leader s

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් වසර 05 ට පසු පවත්වන

“ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය - 2025/2026” රටේ සියලු ක්ෂේත්‍ර, සියලු අංශ ආවරණය කරන්නකි. කම්කරු අමාත්‍යාංශය විසින් 2002 වසරේ ප්‍රකාශයට පත් කළ ජාතික ඵලදායිතා ප්‍රතිපත්තිය සමග “ඵලදායිතා ලේකම් කාර්යාලය” පිහිටුවනු ලැබිණ. රට පුරා රාජ්‍ය, අර්ධ රාජ්‍ය පමණක් නොව, පෞද්ගලික අංශයද ආවරණය කරමින් දැනුවත් කිරීම්, තරග, කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසාය වර්ධනය, සම්මාන ප්‍රදාන උත්සව පෞද්ගලික හා රාජ්‍ය ක්ෂේත්‍රයේත් පාසල් වලත් ප්‍රජා කණ්ඩායම් අතරත් ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කෙරුණි. මේ ගෙවුනු දසක දෙකක කාලයෙහි එනමුත් කිසි තැනක ඵලදායිතා වර්ධනයක් දකින්නට නැත. රාජ්‍ය ක්ෂේත්‍රයෙහි හැම සේවාවකම, ආයතනයකම අකාර්යක්ෂමතාව, පිරිහීම්, දූෂණ වංචා, වර්ධනය වන්නේය.

තනි ක්ෂේත්‍රයක් ලෙස ගත් විට, විශාලම ක්ෂේත්‍රය පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය වන්නේය. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි 2025/2026 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියට ඉදිරිපත්ව ඇත්තේ පාසල් 770 ට ආසන්න සංඛ්‍යාවකි. ඒ අතුරෙන් විශිෂ්ඨ පාසල් තේරීම මේ මාසයේ අවසන් සතියෙන් අවසන් වන්නේ යැයි වාර්තා වේ. පාසල්වල කෙරෙන ඵලදායිතා ක්‍රියාවලිය ගැන ඔබ දෙමාපියන්, පුරවැසියන් වශයෙන් දන්නේ මොනවාදැයි ඇසූ විට බහුතරයක් “දන්නේ නැහැ” යැයි කිවහොත් එය විමතියට කාරණයක් නොවේ. පාසල් 10,000 ට වැඩි සංඛ්‍යාවක් ඇති රටේ, මෙම තරගාවලියට වාර්ෂිකව ලියාපදිංචිව ඇත්තේ පාසල් 800 ට අඩු සංඛ්‍යාවකි. කොළඹ කලාපයෙන් මෙවර ඉදිරිපත්ව ඇත්තේ පාසල් 02 කි. කොළඹ අධ්‍යාපන දිස්ත්‍රික්කයෙන් පාසල් 26 ක් පමණි.  

ඵලදායිතා ලේකම් කාර්යාලයේ දැක්ම, මෙහෙවර, උපාමාර්ග, අරමුණු කෙටුම්පත් කරනු ලැබූයේ ඉංග්‍රීසියෙන් විය යුතුය. ඉංග්‍රීසි පිටපතෙහි අරමුණු 05 ක් ඇත. සිංහල පිටපතේ අරමුණු සතර සරළව මෙවැනි ය. (1) රටේ ඉදිරි දැක්මට හා සංවර්ධන වැඩසටහනට අනුව ජාතික සංවර්ධනයට සක්‍රීය ලෙස හවුල් විය හැකි අනාගත පරපුරක් හැදීම (2) අපද්‍රව්‍ය කළමනාකරණය, බලශක්ති සංරක්ෂණය හා සම්පත් අරපිරිමැස්ම මගින් ගෝලීය අභියෝග වලට මුහුණ දිය හැකි තිරසර සංවර්ධනයක් වෙනුවෙන් අනාගත පරපුරක් හැදීම (3) ආචාර ධර්මීය සහ පාරිසරික හැඩගැස්වීම් සහිත කායිකව හා මානසිකව නිරෝගී පරපුරක් හැදීම සහ (4) ආදර්ශමත් පාසල් පද්ධතියක් හා දරු පුරපුරක් ජාතික මට්ටමින් තහවුරුකර ඇගයීම හා ඔවුන් අඛණ්ඩව දිරි ගැන්වීම වේ.

