන ක්‍රියාකාරකම් නැවතී ගිය අතර එතැනින් පසු මා පත් වූයේ දේශපාලන නිරීක්ෂකයෙකුගේ මට්ටමට ය. එම නිසා, මෙම ක්‍රියාවලිය බාහිරින් සිට නිරීක්‍ෂණය කිරීම පමණක් මා සිදු කරන ලදී. නමුත් මේ කරන විග්‍රහය තුළ දී නිරීක්ෂකයා ද නිරීක්ෂණයට සහභාගි වෙයි.
 
2005 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ දී එහි ප්‍රතිඵලය තීන්දු කරන මූලික බලවේග සහ ඒවායේ නායකයන්ගේ නම් පහත දැක්වේ.
 
1. රනිල් වික්‍රමසිංහ- ඔහුගේ තර්කය වාස්තවික සහ පරාවර්තනීය එකකි. ඔහුට අනුව, ලංකාවේ පවතින්නේ ජනවාර්ගික ගැටලුවක් වන අතර එය විසඳිය හැක්කේ විදේශීය මැදිහත්වීම් සහිතව සාකච්ඡාවෙන්, සංවාදයෙන්, සම්මන්ත්‍රණයෙන් පමණි. අපිට මේ තර්ක ක්‍රමය මෙසේ හැඳින්වීමට පුළුවනි- Reflective or Objective logic. එක්සත් ජාතික පක්ෂය.
 
2. මංගල සමරවීර- ඔහුගේ තර්කය වූයේ, තමන් එවකට දැරූ බලය මහින්ද රාජපක්ෂ යටතේදීත් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ඊට අමතරව, ඔහුට මහින්ද රාජපක්ෂ පිළිබඳව තිබූ ආත්මමූලික අදහස ඉතාම තීරණාත්මක එකකි. මංගලට අනුව මහින්ද යනු, සරලමතිකයෙකි. ඉතාම සරල සාමාන්‍ය මිනිසෙකි. අනෙක් අතට, මහින්ද ජාත්‍යන්තරයට බිය වන අතර ඔවුන්ට එරෙහි වීමට උත්සාහ දරන්නේ නැත. එබැවින්, මංගලගේ තර්කය ඉතාම ආත්මමූලික (Subjective logic) එකකි.
 
3. LTTE සංවිධානය - LTTE යට අනුව ඔවුන්ට 9/11 ප්‍රහාරයට පසුව ජාත්‍යන්තර තත්වය නරක වුවත්, තීරණාත්මක ලෙස බටහිර විරෝධයකට මුහුණ දීමට සිදු නොවුණු ඇතැයි අනුමාන කරන ලදී. අනෙක් අතට, වාස්තවික තලයේ එළිෆන්ට්පාස් කඳවුර බිඳ දැමීමට පසුව යුධ හමුදාව සමඟ හිංසනය සතු බලය තුලනය කරන ලදි. එම නිසා, ඔවුන්ට අනුව දකුණේ පාලකයා කවුරු වුවත් LTTE ය සහ යුධ හමුදාව අතර බල තුලනය වෙනස් කිරීමට හැකි නොවනු ඇතැයි LTTE ය අනුමාන කරන ලදී. එම නිසා, 2005 ජනාධිපතිවරණය පිළිබඳ LTTE යේ අදහස වාස්තවික තර්කයකට (Objective logic) ඌනනය විය.
 

 
4. රාජපක්ෂ සහෝදරවරුන් තිදෙනා- ඡන්දයට මාස හතර පහකට පෙර මූලික වශයෙන් කොළඹ කාර්යාල 2 ක් පිහිටුවන ලදී. එකක්, TT නමින් විය. අනෙක, BR විය. මින්, BR එකේ ප්‍රමුඛයා වූයේ මංගල සමරවීර ය. එහි ප්‍රධාන සම්බන්ධීකාරක රුවන් ෆර්ඩි ය. TT වල ලක්ෂ්මන් හුලුගල්ල සහ ඩලස් අලහප්පෙරුම පදිංචි වී සිටියහ.

