කරුණු 176ක ප්‍රතිසංස්කරණ සමඟ කියුබාව විවෘත ආර්ථිකයකට!
"ෆිදෙල් කැස්ත්‍රෝගේ මාවත වෙනස් වෙයි" - රාජ්‍ය අකාර්යක්ෂමතාව කියුබානු ජනාධිපති විවෘතව පිළිගනී
බැංකු, බලශක්ති සහ ගුවන් තොටුපොළවල් 100%ක්ම පුද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට විවෘතයි
ආර්ථිකය විවෘත කළත් දේශපාලන නිදහසක් හෝ බහුපක්ෂ ක්‍රමයක් නැහැ - ක්‍රියාත්මක වන්නේ චීන මොඩලයයි
"අපි යන්නේ කොයි පාරේ - ෆිදෙල් කැස්ත්‍රෝ ගිය පාරේ" යන පැරණි සටන් පාඨය මුළුමනින්ම වෙනස් කරමින්, කියුබාව වර්තමානයේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විවෘත ආර්ථික මාවත තෝරාගෙන ඇති බව 'Patali With Epicenter' විශේෂ සාකච්ඡාවේදී ජනරජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එරට ජනාධිපතිවරයා මෙන්ම රාවුල් කැස්ත්‍රෝගේ ද අනුමැතිය ඇතිව, කියුබානු අගමැති මැනුවෙල් මරේරෝ විසින් කරුණු 176කින් යුත් ආර්ථිකය විවෘත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඇමරිකානු සම්බාධකවලට අමතරව තමන්ගේම රාජ්‍ය යාන්ත්‍රණයේ සහ නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාව මෙම දරුණු කඩා වැටීමට හේතුවූ බව කියුබානු ජනාධිපතිවරයා ප්‍රථම වතාවට විවෘතව පිළිගෙන තිබේ.
දශක ගණනාවක් තිස්සේ දැඩි සමාජවාදී සහ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මොඩලයක් අනුගමනය කළ කියුබාව, පවතින දරුණු ආර්ථික ඛේදවාචකයෙන් ගැලවීම සඳහා තමන්ගේ මූලික ප්‍රතිපත්තිමය ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, මෙම ආර්ථික විවෘතකරණය දේශපාලන විවෘතකරණයක් දක්වා ගමන් නොකිරීම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයකි.
කියුබානු නව ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධාන කරුණු
පුද්ගලික අංශය සහ ඩයස්පෝරාව බලගැන්වීම:
මීට පෙර පුද්ගලික ව්‍යාපාර සඳහා පනවා තිබූ සේවක සංඛ්‍යා සහ අයිතීන් පිළිබඳ සීමාවන් ඉවත් කර ඇත. ඇතැම් රාජ්‍ය ආයතන 100%ක්ම පුද්ගලික අංශයට පැවරීමට ඉඩ දී ඇති අතර බැංකු, රක්ෂණ, බලශක්ති, වරායවල් සහ ගුවන් සේවා විදේශ ආයෝජන සඳහා විවෘත කර තිබේ. මීට අමතරව මියාමි (Miami) හි වෙසෙන, මීට පෙර සතුරන් ලෙස සැලකූ කියුබානු ඩයස්පෝරාවට නැවත පැමිණ ආයෝජනය කරන ලෙස නිල වශයෙන් ආරාධනා කර ඇත.
දේශපාලන ව්‍යුහය සහ චීන ආදර්ශය:
ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කළ ද, බහුපක්ෂ ක්‍රමයක් ඇති කිරීමට හෝ පුද්ගලික මාධ්‍යවලට ඉඩ දීමට කියුබානු කොමියුනිස්ට් පක්ෂය පියවර ගෙන නැත. ඔවුන් උත්සාහ කරන්නේ චීනයේ පවතින කොමියුනිස්ට් පාලනය සහ නාගරික කවුන්සිල (Municipal Councils) අතර පවතින තරඟකාරී ආර්ථික මොඩලය (චීන/වියට්නාම මොඩලය) කියුබාව තුළ ද ක්‍රියාත්මක කිරීමටය.
දරුණු ආර්ථික සහ බලශක්ති ඛේදවාචකය:

පසුගිය වසර කිහිපය තුළ කියුබානු ආර්ථිකය 11%-15% අතර ප්‍රමාණයකින් සංකෝචනය වී ඇති අතර උද්ධමනය 170%කින් පමණ ඉහළ ගොස් ඇත. රටට අවශ්‍ය ආහාර සහ බලශක්තියෙන් 70%ක්ම ආනයනය කරන බැවින් පවතින ඩොලර් හිඟය නිසා ඖෂධ නොමැතිව ලදරු මරණ පවා ඉහළ ගොස් තිබේ. තෙල් හිඟය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට පැය 24 පුරාම විදුලිය නොමැති අතර, කෘෂිකාර්මික කටයුතුවලදී ට්‍රැක්ටර් වෙනුවට ගවයන් යොදාගැනීමට මිනිසුන්ට සිදුව ඇත.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සන්සන්දනය:
ඇමරිකාව විසින් කියුබාව සම්පූර්ණයෙන්ම වටකර තෙරපා "රෙජීම් චේන්ජ්" (Regime change) එකක් හෝ ඉලක්කගත ප්‍රහාරයක් (Surgical strike) එල්ල කිරීමේ අවදානමක් පවතින බව පාඨලී චම්පික රණවක එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මානව සංවර්ධන දර්ශකය (HDI) අතින් ශ්‍රී ලංකාව (Rank 89) කියුබාවට (Rank 97) වඩා ඉදිරියෙන් සිටින බවත්, ලංකාව ලබා ඇති සෞඛ්‍ය හා අධ්‍යාපන ජයග්‍රහණ දියුණු වෙමින් පවතින අනෙක් රටවලට කදිම ආදර්ශයක් බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරේ.