ඉකුත් 2025 වසරේ සිට ඵලදායිතා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ මාලිමා ආණ්ඩුවේ සිංහලෙන්ද “ක්ලීන් ශ්‍රී ලංකා” යැයි කියන, පිරිසිදු ශ්‍රී ලංකාවක් හැදීමේ “යෝධ ජාතික වැඩසටහන” සමග හවුලක් ඇතිවය. පාසල් වල “ක්ලීන් ශ්‍රී ලංකා” යැයි ඉකුත් වසරේ ජුලි 09 වන දින “ක්ලීන් ස්ටෙප්ස් - සේෆ් ස්පේස්” යැයි නැවතත් ඉංග්‍රීසි ලේබලය යටතේ පරිසරය පිරිසිදු කිරීමක් කෙරින. පාසල්වල ළමුන් හා දෙමාපියන් එදින ඊට හවුල්වූ අතර, රට පුරා අනෙක් හැම තැනම මෙතෙක් “ක්ලීන් ශ්‍රී ලංකා” යැයි අපට දකින්නට තිබූයේ පක්ෂ හිතවතුන් කණ්ඩායම් වශයෙන් ගොඩ බැස කසළ එකතු කිරීම්, වල් කැපීම්, පැල සිටුවීම් වැනි මාධ්‍යයට ඡායාරූප, විඩියෝපට නිකුත් කළ සිල්ලර වැඩ කිහිපයකි. මේ වසරේ පාසල්වල “ක්ලීන් ස්ටෙප්ස් - සේෆ් ස්පේස්” වැඩ නැතුවා වාගේය. එහෙත් ඵලදායිතා සම්මාන තරගාවලියට පාසලේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩද අදාල වන්නේ යැයි සඳහන්ව ඇත.

මේ සියල්ලෙහි දැකිය හැකි එක විශේෂයක් ඇත. මේ වැඩසටහන සංකල්පගත කර ඇත්තේ, සමාජයෙහි හෝ අදාල පාර්ශව සමග හෝ කෙරෙන සාකච්ඡා වලින් තොරව, ජන සමාජයට බෙහෙවින් දුරස්ථ, කොළඹ නගරයේ හුදකලාවූ ඉහළ සමාජ ස්ථරයක, ඉංග්‍රීසි චින්තන කුලකයක් මගින් යැයි මම දකින්නෙමි. ඒවා සිංහලෙන් ගමට ගෙනෙන්නේ (දෙමළෙන් කෙසේදැයි නොදනිමි) සිංහල-බෞද්ධ සමාජ චින්තනයෙහි පටු සීමාවන් සමගින් ය. එවැනි විට අරමුණු හැදෙන්නේ බිම් මට්ටමෙහි සමාජ ආර්ථික හා විඥාණ මට්ටම ගැන අවබෝධයක් ඇතිව නොවේ. අරමුණු හා බිම් මට්ටමේ ක්‍රියාකාරකම් අතර ඒ හේතුවෙන් යෝධ පරතරයක් ඇත. වර්තමානයෙහි එය පාසල් ඵලදායිතා වැඩසටහන් සහ අරමුණු අතර ඉතා හොඳින් දකින්නට තිබෙන්නකි. ඒ පරතරය පහසුවෙන් පිරවිය හැකි පරතරයක්ද නොවේ. කොළඹ හුදකලාවූ ඉංග්‍රීසි චින්තනයෙහි ඇති නොදන්නාකම්ද ඊට එකතුව ඇති හෙයිනි.

නිදසුනක් ලෙස, ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත්කර ඇති අරමුණු සතරෙන් පළමු වැන්න වන්නේ, මේ රටේ මෑත ඉතිහාසයේ කෙදිනකවත් නොතිබුණු සහ මේ ආණ්ඩුවටද නොමැති “රටේ ඉදිරි දැක්මට හා සංවර්ධන වැඩසටහනට” සක්‍රීය ලෙස හවුල් විය හැකි අනාගත පරපුරක් හැදීම යන්න ය. මෙහි කතා කෙරෙන “ඉදිරි දැක්ම” කුමක්ද? “සංවර්ධන වැඩසටහන” කුමක්ද? එවැනි “ඉදිරි දැක්මක්, සංවර්ධන වැඩසටහනක්” ගැන ඔබ දන්නේද?

ගෙවුනු අවුරුදු 50 ට ආසන්න කාලයේ ජයවර්ධන ජනාධිපති 1977 දී පැල කළ විවෘත වෙළදපල ආර්ථිකය හැර වෙනත් කිසිවක් මේ රටේ නොමැත. එය “සංවර්ධන” ආකෘතියක් නොවේ. එහි ජාතික සංවර්ධනයක් ගැන කතා කිසිත් නැත. එය ඓන්ද්‍රීයව දූෂිත, නගර කේන්ද්‍රීය ජාවාරම්කාර වෙළඳපලකි. එහි මූලික ලක්ෂණ වන්නේ, (i) ආනයන-අපනයන සඳහා තිබූ සීමා ඉවත් කරනු ලැබීමත් (ii) අපනයන නිෂ්පාදන සඳහා විදේශ ආයෝජන කැඳවා ගැනීමට බදු විරාම, බදු සහන, වරදාන වරප්‍රසාද ලබා දීමත් (iii) සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ වලට අමතරව, ඇඟළුම් ප්‍රධානම අපනයනය වන නිෂ්පාදන වලින් සහ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ වැටුප විදේශ විනිමය ලෙස ලබා ගැනීමත් ( සඩ) හැම අවුරුද්දකම ආනයන-අපනයන වෙළද ශේෂය පියවා ගැනීමට ඒ කිසිවකින් නොහැකි වූ හෙයින් විදේශ ණය ගැනීමත් වන්නේ ය.