විමල් වීරවංශ මේ කාර්යාල දෙකටම යමින් ජවිපෙ සහ ‘මහින්ද චින්තනය’ අතර සම්බන්ධීකරණය සිදු කරන ලදී. මා ද සහභාගි වූ BR කාර්යාලයේ කාර්යභාර නිලධාරියා වූයේ, දර්ශා යසනාත් ය. මා මෙම කාර්යාල දෙක සහ එහි සිටි පුද්ගලයන් පිළිබඳව මෙතරම් විස්තර කරන්නේ මන්ද? මුඛ්‍ය හේතුව වන්නේ, රාජපක්ෂ සහෝදරවරුන් තිදෙනාගේ තර්කය කුමක් ද කියා අප කිසිවෙක් ඒ මොහොතේ දැන නො සිටියේ ය.
 
අප සැමදෙනාම දැන සිටි ඉතාම කුඩා සමාජ-විද්‍යාත්මක කාරණය වූයේ, මහින්ද රාජපක්ෂ ඊට පෙර යුගයක කොහොමටත් හිංසනය රජ කරන පාතාල ක්‍රියාකාරීත්වය හරහා තම බලය ස්ථාවර කරගත් බවයි. රාජපක්ෂ සහෝදරයන් තිදෙනාට වැදගත් වූයේ, රනිල් වික්‍රමසිංහ හෝ මංගල සමරවීර හෝ යුරෝපය හෝ ඉන්දියාව හෝ එක්සත් ජාතීන් හෝ රතු කුරුසය හෝ බටහිර NGO මතය නොවේ. රාජපක්ෂ සහෝදරවරුන් තිදෙනා ඉතා තීක්ෂණ ලෙස තමන්ගේ ඉලක්කය ටක්කයටම තීන්දු කරන ලදී. ඉතා වැදගත් කරුණ වූයේ, ඔවුන් එම තීන්දුව මංගලට තබා ඩලස්ටවත් නොකියා සිටීමට තීන්දු කරන ලදී. 
 
පශ්චාත්-නූතන කුඩාපොල වූ රතනට අනුව, ‘මහින්ද චින්තනය’ ජනාධිපතිවරණයේ දී පතෝල කරලක් යැයි බෙරිහන් දෙන ලදී. රාජපක්ෂ සහෝදරවරුන්ගේ ක්‍රියාකාරීත්වයේ සැබෑ න්‍යෂ්ටිය සියල්ලන්ට රහසක් සහ ප්‍රහේලිකාවක් විය. ඔවුන්ට අනුව තීරණාත්මක සහ බිහිසුණු ඉලක්කය වූයේ, LTTE සංවිධානය යි. දැන්, අපට ඔවුන්ගේ තර්කය මෙසේ විදහා දැක්විය හැකි ය:

‘ LTTE යේ සියලුදෙනා මරා දැමිය යුතුයි. ඉන්පසු, අප හැර වෙන විකල්පයක් මේ රටට නැත. මේ සඳහා, මිනී මරණ මැෂිමක් අවශ්‍ය ය. ඒ, සරත් ෆොන්සේකා ය.’
 
fonseka mahinda gotabhaya
උතුරේ සන්නද්ධ ව්‍යාපාරය තුළ දකුණේ කිසිදු නායකයෙක් ඉහත ස්ථාවරයට පැමිණියේ නැත. JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා යන මේ කිසිවෙකු LTTE ය සමූල ඝාතනය කිරීමට නො සීතීය. ඔවුන් සබුද්ධික නිසා මිනීමැරීම සහ තමන් අතර පරතරයක් තබා ගත්තේ ය. LTTE ය සමඟ වූ අරගලය දශක දෙකක් ගත වී ගිය කාලය තුළ දී දකුණේ කිසිදු පාලන තන්ත්‍රයක් ඉහත හිස්තැනට -Subject- ආදේශ නොවීය. මෙම අර්ථයෙන් ගත් විටදී, 2005 දී නව-සන්දර්භය මෙසේ ය.

    Government= කවුද පාලනය කරන්නේ?
    Regime= කොහොමද පාලනය කරන්නේ?
    State= කොයි පන්තියේ බලය ද ස්ථාවර වෙන්නෙ?
    Family= ඡන්දයෙන් පාලනය වෙනස් වුණාට, ආණ්ඩු වෙනස් වුණාට පවුල දිගටම තියෙනවා. පවුල ‘රාජ්‍යයට’ වඩා විශාලයි.
 

