‘උඹ ආන්ඩුවට බැන බැන හිටියට හදලා තියෙන්නෙ NPP චිත්‍රපටියක්නෙ..
මගේ සිනමා මිතුරෙක් ළගදි චිත්‍රපටි සංස්ථාවෙදි මුනගැහුනම කිව්වා. ඒ කිව්වෙ අභිසාරි චිත්‍රපටිය ගැන.
මං හිතන්නෙ මගේ මිතුරා කිව්වෙ බලය ලැබෙයි කියලා හීනෙන්වත් නොහිතපු කාලෙක ජවිපෙ කට්ටිය කියපු කතන්දර ගැන වෙන්න ඕන. ඒත් කිසිම දවසක ජවිපෙට ලිංගික නිදහස පිලිබඳ කලාපයට අවතීර්ණ වෙන්න බැරි බව මං දන්නවා. ජවිපෙ සහ ලංකාවෙ වම කියන්නෙ සදාචාර ජාතිකවාදී කතිකාවෙම දිගුවක්. ඒ අයත් අවසානයේදි සිංහල බෞද්ධ ලිංගික විනෝදාස්වාද විරෝධී කතිකාවෙ කොටස්කරුවන්.
ලංකාවෙ විතරක් නෙමෙයි බටහිර පවා බොහෝ වාම ප්‍රවණතාවලට ලිංගික නිදහස බාරගැනීමේ හැකියාවක් තිබුනෙ නෑ. උදා විදිහට වෝක් සංස්කෘතියම ලිංගික නිදහස වික්ටිමයිස්ඩ් (වින්දිත) මානසිකත්වයකින් තමයි බාරගන්නෙ.

මෙතන තියෙන කාරණය ගැඹුරු එකක්. ඒක පැහැදිලි කරන්න අපිට සිද්ද වෙනවා ඩෙලූස් වගේ දාර්ශනිකයෙකුගේ අදහස් තරමක් යොදා ගන්න. ඩෙලුස්ගේ දේශපාලනික අදහස තමයි සමාජයක ආශාව සංවිධානය වී ඇති ආකාරය තමයි දේශපාලන ආකෘතිය වෙන්නෙ කියල. ඒ කියන්නෙ සමාජයේ ආශාව සංවිධානය කිරීම තමයි දේශපාලන බලයේ කාර්යය වෙන්නෙ. එතකොට ආශාව නිදහස් කිරීම හරහා විතරයි සමාජයක් ආකෘතිකමය අර්ථයෙන් වෙනස් වෙන්නෙ. අනිත් සියල්ල මතුපිට රවටනසුලු වෙනස්කම්.
උදා විදිහට ලංකාවෙ දැඩි සිංහල බෞද්ධයෙකුට පුළුවන් මාක්ස්වාදියෙක් වෙන්නෙ. මාක්ස්වාදියෙක් වුනා කියලා එයාගෙ ආශාවෙ ව්‍යූහයන් වෙනස් වෙලා නෑ. එයා සිංහල බෞද්ධ ආශාව ඇතුලෙම මාක්ස්වාදය පොරවගන්නවා. හරියට අපි ඉස්කෝලෙ පංතියෙදි ගණිතය විද්‍යාව ඉගෙන ගත්තා වගේ.
ලංකාවෙ අතිසරල නමුත් තීරණාත්මක දේශපාලන වෙනස්කම් දෙකක් තියෙනවා. කිසිම ජාතිකවාදී දේශපාලනයක් හෝ වාමවාදී දේශපාලනයක් මේ කාරණා දෙකට අත තියන්නෙ නෑ. එකක් ගණිකා වෘත්තිය නීතිගත කිරීම. අනෙක කංසා නීතිගත කිරීම. මේ දෙක දේශපාලනයට ඉතා දුර ට්‍රිවියල් කාරණා විදිහට ගත්තට ඇත්තටම මේ කාරණා දෙක හරහා ලංකාවෙ ආශා සංස්කෘතිය වෙනස් කරනවා. මේ දෙක විසින් විකල්ප ආශා ආර්තිකයන් නිර්මාණය කරනවා. මේ වෙනස්කමේ අදෘෂ්‍යමාන තරංගයන් සියලු ආර්ථික, දේශපාලන සහ සමාජීය තත්වයන් පරිණාමය කරනවා. නමුත් ඒක කරන්න පුළුවන්කමක් ලංකාවෙ කිසිදු දේශපාලන පක්ෂයකට නෑ. ආශාව පාලනය කිරීම කියන ඩීප් ස්ටේට් එකේදි ඒ අය ඉන්නෙ එකගතාවයක.