සියයට 80 ට ආසන්න ජනගහනයක් වන ග්‍රාමීය සමාජය අත හැර දැමුණු අවුරුදු 50 ක කාලයක් මේ ජාවාරම්කාර, දූෂිත විවෘත වෙළදපලෙහි ඇති බරපතලම ආරවුල වන්නේ, ආනයන-අපනයන වෙළඳ හිඟය පියවා ගැනීමට අප රටක් වශයෙන් ණයකාරයෙකු වීම ය. විවෘත වෙළදපල සක්‍රීය ලෙස තහවුරු වූ පසු 1980 දසකයේ දෙවන භාගයේදී ඩොලර බිලියන 0.6 ත් 01.4 ත් අතර පැවති ආනයන-අපනයන හිඟය, 2006 වන විට ඩොලර බිලියන 03 ඉක්මවා තිබිණ. 2010 පසුවන විට එය ඩොලර බිලියන 09 ඉක්මවා ගොස් 2018 න් පසු ඩොලර බිලියන 07 ත් 08 ත් අතර නැවතී ඇත. හැම වසරකම එළෙස වැඩිවූ හිඟය පියවා ගැනීමට අපට ණය ගැනීමට සිදුවූයෙන් ගත් ණය ගෙවීමක් නොවුනි. එනිසා ණය සඳහා වාර්ෂිකව පොලී ගෙවීමට අපට සිදු විය. 2022 වන විට අපව බංකොලොත් තත්ත්වයට පත් කළ විවෘත වෙළදපල ආර්ථිකයෙහි ඊට විසදුම් නොමැති බැව් පැහැදිලි අතර, ඊට විකල්පවූ සැළසුම්ගත “සංවර්ධන” වැඩසටහනක් ඇත්තේද නැත.

“ඉදිරි දැක්මක් හා සංවර්ධන වැඩසටහනක්” නොමැතිව එළෙසින් ණය වන රටක පාසල්වල ළමුන්ගේ ඵලදායිතා වැඩ වෙනුවෙන් අරමුණු කර ගත යුතු “ඉදිරි දැක්ම හා සංවර්ධන වැඩසටහන” සොයා ගන්නේ කොහෙන්දැයි මේ “අරමුණු” හැදූ කිසිවකු දන්නේ නැති බැව් පැහැදිලිය.

එතැනින් පසු ඉතිරි අරමුණු වලංගු නොවන බැව් අමුතුවෙන් කිව යුතු නැත. හැම අවුරුද්දකම ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, පාසල් වලින්ද අසන්නට ලැබෙන ළමා හිංසන, ළමා අපචාර දහස් ගණනින් වාර්තා වන, කප්පම් ගැනීම්, කොන්තරාත් මිනී මැරීම් සහ මත්ද්‍රව්‍ය අලෙවිය සීඝ්‍රයෙන් පැතිර යන සමාජ පිරිහීම් ගැන කිසිදු අවධානයක් යොමු නෙකෙරන ආණ්ඩු යටතේ ගුරු සේවාවේද පිරිහීම් සහිත පාසල්වල ඵලදායිතා වර්ධනයට “ආචාර ධර්මීය සහ පාරිසරික හැඩගැස්වීම් සහිත කායිකව හා මානසිකව නිරෝගී පරපුරක් හැදීම” අරමුණු කෙරෙන්නේ කෙසේදැයි දන්නාවුන් සිටිය නොහැක.    

අනෙක් සෑම රාජ්‍ය ආයතනයකම මෙන්ම පාසල් වලද සැබෑ අරුතෙන් ඵලදායිතා වර්ධනයක් නොවන්නේය. පාසල්වල සිදු වන්නේ පාසල් තේරීමේ නිරීක්ෂණ කාර්යන් ආසන්න වනවිට, කඩි මුඩියේ වාර්තාවක් හැදීම සහ පෙන්වීමට හැකි මොනවා හෝ අටවා තැබීම ය. එවැනි මගඩි ප්‍රමාණවත් වන්නේ, ඵලදායිතා නිරීක්ෂණයට පැමිණෙන්නවුන්ද දන්නා ඵලදායිතාවක් නොමැති හෙයින් ය. එවැනි පසුබිමක, රජයේ පාසල් 10,150 කින් පාසල් 9,400 ක් පමණ මේ ඵලදායිතා වර්ධන මගඩියට හවුල් නොවීමත් නිවැරදි ය. ඔවුන්ට දොස් කීමට නොහැකිය.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2026 ජුනි 19 වන දින

 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්