2007 වර්ෂයේ දී ‘මව්බිම’ පුවත්පතේ දේශපාලන සටහන මම ලියන විටදී, මම කිව්වේ ‘රාජපක්ෂ රෙජීමය’ කියලා. නමුත්, රනිල් වික්‍රමසිංහ කිව්වේ ‘මැදමුලන දේශපාලනය’ කියලා. ඒක සංස්කෘතික අදහසකි. රාජපක්ෂ රෙජීමය කියන්නේ, පාලන තන්ත්‍රයක් නොව මාෆියා ආකෘතිය ගත්ත පවුල් පාලන ව්‍යුහයකි.
 
2005 වසරේ සිට ගතහොත්, රාජපක්ෂ රෙජීමය  තහවුරු වූ මොහොතේ අධිපති පාලකයන් තිදෙනාගේ පන්ති ස්වභාවය පහත පරිදි ය.
RW - කොම්ප්‍රදෝරු ධනපති පන්තිය
V P   -  ජාතික ධනපති පන්තිය
MR -  ලුම්පන් මැද පන්තිය
 
(කියවන්න- ආන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්ගේ- Lumpenbourgeoisie, Lumpen Development- 1972) (මේ නව-මැදපන්තිය නිෂ්පාදනීයත් නැහැ, ආනයන-අපනයනයත් නැහැ. ඒ වෙනුවට, බහුජාතික සමාගම්වල දේශීය කාර්යාලයක්)
 
Colombo, SRI LANKA: Sri Lanka's leader of the main opposition Ranil Wickremasinghe (L) listens to former foreign minister Mangala Samaraweera (R) as a policeman stands guard at a mass rally in Colombo, 26 July 2007.  Thousands of opposition activists and ruling party dissidents took to the streets in Colombo to protest against human rights violations and high living costs. AFP PHOTO/Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)
මේ දක්වා අප සංවාදයට ලක් කළ 2005 වර්ෂයේ දේශපාලන පෙරළිය සලකා බැලුවහොත්, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, වේළුපිල්ලේ ප්‍රභාකරන් යන ඒ මොහොතේ තීරණාත්මක බල ව්‍යුහය පාලනය කළ තිදෙනාම වටහා නොගත් ප්‍රපංචයක් (phenomenon) රාජපක්ෂ සහෝදරවරුන් කියවීමට ලක් කළේය. රටේ පොදු ප්‍රශ්න වූ සමාජ-ආර්ථික ගැටලුවලට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වැනි සාධකවලට සහ සිංහල ජාතිවාදයට රනිල් සහ මංගල විරුද්ධ වන විට දී රාජපක්ෂ සහෝදරවරුන් අවධාරණය කරන ලද්දේ, ‘LTTE නම් ප්‍රපංචය’ යි. 
 