අභිසාරි චිත්‍රපටිය මේ අපවාදයට පත් ගැහැණුන් වෙනුවෙන් කරන පූජාවක්. ඉතිහාසයක් පුරා අවමන් විඳිමින්, ගැහැට විඳිමින් සමාජයේ නීතියෙන් තහනම් කළ මිනිස් ආශාවෙ බර දරන්නේ මේ අයයි. මව්වරුන්, සහෝදරියන්, දියණියන් හැටියට තමන්ගේ පවුල් රකින්නට ඔවුන් උපයන රැකියාව මේකයි.
විවිධ හේතු මත ඒ අය ගණිකා වෘත්තිය නැත්නම් ලිංගික ශ්‍රමය තමන්ගේ වෘත්තිය විදිහට තෝරාගෙන තියෙනවා. ඒ අය ගොදුරු බවට පත් වින්දිතයන් ලෙස අනුකම්පා දැක්මකින් බැලීම තමන්ගේ සදාචාරය වඩා උසස් යැයි හගවන රෝගයේම කොටසක්. ඇය වින්දිතයෙක් නම් දවසෙ පැය අටක් කාගෙ හෝ ව්‍යාපාරයක් වෙනුවෙන් බදුදෙන මහා ප්‍රජාව ඊට වැඩියෙන් වින්දිතයන්. ඇයට උවමනා අනුකම්පාව නෙමෙයි. ඇගේ වෘත්තියට ගරුත්වයයි.
රටේ වයස්ගත වූ, විවිධ ආබාධිත තත්වවල පසුවන, කාන්තාවක් හා සම්බන්ධ වීමට අසීරු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම තමන්ගේ විවාහය තුල ලිංගික ජීවිතය මිය ගිය ඊට වඩා පිරිසක් ඉන්නවා. පෙම්වතිය විවාහ වෙන තුරු ලිංගිකව හැසිරෙන්න නොදෙන තවත් පිරිසක් ඉන්නවා. තමන්ගේ පවුල්වලින් දුර බැහැර පදිංචි වෙමින් දුෂ්කර රැකියාවල යෙදෙන පිරිස් ඉන්නවා. මේ අයට ආහාර වගේම ලිංගික අවශ්‍යතා තියෙනවා. ඒ වෙනුවෙන් සේවා සැපයීම කියන්නෙ ඉතා දියුණු සංස්කෘතික ව්‍යාපාරයක්.
ඒත් මේක බාරගන්න බහුතරයක් කැමති නෑ. ඒ අය එක්තරා ලිංගික ෆෙටිෂයක් ආස්වාද කරනවා. ඒ ෆෙටිෂය තමයි සදාචාරය කියන්නෙ. තවත් මිනිසෙක් හෝ ප්‍රජාවක් පීඩාවට පත් කරමින් සදාචාරය කියන යමක් ආරක්ෂා කිරීමේ ආස්වාදයක් ඒ අය ප්‍රකට කරනවා. ඒ සදාචාරය කියන්නෙම විපරීතයක්. පරපීඩක කාමයක්. රජයත් පොලිසියත් ස්පා ආක්‍රමණය කරමින්, කාන්තාවන් දඩයම් කරමින් පිනවන්නෙ විපරීත කාමය. ඒක සංදර්ශනයක්. රති මැදුරු අල්ලන රති දඩ කෙලියක්.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2026 ජුනි 22








