leader s

අවුරුද්ද 1999. අගවිනිසුරු GPS ද සිල්වා විශ්‍රාම ගිහින් පදවිය පුරප්පාඩු වුණාම එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨම විනිසුරුතුමා, මාර්ක් ප්‍රනාන්දු, අගවිනිසුරු පදවියට පත් නොකර ජනාධිපතිනි චන්ද්‍රිකා ගේ තේරීම වුණේ නීතිපති සරත් නන්ද සිල්වා.

ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වෙන්න කලින් මාර්ක් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ විධායක සභිකයෙක්. නමුත් විනිසුරුවරයෙක් වුණාට පස්සේ, සමහර මතභේදාත්මක තීන්දු දීල තිබුණත්, ඔහු එජාපයට පක්ෂපාතීව තීන්දු දුන්න කියල කිසිම චෝදනාවක් නැහැ.

කොහොම වුණත් තමන්ගේ ප්‍රධානම විරුද්ධ පක්ෂයේ හිටපු ප්‍රධානියෙක් අගවිනිසුරු පදවියට පත්කරලා "අත පුච්ච ගන්න" චන්ද්‍රිකා කැමති වුණේ නැහැ. ඒ වෙනුවට චන්ද්‍රිකා ගේ තේරීම වුණ නීතිපති සරත් නන්ද සිල්වා ඊටත් වඩා මතභේදයට ලක්වුණ චරිතයක්. පැහැදිලිවම නීතිඥයෙක් විදියට ඔහුගේ දක්ෂතාවය ගැන ඔහුගේ දරුණුම විවේචකයා වෙලා හිටපු රාවය නිර්මාතෘ වික්ටර් අයිවන්ට පවා කිසිම ගැටලුවක් තිබුණෙ නැහැ. කොටින්ම 71 කැරැල්ල සම්බන්ධ මහ නඩුවේදී පැමිණිල්ලේ කණිෂ්ට නීතිඥයෙක් විදියට සරත් නන්ද සිල්වා පැමිණිල්ල මෙහෙයවපු හැටි ගැන වික්ටර් අයිවන් පවා කතා කළේ ලොකු ගෞරවයකින්.

sarath n silva 11
නමුත් ඒ පත්වීමේ බරපතල ගැටලු කිහිපයක් තිබුණ.

එකක් තමයි මම මුලින්ම කිවුව වගේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සිටීම. අනික වික්ටර් අයිවන් ඒ වෙනකොටත් නීතිපති සරත් නන්ද සිල්වාට විරුද්ධව නඩු කිහිපයක්ම පවරලත් තිබුණ. ඒ නිසා රාවය චන්ද්‍රිකාගේ මේ උත්සහයට විරුද්ධව දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළා. ඇත්තටම වික්ටර් අයිවන් ප්‍රමුඛ රාවය, 17 වසරක එජාප පාලනය පෙරලලා දාලා චන්ද්‍රිකා බලයට පත්කරන්න දැවැන්ත කාර්යභාරයක් කරපු බව රහසක් නෙවෙයි. නමුත් ඒ වෙනකොට වික්ටර් චන්ද්‍රිකා ගේ දැඩි විවේචකයෙක් බවට පත්වෙලා හිටිය.

ඉතින් සියලු විවේචන නොතකා, චන්ද්‍රිකා සරත් නන්ද සිල්වා පත් කළාම, ඔහු දිවුරුම් දෙන පින්තූරය ඔලුවෙන් හිටවලා, "අධිකරණ නිදහසේ මළගම" කියල හෙඩිමක් පළ කරලා, මුල් පිටුව සම්පූර්ණයෙන්ම කළු පාටෙන් මුද්‍රණය කරලා වික්ටර් අයිවන් එදා පළ කළ ප්‍රතිචාරය පුවත්පත් ඉතිහාසයේ පෙර නොවූ ආකාරයේ දැවැන්ත විරෝධයක්.

image bd055748a0
ඒ තරම් දැවැන්ත විරෝධයක් පවා නොතකා ජනාධිපතිනි චන්ද්‍රිකා, සරත් නන්ද සිල්වා පත්කර ගත්තේ එක ප්‍රධානම හේතුවක් නිසා.

විශ්වාසය.

තවත් බොහෝ හේතු තියෙන්න ඇති. විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය නඩු තීන්දු ලබාගැනීමත් ප්‍රධාන හේතුවක් වෙන්නත් ඇති. නමුත් ඒ සියල්ලට වඩා ඉදිරියෙන්ම තිබුණ ප්‍රධානම හේතුව තමයි ඔහු ජනාධිපතිනියගේ ඉතා සමීපම, විශ්වාසවන්තම මිතුරෙක් වීම.