රනිල්ට සහ මංගලට තමන්ගෙන් බාහිර ලෝකයේ පවතින බාධාවක් ලෙස LTTE ය පෙනුන අතර රාජපක්ෂ සහෝදරවරුන්ට LTTE ය පෙනුණේ තමන්ගේ ආත්මීයත්වයට අභ්‍යන්තර දෙයක් ලෙසිනි. ඔවුන්ට LTTE ය කියන්නේ, epistemological දෙයක් නොව ontological දෙයකි. මාරාන්තික වෙනස බිහි වන්නේ, මෙන්න මේ තැනිනි. රාජපක්ෂ සහෝදරවරුන්ට LTTE කියන්නේ සිය ආත්මය තුළ ඇති අභ්‍යන්තර ස්වයං බාධාවකි. එය අහෝසි කළ විට දී, බාහිර ලෝකයේ ඔවුන්ට වෙන කිසි බාධාවක් නැත. ඡන්දයට පෙර ඔවුන් ඉතා නිහතමානීව, ඉවසීමෙන් තමන්ගේ මේ මොහොත එන තුරු සිටි.
ඡන්දයෙන් පසුව ජාත්‍යන්තරව යුද්ධයට එරෙහිව විවිධ බාධා පැමිණෙන අතර ඔවුන් කලින් ගත් තීන්දුවට අනුව එනම්, සමපේක්ෂණ තර්කනයට අනුව රාජපක්ෂලා වැඩ කරයි. සුදු කොඩි උස්සගෙන ආපු LTTE නායකයන්වත් විනාශ කරයි. කොටින්ම, සියලු දෙනාව සුද්ධ කරයි. ආත්මීය තර්කනයට සහ වාස්තවික තර්කනයට වඩා වෙනස්ව සමපේක්ෂණ තර්කනය සතු අමුතු තර්කනය නැතහොත්, දැනුම කුමක් ද? ඡන්ද ජයග්‍රහණයට අනුව වසර 2 ක් ඇතුළත මංගල සමරවීරගේ දේශපාලන ජීවිතය විශාල ඛාදනයකයට ලක් වූ අතර ඉන්පසු උදා වූ යුගය තුළ දී රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය ද විනාශ වී එක්සත් ජාතික පක්ෂය ද දෙකඩ විය. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පසුගිය වසර 20 තුළ ක්‍රම ක්‍රමයෙන් විඛාදනය වී, දිය වී නෂ්ට විය. උතුරේ ජාතික විමුක්ති අරගලය සහමුලින් පරාජයට පත් වූ අතර ඉන්දියාවේ පැවති කොංග්‍රසයේ බලය ද විනාශ විය. සෝනියා-රාහුල් ගාන්ධි නායකත්වයට අදටත් ගොඩ ඒමක් නැත. යුරෝපය සහ ඇමරිකාව සතුව පැවති ගෝලීය දේශපාලන බලය ද ක්ෂය විය. 2005 දී රාජපක්ෂවරුන් LTTE ය සමූල ඝාතනය කොට විනාශ කිරීමට ගත් සමපේක්ෂණ තීරණය න්‍යෂ්ටික බෝම්බ යථාර්ථයක් බිහි කළේ මන්ද?
 
දේශපාලනයේ දී, රනිල් වික්‍රමසිංහ හෝ මංගල සමරවීර හෝ සෝමවංශ අමරසිංහ හෝ ලබා නො දුන් නමුත්, රාජපක්ෂ සහෝදරවරුන් රහසින් සමාජයට පොරොන්දු වූ ‘අමතර දෙය’ කුමක් ද? වික්‍රමසිංහ සහ සමරවීර පොරොන්දු වූයේ, සමාජයේ විවිධ පීඩිත සහ අවවරප්‍රසාදිත සමාජ කණ්ඩායම් වලට රාජ්‍යයෙන් ලබා ගත හැකි සුභසාධන මල්ලයි. එහිදී, සමාජයේ පහළ තට්ටුවලට ‘බලය’-POWER  - පැවරීමක් පොරොන්දු වූයේ නැත.
 
නමුත්, ‘රාජපක්ෂ පවුල’ 2010 වර්ෂයේ දී සමස්ත බලය -Total Power -  පිහිට වූ පසු තමන්ගේ ‘බල-හවුල’ (Power Block) සකස් කරන ලද්දේ මාෆියා පවුලක ආකෘතියෙනි. මේ පිළිබඳව 2022 වර්ෂයේ මැද දී ප්‍රවාදගත කිරීමක් කරනු ලැබුවේ දිල්ෂාන් ප්‍රනාන්දු සහෝදරයා ය. ඔහුගේ අදහස වූයේ, ලාංකීය රාජ්‍ය ව්‍යුහය LTTE සන්නද්ධ අරගලය හමුවේ පන්ති සබඳතාවලින් ‘පවුලක ආකෘතියට’-Family Form - පැමිණීමේ වේදනාවෙන් පෙනුණු බවයි. එහිදී, වින්නඹු මව බවට පත් වූයේ ජවිපෙ වන අතර බිහි වූ දරුවා වූයේ රාජපක්ෂ පවුල සහ ශිරන්ති රාජපක්ෂ බවයි. මෙම සූත්‍රය යථාර්ථය විග්‍රහ කිරීමට කදිම සූත්‍රගත කිරීමක් බව විශද විය. මෙහි න්‍යායික අදහස වන්නේ, වර්තමාන යුගයේ රාජ්‍යය යනු පවුල බවයි. එය, ලංකාවට මෙන්ම ඇමරිකාවට ද පොදු ය.
සිල්වියා ප්ලාත්ගේ Daddy යන පද්‍ය පන්තියේ එන Every woman adores a Fascist- සෑම ස්ත්‍රියක්ම ෆැසිස්ට්වාදියෙකුට ඇලුම් කරයි- යන ප්‍රකාශයේ යටි පෙළ කුමක් ද? සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සිද්ධාන්ත වලට අනුව, මෙම වාක්‍යය දේශපාලන අර්ථයකට වඩා ‘සංකේත අධිකාරිය සහ ආශාව’ සමග බැඳුණු සන්දර්භයක වටහාගත යුතුය. ලැකානීකෘත ෆ්‍රොයිඩ්වාදයට අනුව මිනිසෙකු භාෂාවේ සමාජ පර්යාය වටහා ගන්නේ, පීතෘ රූපකය හරහා ය. සමහර යුගවල දී එම රූපකය බිඳ වැටී විනෝදයේ මානය කළ එළි බසියි. 
 
