leader s

“වාහන සයක් පොඩිකර ගෙන වේගයෙන් පැමිණි බස් රථය, කෑගල්ලේදී මාරක අනතුරක.” මේ ඊයේ පළ වූ ප්‍රවෘත්තියකි.

බසය, බලපත්‍රලාභී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.

ඒ සමග මෙය අවධානයට යොමු කළ යුතුය. මේ 2026 අවුරුද්දේ ජනවාරි මාසයේ පළමු දින 25 දී මාර්ග අනතුරු 1,375 ක් සිදුව ඇත. ඉන් 147 ක් බරපතල අනතුරු ය. ඉන් මිය ගිය සංඛ්‍යාව 155 කි. පොලිස් වාර්තා උපුටා දක්වමින් ජනවාරි 27 වන දින “නිව්ස්වය” අන්තර්ජාල වෙබ්අඩවියෙහි වාර්තාකර තිබිණ.

පොලිසියේ සංඛ්‍යාලේඛන අනුව, 2025 අවුරුද්දේ,
• බරපතල මාර්ග අනතුරු 2,597 කි.
• ඉන් මිය ගිය සංඛ්‍යාව 2,746 කි.
• අනතුරු වලට භාජනය වූවන්ගෙන් සියයට 70 ක් පමණ, පදිකයේ, පාපැදිවල හා යතුරුපැදිවල ගමන් ගත්තවුන්ය.
• 2020 - 2024 වසර 05 ඇතුළත මාර්ග අනතුරු එකතුව 15,068 කි.

 

1689607642537

වැදගත්ම හා බරපතලම කාරණාව, මේ අනතුරු වලින් බහුතරය හා සමූහ මිය යෑම් වලට ප්‍රධාන හේතුව මගී ප්‍රවාහන බස් ය. එයට හේතු ලෙස දැක්වෙන්නේ අධිවේගී හිතුවක්කාර ධාවනය, මාර්ග නීති නොතකා වාහන ඉස්සර කිරීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, අවිවේකය හා ආතතිය යැයි කියති.

මේ අයාලේ යන, වගකීමක් නොමැති මගී ප්‍රවාහනයේ නිර්මාතෘ වන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ය.

ලංගම මගී සේවය දියුණු කිරීමට ඒ රාජ්‍ය ආකෘතියෙහි ඔහුට ඕනෑ තරම් ඉඩ තිබිණ. ජනාධිපති ජයවර්ධනට අවශ්‍ය වූවා නම්, වැදගත් ආයෝජන කළ හැකි, ව්‍යාපාරික කලමනාකාරිත්වයක් සහිත සමාගම් හවුල්කර ගත හැකිව තිබිණ. එහෙත් ඔහුට එවැනි වුවමනාවක් නොවුනි. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ උත්පත්තියෙන්ම දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයට ගැලපෙන සිල්ලර මුදලාලි පරම්පරාවක් හැදීම ය.

 

jr 45
“ලංගම” ඒකාධිකාරය යටතේ විනයක් වගකීමක් හා නිසි කලමනාකාරිත්වයක් සමගින් තිබූ පොදු මාර්ග මගී ප්‍රවාහනය කැබලි කරමින් 1980 දී ජයවර්ධනගේ තීන්දුවක් අනුව සිල්ලර මුදලාලිලාට, හන්දියේ චණ්ඩින්ට, මගී ප්‍රවාහනය සඳහා ප්‍රමිතියකින් තොර වාහන යෙදවීමට අවසර පත් ලබා දුන්නේ එබැවින්ය. ඒ මගී ප්‍රවාහන වාහන කිසිවක් කලමනාකාරිත්වයක් සහිත ව්‍යාපාරික ආයෝජන සමග පාරට දැමූ වාහන නොවුනි. ටින්කිරි ටින් වැනි වාහනවල මගීන්ට දෙකට නැවී ගමන් යන්නට සිදුවූයේත් මගී ප්‍රවාහනය පොදු සේවාවක් යැයි නොදන්නා රස්තියාදුකාරයින්ට රියැදුරු-කොන්දොස්තර රැකියා ලැබුණේත් ඒ හේතුවෙනි.

ඒ සියල්ල පාහේ කල්බදු ක්‍රමයට ණයට ගත්තාවූ වාහන විය. එනිසා මාසය අවසානයේ කල්බදු වාරිකය ගෙවීමටත් ලාභයක් ඉතිරි කර ගැනීමටත් මගීන් පටවා ගෙන යාමට තරග වැදීම, ඔවුන්ගේ එකම අරමුණ විය. එවැනි අරාජිකත්වයක් අතරින් මුදල් සොයා ගත් පිරිසක් දැන් කල්බදු ක්‍රමයටම වූවත් යම් ප්‍රමිතියක් ඇති බස්රථ සඳහා මාර්ග අවසර පත් ලබා ගෙන, ආණ්ඩුව සමග කේවල් කිරීමේ වාසිය වෙනුවෙන් “බස් මුදලාලි” සංගම් හදා ගෙන ඇත. තනි පුද්ගල අයිතියට ඇති බස් රථ සඳහා ඔවුනට ආයතනගත කලමනාකාරිත්වයක් නැත. ඒ වෙනුවට රාජ්‍ය බලාධිකාරයේ නිලධරයින් සමග ඇතිකරගත් සම්මුතීන් ඔවුන්ට ඇත. මාර්ග බලපත්‍ර අත්හිටුවීම් වෙනුවට වැඩිමනත් අවවාද කිරීම් හා දඩ ගැසීම් සිදු වන්නේ ඒ හේතුවෙනි. එබැවින් මාර්ගයට දැමෙන බස්රථ ධාවනය වන්නේ රියැදුරාගේ හා කොන්දොස්තරගේ මදාවිකම් අනුව වීම, අඩු නොවුනකි.      

01 Head

 

දැන් ප්‍රශ්නය වන්නේ මෙතරම් අකාලේ මිය යෑම්, ආබාධිතවීම්, පවුල් අනාථවීම් වලට හේතුකාරක වන දඩාවතේ යන පෞද්ගලික මගී ප්‍රවාහන සේවාවක් දූෂිත රාජ්‍ය පාලනයක් තිබියදී, විනයක් ඇතිව පිරිසිදුකර ගන්නේ කෙසේද යන්න ය. මා දකින ආකාරයට එයට ඇති එකම සහතික ක්‍රමය නම්, රියැදුරු අවදානම් සහගත ධාවනයක යෙදෙන්නේ නම්, ඔහුව විනයකට යටත්කර ගැනීමට බසයේ ඉන්නා මගීන් සාමුහිකව මැදිහත් විය යුතුය.

මගියෙකු ලෙස ඔබ මුදල් ගෙවන්නේ ඔබේ ගමනට පමණක් නොව, ඒ ගමන අසුනක වාඩිවී, ආරක්ෂිතව යාමට බැව්ද අමතක නොකළ යුත්තකි. එනිසා අසුනක් නොලැබුණද, රියැදුරු අනාරක්ෂිතව බසය ධාවනය කරන්නේ නම් ඊට විරුද්ධ වන්නට ඔබ සැමට මගීන් ලෙස අයිතියක් ඇත. ඒ අයිතිය හුවා දක්වමින් බස් නැවතුම්පල වල ස්ටිකර්, පෝස්ටර ඇලවීමේ අයිතිය හා වගකීම, බස් මගී සංවිධාන සතු ය.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2026 ජුනි 23 වන දින

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්