leader s

ලාංකීය පාර්ලිමේන්තු දේශපාලනය තුළ සිදුව ඇති විශාල පරිවර්තනයක් අද දවසේ නිරීක්ෂණය කළ හැකියි. එනම්, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙන් කරන්නා වූ අවකාශය අන් කවරදාවත් නොවූ විරූ අයුරින් පසමිතුරුතාවේ අවකාශයක් බවට පරිවර්තනය වීමයි.

ආණ්ඩු පක්ෂයේ ඇසින් බැලූ විට අනෙක් පස සිටින බහුතරයක් දෙනා නීතිය හමුවට රැගෙන ගොස් දඬුවම් දිය යුතු අපරාධකරුවන්ය. විපක්ෂයේ ඇසින් බැලූ විට ආණ්ඩු පාර්ශවයේ සිටින්නේ තමන්ගෙන් දේශපාලනිකව පමණක් නොව පුද්ගලිකවද පළි ගන්නට ප්‍රයත්න දරමින් සිටින සතුරු කණ්ඩායමකි. ආණ්ඩුව පැත්තේ සිට බලන විට විපක්ෂයේ අසුන්වල හිඳගෙන සිටින බහුතරයක් දෙනා කළු ආර්ථිකය සහ දූෂණකාරී කටයුතු මගින් ධනය ඉපැයූ පාදඩ-ප්‍රභූ කල්ලියකි. විපක්ෂයේ සිට බැලූ විට ආණ්ඩු පාර්ශවයේ හිඳගෙන සිටින්නේ ඉතිහාසයේ කිසියම් අත් වැරදීමකින් බලය හිමි වූ නමුත් රාජ්‍ය බලයට සොබාවික අයිතියක් නොමැති පහළ පාන්තිකයින් පිරිසකි (එබැවින්, ඉතාම ඉක්මණින් ඔවුන් එම අසුන්වලින් විසි වී ගොස් ඉතිහාසය යළිත් එහි 'නිවැරදි මාවතට' පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ!).

Reflecting on 34 Years The JVP and the Legacy of Comrade Rohana Wijeweera
මෙම පසමිතුරුතා හැඟීම කිසියම් ඓතිහාසික මතකයක් සමගද සම්බන්ධය. එනම්, 1980 දශකයේ ජවිපෙ දේශප්‍රේමී සන්නද්ධ අරගලය කෙරෙන් ගලා එන මතකයයි. පාර්ලිමේන්තුවේ දෙපස වාඩි වී සිටින කණ්ඩායම් දෙක එක් කලෙක එකිනෙකා සමග මාරාන්තිකව සටන් වැදුණු කණ්ඩායම් දෙකක උරුමය දරාගෙන සිටින තත්ත්වයක් ගැන සිතන්න. එක් කණ්ඩායමක සාමාජිකයින් හට අනෙක් කණ්ඩායම පෙනෙන්නේ තම අතීත සගයින් ඝාතනයට ලක් කළ වධකාගාර පවත්වාගෙන ගිය අයවළුන් ලෙසින් යැයිද සිතන්න. අතීතයේ පීඩිත පාර්ශවය වූ පළමු කණ්ඩායම දැන් සිටින්නේ ආණ්ඩු බලය දරන බලවත්ම දේශපාලන බලවේගය ලෙසින් යැයිද සිතන්න. දැන් එම කණ්ඩායමේ සාමාජිකයින් තම අතීත අරගලය යළි ක්‍රියාවට නගන්නට සූදානමක් නොමැති වුවද, ඔවුනගේ සාමූහික මතකය මැකී ගොස් ඇතැයි කිසිසේත්ම අපේක්ෂා නොකළ යුතුය. සාමූහික මතකය යනු දේශපාලන මනෝ විද්‍යාව පැත්තෙන් ගත් කල වැදගත් සාධකයකි. සරලව, මෙවන් වාතාවරණයක් තුළ නීතිය සහ යුක්තිය ඉටු කිරීමේ කාර්යයේදී ආණ්ඩු පක්ෂයට අනුකම්පා විරහිත දෘඩභාවයක් පවත්වා ගත හැකිය.