ෆැසිස්ට්වාදියා යනු, නීතිය හෝ පර්යාය බිඳ වැටුණු ලෝකයක ඊට විකල්පයක් ලෙස එන විකල්ප නීතියේ හෝ අධිකාරියේ අන්තගාමී සංකේතය යි. ස්ත්‍රිය යනු, මෙවන් විකල්ප පර්යායක් තුළ වඩාත්ම අර්බුදයට යන පුද්ගලයා ය. ඇය පීතෘමූලික අධිකාරියෙන් බලාපොරොත්තු වන්නේ, අනන්‍යතාවය සහ ආරක්ෂාවයි. මෙහිදී, ‘ඇලුම් කිරීම’ යනු, පුද්ගලයෙකුට දක්වන ආදරයට වඩා, පද්ධතිය විසින් ලබා දෙන ස්ථාවරත්වයට දක්වන ආරක්ෂණය යි.[Anuradha Yahampath ] 
 
මිනිසාගේ ආශාව යනු, අනෙකාගේ ආශාවෙන් එන පිළිගැනීම යන න්‍යායික අදහස අප අනුමාන කරන්නේ නම්, ෆැසිස්ට්වාදියා පෙනී සිටින්නේ කිසිදු සැකයක් හෝ අඩුවක් නැති ස්ථිර තීන්දු ගන්නා ‘මහා අනෙකා’ ලෙස ය. ස්ත්‍රිය තම ආශාව තහවුරු කර ගැනීම සදහා මෙවැනි ශක්තිමත්, ස්ථාවර මධ්‍යස්ථානයක් ගවේෂණය කරයි. ෆැසිස්ට්වාදී රූපකය තුළ පවතින්නේ, එම ‘පරිපූර්ණ අනෙකාගේ’ ස්වරූපය යි.
 
‘ස්ත්‍රියට සාරයක් නැත’ යන ෆ්‍රොයිඩ්ගේ ආප්තය මගින් විද්‍යාමාන වන්නේ, ස්ත්‍රිය යනුවෙන් සාර්වත්‍රික පුද්ගලයෙකු පොදු බව තුළ නැති බවයි. මෙම ව්‍යුහාත්මක-වාග් විද්‍යාත්මක අඩුව තුළ ඇය බොහෝ විට සංස්කෘතික පර්යාය ඇතුළත ඉතා ප්‍රබල, අධිකාරිවාදී රූපකයක් වැළඳ ගැනීමට උත්සාහ කරයි. 
 
