විපක්ෂය එකම මේසයකට කැඳවීම දේශපාලනික වශයෙන් වැදගත් පියවරකි.
අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පුළුල් එකමුතුවක් අවශ්‍ය වන අවස්ථාවන් තිබේ. එවැනි අවස්ථාවක විවිධ පක්ෂ හා මතවාද එකට ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ කොටසකි.
නමුත්, එය සහ විකල්ප දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යනු එකම දෙයක් නොවේ.

සමගි ජන බලවේගය ඉදිරියේ තිබෙන විශාලතම අභියෝගය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සෙවණැල්ලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු පැරණි දේශපාලන නායකයන් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සීමිත සහයෝගීතාවයක් තිබිය හැකිය. එහෙත් එම සබඳතාව, අනාගත විකල්ප ආණ්ඩුවක දේශපාලන පදනම බවට පත්විය යුතු ද යන්න සිතා බැලිය යුතුය.
2022 අරගලය ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉදිරිපත් කළ වැදගත්ම පණිවිඩය වූයේ, ජනතාව පැරණි බල දේශපාලනය, පවුල් දේශපාලනය සහ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය ප්‍රතික්ෂේප කළ බවයි. එම අත්දැකීමෙන් ඉගෙන නොගන්නා කිසිදු විපක්ෂයකට අනාගතය අයිති නොවේ.
භැකිනම් සජිත් ප්‍රේමදාස අද කළ යුත්තේ NPP ආණ්ඩුව කඩා වැටෙන තෙක් බලා සිටීම නොවේ. එය දේශපාලන උපාය මාර්ගයක් නොව, බලාපොරොත්තුවක් පමණි. ශක්තිමත් විකල්පයක් ජනතාව ඉදිරියේ තැබිය නොහැකි නම්, ආණ්ඩුවක අසාර්ථකත්වය ස්වයංක්‍රීයව විපක්ෂයේ ජයග්‍රහණයක් බවට පත්වන්නේ නැත.

ඒ වෙනුවට SJB කළ යුත්තේ තම පක්ෂය තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමයි. අරගලය නියෝජනය කළ තරුණ පරම්පරාව, සිවිල් සමාජය, වෘත්තීයවේදීන්, කාන්තාවන්, පර්යේෂකයන් සහ නව දේශපාලන අදහස් ඇති පිරිස් සඳහා පක්ෂය විවෘත කළ යුතුය. විපක්ෂය යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකතුවක් පමණක් නොව, සමාජයේ විවිධ බලවේග එක්වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් විය යුතුය.
එමෙන්ම, SJB හි දේශපාලන සංවාදය "ආණ්ඩුවට එරෙහි වීම" ඉක්මවා යා යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, සමාන අවස්ථා, දූෂණ විරෝධය, අධ්‍යාපන හා සෞඛ්‍යයේ රාජ්‍ය වගකීම, ආර්ථික සාධාරණත්වය සහ ආයතනික ප්‍රතිසංස්කරණ මත ගොඩනැගුණු ධනාත්මක දැක්මක් විය යුතුය.
තවත් වැදගත් කරුණක් තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා දක්ෂ දේශපාලන උපායශීලියෙකි. ඔහුගේ දේශපාලන ගමන පුරාම විවිධ බලවේග තම දේශපාලන අවශ්‍යතා සඳහා භාවිත කළ ආකාරය අපි දැක ඇත්තෙමු. එබැවින් SJB, UNP සමඟ ඇති සම්බන්ධතාව සම්බන්ධයෙන් ඉතා ප්‍රවේශම් විය යුතුය. තමන්ගේ දේශපාලන අනන්‍යතාව අහිමි කරගන්නා තරමට පැරණි බලවේග මත රඳා සිටීම, දිගුකාලීනව පක්ෂයට අවාසිදායක විය හැකිය.

විශේෂයෙන්ම, NPP ආණ්ඩුව යම් අවස්ථාවක ජනප්‍රියත්වය අහිමි වුවහොත්, පැරණි දේශපාලන බලවේග එක්ව "පොදු අපේක්ෂක" සංකල්පයක් නැවත ඉදිරිපත් කිරීමේ උත්සාහයක් තිබිය හැකිය. එවැනි තත්ත්වයකදී SJB තමන්ගේ ස්වාධීන නායකත්වය සහ දේශපාලන අනන්‍යතාව ගොඩනගා නොතිබේ නම්, නැවතත් වෙනත් අයෙකුගේ දේශපාලන ව්‍යාපෘතියක අනුගාමිකයෙකු වීමේ අවදානමක් පවතී.
එබැවින් සජිත් ප්‍රේමදාසගේ සැබෑ අභියෝගය වන්නේ විපක්ෂය එකට ගෙන ඒම පමණක් නොව, නව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ගිවිසුමක් වටා ජනතාව එක් කිරීමයි. එය අතීතය වෙත ගමන් කිරීමෙන් නොව, අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමෙන් පමණක් කළ හැකිය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තවත් පැරණි බල හුවමාරුවක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව සහ ආයතනික වගවීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියකි. එම ගමනේ නායකත්වය ලබා ගැනීමට නම්, SJB පළමුව තමන්වම ප්‍රතිනිර්මාණය කළ යුතුය. සමහර විට, නවතම නවීකරණයවු විපක්ෂයක අවශ්‍යතාව අප රට මුහුණ දී ඇති විශාලතම ගැටලුව වී තිබේ.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)