මේ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මා කලකට ඉහත සඳහන් කළ නාට්‍යමය සංසිද්ධියක් නැවත සිහිපත් කරන්නට ඉඩ දෙන්න. ඒ මා මිත්‍ර රාජිත දිසානායකගේ නාට්‍යයක එන ජවනිකාවකි. එහි එන පොලිස් නිලධාරියෙකු ඔහුගේ මිත්‍ර දේශපාලකයා දෙසට පිස්තෝලය දිගු කරමින් ඔහුව අත් අඩංගුවට ගන්නට උත්සාහ කරයි. තම මිතුරාගේ සතුරු අභිනය හමුවේ දේශපාලකයා බියට පත් වේ. එවිටම නාට්‍යමය ආපසු පෙරළීමක් (twist) දනවමින් පොලිස් නිළධාරියා තම මිතුරු දේශපාලකයාගේ පිටට තට්ටුවක් දමා මහ හඬින් සිනාසේ. ඔහු සිදු කොට ඇත්තේ විහිළුවක් බව දේශපාලකයා සේම ප්‍රේක්ෂකයාද දැන ගන්නේ එවිටය. දැන් සිදුවෙමින් ඇත්තේ අත් අඩංගුවට පත් වන දේශපාලකයින් ජවනිකාවේ දෙවන අදියර එනම් මිතුරු පොලිස් නිළධාරියා විසින් පිටට තට්ටුවක් දැමීම අපේක්‍ෂාවෙන් සිටියද එය එසේ සිදු නොවීමයි. ඔවුන් අත් අඩංගුවට පත් වන්නේ සැබෑවටමය. අතීතයේ මෙන් මාංචු දැමූ දෑත් ඉහළට ඔසවා වීරත්වයක් ප්‍රදර්ශනය කිරීමට හැකියාවක්ද නැත. මේ දිනවල විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ නායකයින්ගේ තෙතමනයක් නොමැතිකම, පළිගැනීමේ මානසිකත්වය සහ කුරිරුබව ගැන පවසමින් චෝදනා කරන්නේ එබැවිනි.    

 

parliment sri

අප ප්‍රභූ-නිර්ප්‍රභූ යනාදී කවර යෙදුම් භාවිත කළද, නොකළද ලාංකීය දේශපාලනය පිළිබඳ සෑම නිරීක්ෂකයෙකු හටම පිළිගන්නට සිදුවන කාරණයක් තිබේ. එනම්, වත්මන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අති බහුතරයක් දෙනා මෙරට පසුගිය දශක හතක පමණ ඉතිහාසය පුරා මාරුවෙන් මාරුවට පාලන බලය හෙබවූ ආර්ථික-දේශපාලන පන්තියෙන් පැමිණි අයවළුන් නොවේය යන්නයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතරැති පසමිතුරුතා සම්බන්ධයට පැහැදිලි ඓතිහාසික මූලයක් මෙන්ම සමාජමය මූලයක්ද ඇත. එබැවින්, මින් පෙර පැවති පාර්ලිමේන්තුවලදී මෙන් උණුසුම් විවාදයක් අවසානයේ දෙපාර්ශවයේ කතිකයින් හට එකිනෙකාට විහිළු තහළු කරගනිමින් සමුගෙන යාමට ඉඩක් නොමැත. ඔවුනට රාත්‍රීයේ එක්ව මධු විත පානය කරමින් දහවලේ කළ රණ්ඩු සරුවල්වලට හාස්‍යමය අතිරික්තයක් එක් කරන්නට හැකියාවක් නොමැත. කොටින්ම, පාර්ලිමේන්තු විවාද දැන් පාසැල් විවාද තරඟ මෙන් සුහදව අවසන් වන ඒවා නොවේ. එහිදී පවසන දේ (විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයෙන් පවසන දේ) සැබෑවටම අදහස් කරනු ලැබේ. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හට ඉදිරියේදී තම අතීත වැරදිවලට දඬුවම් විඳින්නට සිදුවන බව ආණ්ඩු පාර්ශවයෙන් පැවසෙන විට එය හුදෙක් වාදය පිණිස පවසන්නක් නොවේ. අප දැනටමත් දන්නා පරිදි අතීත ආණ්ඩුවල සිටි බලවතුන් රැසක් දැන් සිටින්නේ බන්ධනාගාරගතවය.