ෆැසිස්ට්වාදියා යනු, එම හිස්තැන පිරවීමට උත්සාහ කරන ස්වාමි හැඟවුම්කාරකය යි. මෙහිදී, ‘ෆැසිස්ට්’ යන වචනයෙන් සංකේතවත් වන්නේ, සමාජ අවකාශයේ පීඩනය යි. ආත්මය ඇතැම් විට දී වේදනාව හෝ යටත් වීම තුළින් අසීමිත තෘප්තියක් අත් විඳියි. නීතියට හෝ බලයට අන්තගාමී ලෙස යටත් වීම තුළින් ලබන අමුතුම ආකාරයේ තෘප්තියක් පවතී. ප්ලාත්ගේ ප්‍රකාශය තුළ ගැබ් වන්නේ, මෙම මනෝ විද්‍යාත්මක සත්‍යය යි. මෙමගින් අදහස් වන්නේ, සෑම ස්ත්‍රියක්ම දේශපාලනිකව ෆැසිස්ට්වාදියෙකු නොව සංකේතීය පර්යාය තුළ අපව සෑම විටම පාලනය කරන සහ අපට අනන්‍යතාවයක් ලබා දෙන ප්‍රබල අනෙකෙකු වෙත ආකර්ෂණය වන බවයි. මෙය, බලය සහ ආශාව අතර දෝලනය වන ප්‍රබල සාර්වත්‍රික බන්ධනයකි.
 
Former Sri Lankan president Mahinda Rajapaksa (R) sits next to his wife Shiranthi Rajapaksa during a religious ceremony at his residence in Medamulana July 1, 2015. Rajapaksa said he would run for prime minister during next month's parliamentary elections, a move that is likely to infuriate rights groups as he is accused of war crimes in a civil war. REUTERS/Dinuka Liyanawatte
දිල්ෂාන්ගේ අදහස වූයේ, 2022 දී බලය ගත් රනිල් වික්‍රමසිංහට ව්‍යුහාත්මක පවුලක් නැති නිසා සහ ශිරන්ති රාජපක්ෂ වැනි අධිකාරී ව්‍යුහයකට ඇලුම් කරන ස්ත්‍රියක් නැති නිසා ඔහුගේ ආණ්ඩුව ඉදිරියට එන ඡන්දයක දී අනිවාර්යයෙන් පරාජය වන බවයි. ‍ව්‍යූහාත්මකව සලකා බැලූ විට දී, මෙය සත්‍යයකි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ යනු, ෆැසිස්ට්වාදියෙකුට ඇලුම් කරන ස්ත්‍රියක් නොවේ. රෙජීමයක් පවුලක් ලෙස සකස් වූ විට- බණ්ඩාරනායක යනු, ආණ්ඩුවක් තුළ පවතින පවුලකි- ඒ පිළිබඳව සබුද්ධිකව ක්‍රියා කළ යුතුය. ඒ සඳහා වෙනත් විකල්ප නැත. 
 
ෆැසිස්ට්වාදය උන්මුල ලෙස යුරෝපයේ දී 1945 දී පරාජය කළ පරිදි දේශපාලනිකව පරාජය කළ යුතුය. එය හට ගන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් වූවත්, එය පරාජය කළ යුත්තේ මහපාරේදී ය. එම නිසා, රාජපක්ෂ පවුල වටහා ගැනීමට යාමේ දී අප නැරඹිය යුත්තේ පාර්ලිමේන්තු විවාද නොව Godfather, Soprano වැනි මාෆියා කලා නිර්මාණයන් ය. නැතහොත්, Night Porter වැනි සිනමා කෘතීන් ය.
 
එසේ නම්, රනිල් වික්‍රමසිංහට, මංගල සමරවීරට, මෛත්‍රීපාල සිරිසේනට බැරි තැන දී රාජපක්ෂ පවුල සාර්ථක වූයේ කෙසේ ද?
 
සමාජ සංසිද්ධීන් අර්ථකථනය කිරීමේ එකම රාමුව ලෙස දිගු කලක් පැවති සාම්ප්‍රදායික සහ කොම්ප්‍රදෝරු මාක්ස්වාදයේ ඇති දැඩි ආර්ථිකවාදී මතයේ දුර්වල ස්ථානය වෙත පහර දීමට ෆැසිස්ට්වාදීන්ට හැකි වූයේ කෙසේ ද? එතැන, තර්ක බුද්ධියට හසු නොවන සද්භාවාත්මක තලයක් ඇත. අපි ඒ දෙසට හැරෙමු.
 