ඊට පස්සේ ඔහු අවුරුදු දහයක කාලයක් ලංකාවේ අගවිනිසුරු පදවිය දරනවා. ඒක සැලකෙන්නේ ලංකාවේ අධිකරණ ඉතිහාසයේ අඳුරුතම යුගයක් හැටියට. ඔබ බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. කොටින්ම නීති ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් ඇරුණහම ලංකාවේ බොහෝ දෙනෙක් සරත් සිල්වා සලකන්නේ ලංකාවේ හිටපු අපකීර්තිමත්ම අගවිනිසුරුවරයා විදියට.

නමුත් මම කියන්න හදන්නේ වෙනත් කාරණයක්.

cbk119
ඒ කාලේ පැවති දේශපාලන වාතාවරණය සලකල 1999 දී චන්ද්‍රිකා ජනාධිපතිවරණය කැඳවන්නේ නියමිත කාලයට අවුරුද්දකට කලින්. ඒකෙන් ජයග්‍රහණය කරපු ගමන්ම චන්ද්‍රිකා 1999 දෙසැම්බර් මාසේ දෙවෙනි වතාවටත් ජනාධිපති පදවියේ දිවුරුම් දෙනවා. ප්‍රසිද්ධියේ ඒ දිවුරුම දෙන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඉදිරියේ. නමුත් නීති විශාරදයින් කියන විදියට පදවියේ හිටපු පුද්ගලයාම යළිත් වරක් තේරී පත්වුණ නිසා ඇයට මුල් ධුර කාලයේ අවුරුද්ද අහිමිවෙන්නේ නැහැ. ඒ කියන්නේ 1999 මැතිවරණයෙන් තේරී පත්වුණත් ඇය දිවුරුම් දිය යුතුව තිබුණෙ 2000 නොවැම්බර් මාසේ. චන්ද්‍රිකා ඒ ගැන තමන්ගේ සමීපම මිත්‍රයා, සරත් නන්ද සිල්වා ගෙන් උපදෙසක් ගන්නවා. එහෙම නම් 2000 නොවැම්බරයේ ආයෙත් වතාවක් දිවුරුම් දෙමු කියල මේ මිත්‍රයා උපදෙස් දෙනවා. ඊට පස්සේ චන්ද්‍රිකා ආයෙත් වතාවක් සරත් නන්ද සිල්වා ඉදිරියේ දිවුරුම් දෙනවා. නමුත් රටවැසියන් ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ.

ලස්සනම වැඩේ වෙන්නේ ඊට පස්සේ.

චන්ද්‍රිකා ගේ දෙවෙනි ධුර කාලය අවසන් වෙන්න කිට්ටු වෙනකොට චන්ද්‍රිකා සහ මහින්ද අතර බල අරගලයක් මතුවෙලා චන්ද්‍රිකාගේ මේ "අතිරේක" අවුරුද්ද ගැන අර්ථ දැක්වීමක් ගන්න චන්ද්‍රිකා අධිකරණයට යනවා. චන්ද්‍රිකා හිතන්නේ 2000දී රහසිගතව දිවුරුමක් දෙන්න උපදෙස් දීපු ඇයගේ සමීපම මිතුරා, අගවිනිසුරු සරත් නන්ද සිල්වා, මේ ප්‍රශ්නය වහාම විසඳලා දේවි කියල.

තීන්දුව ආවම තමයි චන්ද්‍රිකාගේ ඉහමොළ රත්වෙන්නෙ.

මුළු සමාජයෙන්ම එල්ලවුණ විරෝධය නොතකා, තමන්ගේ පාලනයට දේශීය විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් කළු පැල්ලමක් එකතුකරගෙන අගවිනිසුරු පදවියට පත්කරපු ඇගේ "මිතුරා" ඇගේ දේශපාලන ජීවිතයේ දරුණුම පිහි පහර එල්ල කරනවා.

චන්ද්‍රිකාගේ දෙවෙනි ධුර කාලය ආරම්භ වෙන්නේ 2000දී නෙවෙයි, 1999දී කියල "හොඳම මිතුරා" අගවිනිසුරු සරත් නන්ද සිල්වා තීන්දු කරනවා.

මේ මොහොතේ අනුර කුමාර දිසානායක උත්සහ කරමින් ඉන්නෙත් චන්ද්‍රිකා වගේ "හොඳම මිතුරෙකුගේ" ධුර කාලය දීර්ඝ කරලා ඒ ඉතිහාසය ආපහු  කරකවා ගන්නද?

අද අපි මේ දකිමින් ඉන්නේ ඉතිහාසය යළි, යලිත් කැරකෙමින් තියන බවද?

Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුනි 10

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්