ඒ අනුව, දැන් පාර්ලිමේන්තුව තුළ රඟ දැක්වෙන දේශපාලන ගැටුම වනාහී එහි පාත්‍ර වර්ගයාගේ අනාගත පුද්ගලික ඉරණම සමගද බැඳුණු ගැටුමකි. මින් පෙර කිසිවෙකුට පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනය තම පුද්ගලික ජීවිතයෙන් පරිබාහිර නොහොත් එයට බලපෑමක් නොකරන දුරකින් තබා ගත හැකි වී නම්, දැන් එසේ කළ නොහැකිය. මෙය විපක්ෂයට සේම ආණ්ඩු පක්ෂයටද අදාළය. මන්ද යත්, පැරණි ආණ්ඩුවල දූෂණ ක්‍රියා හා අපරාධවලට එරෙහිව ආණ්ඩුව විසින් ගෙනයන ක්‍රියාමාර්ග එක් පියවරකින් හෝ පසුපසට ගත හොත් පැරණි අපරාධ රාජ්‍යයේ නියමුවන් යළි සංවිධානය වී පෙරළා තමන්ට පහරදෙනු ඇති බව ජවිපෙ/ජාජබ මන්ත්‍රීවරුන් හොඳින්ම දනී. අපරාධ රාජ්‍යයට එරෙහි ආණ්ඩුවේ ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් කුමක් සිදුවිය හැකිද? ඉදිරි මැතිවරණයකින් පසු එකී අපරාධ රාජ්‍යයේ ප්‍රතිස්ථාපනයකට පවා අවකාශ විවර විය හැකිය. එවිට වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් රැසකට දේශපාලනික පමණක් නොව පුද්ගලික පළිගැනීම්වලටද මුහුණ දීමට සිදුවිය හැකිය. ඒ අනුව, ජවිපෙ/ජාජබ දැන් පැමිණ සිටින්නේ කිසිසේත්ම ආපසු හැරීමට නොහැකි මංසන්ධියකටය (point of no return). විශේෂයෙන්ම දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය පැමිණ ඇති දුර අනුව ආණ්ඩුව එක් පියවරක් හෝ පසුපසට ගතහොත්, එය ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ගේ ජීවිත ඉරණම පවා අනතුරේ හෙළා ගැනීමක් විය හැකිය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්, පසමිතුරුතාව (antagonism) යනු මෙයයි. පසමිතුරා යනු ඔබගේ පැවැත්ම අභියෝගයට ලක් කරන්නා වූ අනෙකාය. පෙරළා එම අනෙකාටද ඔබව පෙනෙනු ඇත්තේ එලෙසිනි. ඔබට පැවතිය හැක්කේ සතුරා විනාශයට පත් කිරීමෙන් පමණි. නමුත්, උත්ප්‍රාසාත්මක ලෙස ඔබ ඔබ වන්නේද ඔබගේ සතුරා අනෙකා කර ගැනීම නිසාය. එබැවින්, සතුරාගේ විනාශය ඔබගේද වත්මන් අනන්‍යතාව විනාශයට පත් කරයි. සරලව, අපරාධ රාජ්‍යයේ නියෝජිතයන් තවදුරටත් නොපවතින ලෝකයක් තුළ අපරාධ රාජ්‍ය-විරෝධීන් සිටීමට ඉඩක් නැත. මෙහි අදහස ඔබගේ වත්මන් අනන්‍යතාව පවත්වා ගනු පිණිස ඔබගේ පසමිතුරු අනෙකාවද එලෙසින්ම ආරක්ෂා කරගත යුතු බව නොවේ. ඔබ පසමිතුරුතා අරගලය ජයගත යුතුය.

එම ජයග්‍රහණයේ මොහොත යනු ඔබට ඔබවම යළි සොයා ගන්නට සිදුවන මොහොතකි. ඒ මොහොතේදී දේශපාලන ලෝකය අලුතින් නැවත සැකසෙනු ඇත. එසේ අලුතින් සැකසෙන දේශපාලන ලෝකය ප්‍රජාතාන්ත්‍රික වූවක් විය යුතුය. එහි අදහස නම් දේශපාලන බලවේග අතර පසමිතුරුතාව වෙනුවට ප්‍රතිවාදීත්වය (agonism) ප්‍රමුඛත්වයට පත් වන ලෝකයකි.

නමුත්, මේ මොහොතේ අප අත්දකින කාරණය වන්නේ රනිල්, රාජපක්ෂ, චම්පික, විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පැරණි අපරාධ රාජ්‍යයේ කොටස්කරුවන් සමග ජවිපෙ/ජාජබ බලවේගයට ඇති පසමිතුරු සම්බන්ධය දැන් කිසිසේත්ම ප්‍රතිවාදීත්වයක් බවට පරිවර්තනය කළ නොහැකිය යන්නයි. පැවැත්ම පිළිබඳ අරගලය තුළ සම්මුතිවාදයට ඉඩක් නොමැත. දැන් ආපසු හැරිය නොහැකිය.

wijeweera1

පසමිතුරුතා අරගලයේ රැඩිකල් මානය න්‍යායිකව තේරුම් කිරීමේදී රෝහණ විජේවීර සහෝදරයාගේ පහත ප්‍රකාශය තරම් උචිත අන් නිදසුනක් මට සොයා ගත නොහැකිය. "මේ මග හැර අන් මගක් දැන් අපට ඉතිරිව නැත."

Sumith Chminda
(සටහන | සුමිත් චාමින්ද)

කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම - Sumith Chaaminda ෆේස්බුක් පිටුවෙන්...
2026 ජුනි 15
 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්