අප දැන් දන්නා පරිදි, මිනිසුන්ගේ ආශාව සහ බලය අතර ගතික සම්බන්ධයක් ඇත. ඔබ ඔවුන්ට ආර්ථික ශක්තියක් පවරන්නේ නැති වුවත් ඔබ ඔවුන්ට බලය පැවරීමට සූදානම් ඔබේ ව්‍යාපෘතිය සාර්ථක වනු ඇත. බලය යනු, හුදු පාලනය පමණක් නොව එය ආශාවක් ද වෙයි.
යුරෝපයේ නාසිවාදය, ෆැසිස්ට්වාදය සාර්ථක වූයේ, ඔවුන්ගේ පාලන තන්ත්‍රය තමාගේ පාලන උපකරණ වලින් වැඩි කොටසක් එනම් මර්දනය, මිනිසුන් මෙහෙය වීම, පොලිස් කටයුතුවලින් සෑහෙන කොටසක් මහජනයාගේ ප්‍රකාශ වීම් කලාපයට මුදා හැරීම තුළයි. වෝල්ටර් බෙන්ජමින්ගේ ප්‍රවාදය සැලකිල්ලට ගන්නේ නම්, ෆැසිස්ට්වාදය මිනිසුන්ට ප්‍රකාශ වීමට ඉඩ හසර පාදයි. නමුත්, දේපළ අයිතිය පිළිබඳව කතා නොකරයි. මේ හේතුව නිසා, පාලනයේ වගකීමෙන් කොටසක් මහජනයා තමන් වෙත පවරා ගනියි. ඔබ නාසි පක්ෂයට බැඳුණු වහාම ඔබට ඔබේ අසල්වැසි යුදෙව්වා මරා දැමීමට හෝ ඔහුගේ බිරිඳ දුෂණය කිරීමට වරය ලැබෙයි. 
 
v6uy56uy56 
එනම්, සාමාන්‍ය මිනිසුන්ට මෙලෙස ‘බලය’ බෙදා දීම මගින් ඔවුන්ව පද්ධතියේ කොටස්කාරයන් බවට පරිවර්තනය කිරීම ඒ මහජනයා දකින්නේ නිදහස ලෙසිනි. එවිට, කෙනෙක් ලිබරල්වාදියෙකු හෝ වාමාංශිකයෙකු නොවී ෆැසිස්ට් ජාතිවාදියෙකු වන්නේ, ජාතික ආලය නම් අන්තර්ගතය නිසා නොව ඉන් අනෙකාට හිරිහැර කිරීමට ඔබට ලැබෙන අයිතිය නිසා ය. බලය කෙරෙහි ඇති තද ආශාව කෙනෙකු නාසිවාදියෙකු කළ හැක්කේ මේ නිසා ය. SS යනු, මරා දැමීමට සහ දූෂණය කිරීමට බලය දුන් පිරිසයි.
 
නාසිවාදය කිසිදා ජනතාවට තිරසාර භෞතික වාසි ලබා දුන්නේ නැත. ඔවුන් මහජනයාට ලබා දුන්නේ ප්‍රකාශන නිදහසයි. දිලිත් ජයවීර වැනි තක්කඩියන් පාවිච්චි කරන්නේ, මෙම අවකාශය යි. 1945 මැයි 3 වන දා දක්වා නාසිවාදීන් අවසන් ලේ බිංදුව දක්වා සටන් කළේ, ඒ මිනිසුන්ට බලය සමග තිබූ චිත්තවේගීය සම්බන්ධය නිසා ය. මෙම අතිරික්ත බලය අනෙක් පසින් ලිංගික බව ද අප අමතක නොකළ යුතුය. 80 දශකයේ මැද දී හටගත් ශ්‍රී ලාංකීය ෆැසිස්ට් චින්තනය- වෙනත් මිනිසුන්ට නැති සාරයක් සිංහල අපට ඇත- දශක දෙකකට වඩා වැඩි කාලයක් ඔස්සේ විකසනය වී එය දැන් ‘මාෆියා ආර්ථික-අධෝ ව්‍යුහයක්’ බවට පරිවර්තනය වී ඇත.
 
