ඉන්දියාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරමින්, එරට තරුණ පරපුර කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතින "කැරපොතු ජනතා පක්ෂය" (Cockroach Janata Party - CJP) නැමැති දේශපාලන ප්‍රවණතාවය හේතුවෙන් ඉදිරියේදී කලාපය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය හැකි බව පාඨලී චම්පික රණවක පවසයි.
'Epicenter' යූටියුබ් නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට පරිබාහිරව, බිම් මට්ටමේ මහජන පීඩනය සහ ඩිජිටල් තාක්ෂණය මුල් කරගනිමින් ගොඩනැගෙන මෙම රැල්ල හේතුවෙන් ඉන්දියාව තුළ ද "අරාබි වසන්තය" බඳු මහජන නැගිටීමක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
මෙම අපූරු දේශපාලන ව්‍යාපාරයේ උපත සිදුවූයේ ඉන්දීය අගවිනිසුරුවරයා විසින් රැකියා විරහිත තරුණයින් "කැරපොත්තන් සහ පරපෝෂිතයන්" ලෙස හැඳින්වීමට ගත් උත්සාහයකට එරෙහිව ය. ඉන් කෝපයට පත් තරුණයින් උපහාසාත්මක මෙවලමක් ලෙස #MainBhiCockroach ("මමත් කැරපොත්තෙක්") හෑෂ් ටැගය ඔස්සේ සංවිධානය වෙමින් මෙම "කැරපොතු ජනතා පක්ෂය" බිහි කර තිබේ. මෙය නිල මැතිවරණ පක්ෂයක් නොවන මුත්, පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් සංඛ්‍යාව පවා අභිබවා යමින් මිලියන 10 සීමාව පසුකර යාමට මෙයට හැකි වී තිබේ.

මේ වන විට ඉන්දීය රජය විසින් මෙහි X (ට්විටර්) ගිණුම තහනම් කර තිබුණ ද, තරුණයින් වීදි බැස කැරපොතු වෙස්මුහුණු පැළඳ විරෝධතා පවත්වන මට්ටමට මෙය වර්ධනය වී ඇත. දූෂණය, අධික ජීවන වියදම සහ පාලකයන්ගේ විවේචන නොඉවසන ප්‍රතිපත්තිය හමුවේ පීඩිත ජනතාව සංවිධානය වන මෙම නව මාදිලියේ දේශපාලන බලවේගය, ශ්‍රී ලංකාවේ 'අරගලය' හෝ බංග්ලාදේශයේ තරුණ නැගිටීම් වැනි තත්ත්වයක් කරා ගමන් කිරීමේ විභවයක් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.
දිවි ගලවා ගැනීමට උපන් හපන්, ඕනෑම කටුක තත්ත්වයකට ඔරොත්තු දෙන "කැරපොත්තා" තමන්ගේ සංකේතය කරගත් මෙම Gen Z ව්‍යාපාරය, හාස්‍යය පෙරදැරි කරගෙන මාධ්‍ය නිදහස, වගවීම සහ සාධාරණ මැතිවරණ වැනි බැරෑරුම් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියි. මෙම නව ප්‍රවණතාව අසල්වැසි රටවල ස්වෛරීභාවයට මෙන්ම සමස්ත දකුණු ආසියාතික කලාපයේම ආරක්ෂාවට සහ බලතුලනයට සෘජුවම බලපෑම් එල්ල කරනු ඇතැයි ද පාඨලී චම්පික රණවක වැඩිදුරටත් අනතුරු අඟවයි.