මෙම රචනාව අවසන් කිරීමේ දී, ආචාර්ය නිව්ටන් ගුණසිංහ විසින් 56 යේ දේශපාලන විපරිවර්තනය පිළිබඳ තම ලිපිය අවසන් කරන ආකාරය උපුටා දැක්වීමට කැමැත්තෙමි:

     “ දේශපාලන සහ සමාජ න්‍යායේ දී ඉතාම දුෂ්කර කාර්යය නම්, නිවැරදිව ගැටලුව සූත්‍රගත කිරීම ය. ගැටලුව නිවැරදිව සූත්‍රගත වූ විට දී, එමගින් කතිකාවේ මංපෙත සකස් වෙයි. එවිට, අර්ථාන්විතව ප්‍රශ්න නැගීමට සහ ඒවාට නිවැරදිව පිළිතුරු සැපයීමට හැකිය. අවධාරණය කළ යුතු අනෙක් සාධකය වන්නේ, දේශපාලන නායකත්වය සහ එහි සමාජ පදනම අතර පවතින ද්විඝටනීය සබඳතාවය යි. වෙනත් ආකාරයකට කියන්නේ නම්, පාලකයාගේ අභිප්‍රායන් සහ ඔහු නියෝජනය කරනු ලබන විවිධ සමාජ කණ්ඩායම්වල අභිප්‍රායන් අතර වෙනසක් තිබෙන බව ය. බණ්ඩාරනායක සැබැවින්ම සෝමාරාමලාගේ සහ බුද්ධිරක්ඛිතලාගේ අභිප්‍රායන් නියෝජනය කළේ නම් ඔවුන් විසින් ඔහු මරා දැම්මේ ඇයි? සමකාලීන සන්දර්භයකට මෙම අදහස රැගෙන එන්නේ නම්, චන්ද්‍රිකාගේ ලිබරල් ව්‍යාකූලත්වය නිසා හටගත් ‘රාජපක්ෂ පවුල’ සතු දේශපාලන අධිකාරය ඇයටම විනාශ කිරීමට හැකි වූයේ කෙසේ ද?”
 
මාගේ අවසන් නිගමනය මෙසේ සටහන් කරමි. ‍

ප්‍රභාකරන්ගේ අරගලය ‘මාස්ටර්-වහලා’ පිළිබඳ සටනක් නම්, රාජපක්ෂගේ ආගමනය මගින් එය අවසන් විය. මිනිසා මිනිසෙක් වන්නේ, අනෙකාගේ පිළිගැනීම (Recognition) මත යන ඇලෙක්සැන්ඩර් කොජෙව්ගේ අදහස මතකයට ගත හැකිය. ප්‍රභාකරන් තම අරගලය තුළ මරණීය අවදානම ගත් අතර තමා (ඔහු) More than mere animal life කියලා අපට පෙන්වන ලදී. ඉන්පසුව, ලංකාවේ දේශපාලන පැවැත්ම ඉතිහාසයේ අවසානයත් සමඟ බද්ධ විය. මෙවන් තත්වයකට පසු බිහි වන්නේ, පශ්චාත්-ඓතිහාසික යුගයකි. ඉන්පසූ ‘මනුෂ්‍යයා’ අවසන් වන අතර තෘප්තිමත් වූ තිරිසනෙකු අපට විද්‍යාමාන වෙයි. 
 
තිරිසනුන්ගෙන් සමන්විත සමාජයක් තැනී ඇත්තේ, අවදානමකින් තොර, නිශේධනයකින් තොර, නිර්මාණයකින් තොර, ශෲංගාරය පවතින අංගයන්ගෙනි. එම නිසා, ලිබරල් සමාජයක සිදු වී ඇත්තේ තිරිසනුන්ගේ ආශාව කළමනාකරණය කරන, දේශපාලනයකින් තොර සමාජයකි. එවන් සමාජයක ‘මිනිසුන්ට’ පැවැත්මක් නැත. මාෆියා පවුලක් යනු, එවන් සමාජ දේහයක අත්තිවාරමයි. ශිරන්ති රාජපක්ෂ තම කර්තවය පිරිමින්ට නොපෙනෙන්නට කරන්නට තරම් දක්ෂ ය.

DKG(සටහන | දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(3mana.com)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්