"තීරණ ගැනීමට ආණ්ඩුවට බලය තිබුණද, ඊට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමේ වගකීම අත්හැරිය නොහැකියි"
ශානි අබේසේකරගේ පත්කිරීම සහ විනිසුරු ධුර කාල සංශෝධනය අතර පවතින වෙනස...
විනිසුරු විශ්‍රාම වයස සංවාදයේදී මා අදටත් ඉන්නේ මුලින්ම කී ස්ථාවරයේ ම ය. එනම්, දේශපාලන උපක්‍රම තෝරන්නට ආණ්ඩුවකට හැකිය. එහෙත් එහි ඇති යුක්තිගරුක බව බහුතරය පිළිගත යුතුය. එනම් මේ වැඩේ ගැන ජනතාව විශ්වාස කළ යුතුය.
මිනිස්සුන්ට තේරෙයිද?
දැන් ආණ්ඩුව නිශ්චිතව කැබිනට් මණ්ඩලයෙන් මේ ගැන තීන්දුවක් ගෙන ඇත. දැන් පොළොවේ වැඩක් ඇත. මේ වැඩේ කරන ආණ්ඩුවටත්, මේ වැඩේ නොකළ යුතුය යන ස්ථාවරයේ සිටින පාර්ශ්වවලටත් ඇති වගකීම වන්නේ ‘ඇයි?’ යන ප්‍රශ්නයට හරියට උත්තරයක් දීම ය. එය ජනතාවගෙන් නිශ්චිත පිරිසකට සීමා නොවී බහුතර ජනතාව ළඟට යා යුත්තකි. වෘත්තිකයන් අතරට සීමා නොවිය යුත්තකි. එහිදී දේශපාලන සාක්ෂරතාව සම්බන්ධයෙන් සංවාදයක් ද මතු වේ. මෙවැනි විෂයයක් ජනතාවගෙන් කොතරම් පිරිසකට ‘අදාළ ද?’ යන්න ය.
මේ තොරතුරු යුගයයි. ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව වේගයෙන් ඉහළ යමින් තිබේ. අන්තවාදය පැළ කරන්නට දරන බොහෝ උත්සාහයන් අකුළාගැනීමට සිදු වී ඇත්තේ මේ නිසා ය. ඊට යූටියුබ් සමාජ මාධ්‍ය වේදිකාව සෑහෙන වැඩක් කරමින් සිටී. පසුගිය සති කිහිපය පුරා රට වට විවිධ තැන්වල සිටි මට, රූපවාහිනී - පුවත්පත් ප්‍රවෘත්තිවලට එහා ගොස් ඒවා ප්‍රශ්න කරන විවිධ රැකියා කරන ජනතාව පමණක් නොව, ගෘහනියන් ද බොහෝ හමු විය.
වයස් මට්ටම් සම්බන්ධයෙන් ගත් විට ද, තමන් විසින් තෝරාගත් යූටියුබ් චැනල්වල ස්ථිර ග්‍රාහකයන් වී සිටින සෑම වයස් කාණ්ඩයක ම පිරිස් හමු විය. ඔවුහු රූපවාහිනී - පුවත්පත් ප්‍රවෘත්ති ප්‍රශ්න කරමින් සිටිති. එය අතිශය වැදගත් ය. සෑම පුරවැසියකුම නිවැරදි තොරතුරු බෙදාහරින්නකු මෙන්ම අකටයුතු නාදකයකු හෙවත් විස්ට්ල් බ්ලෝවර් කෙනෙකු වීමේ සිහිනයක් මට ඇත.
(මේ ගැන සංවාදය මුලින්ම ආ මොහොතේ ෆේස්බුක්හි ලියූවක් පහතින්.)
ශානිගේ පාරේ ; විනිසුරු ධුර කාල අර්බුදය වෙත ගමනක් !
විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආන්දෝලනය බරපතළ තැනකට තල්ලු වන බවක් පෙනේ.
ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබේ. ඒ තුනෙන් දෙකක බලය ජනතාව ලබාදුන්නේ පරණ තාලයට යන්නට නොවේ. අත්තනෝමතික නීති වෙනස් කොට, වඩා යහපත් සමාජයක් මෙන්ම ජනතාවට සැබෑ නිදහසක් ලබාදෙන්නට අනෙක් සියලු ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව කැපවේ යැයි ජනතාව විශ්වාස කළේය. ජනතාව විශ්වාස කළ ආකාරයටම, අඩුපාඩු සහිතව වුවද සාපේක්ෂව එවැනි ගමනක් යන්නට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවක් පෙනේ.
එහෙත් එවැනි උත්සාහයන්ට මෙවැනි ආන්දෝලනයන් කරන්නේ සුළුපටු හානියක් නොවේ.
මේ ආන්දෝලනාත්මක තත්ත්වය වෙනස් කරන්නට ආණ්ඩුවට යන්නට හොඳ පාරක් තිබේ. ඒ පාරේ ගොස් ආණ්ඩුවට ඇත්තටම පුරුදු ය. ආණ්ඩුව ඒ පාරේ ගොස් සාර්ථක ප්‍රතිඵල ද අත්කරගෙන තිබේ.
ඊට උදාහරණයකි, ශානි අබේසේකර යනු.
විශ්‍රාම ගිය ශානි අබේසේකර නැවත පොලිස් සේවයට ගැනීමේ තීරණයට විරුද්ධ වූ පිරිස අතර, ඒ ගැන ලියූ අය අතර මම ද සිටියෙමි. ඊට හේතු වූයේ ඒ ශානි අබේසේකර වීම නොවේ. උපදේශක වැනි තනතුරකට හැර, විශ්‍රාමලත් අයකු නැවත සක්‍රීය සේවයට ගැනීම මගින් පහළ සිටින නිලධාරීන් අධෛර්යමත් වන බවත්, පහළ නිලධාරීන්ට ලැබිය යුතු අවස්ථාවක් අහිමි වන බවත් මා විශ්වාස කිරීම ඊට හේතුව විය.
එහෙත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම යන නිශ්චිත කාරණයේදී, ශානි අබේසේකර යනු තීරණාත්මක සාධකයක් යන්න බැහැර කළ නොහැකි විය. එම පත්කිරීම පිළිබඳ නිශ්චිත කරුණු ආණ්ඩුව පාර්ශ්වයෙන් තර්කානුකූලව අවධාරණය කෙරිණි. 2019 අප්‍රේල් 21දා වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි, 2019 නොවැම්බර් 16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ විගස සිය ප්‍රථම රාජකාරිය ලෙස එම ධුරයෙන් ඉවත් කෙරුණු, පාස්කු ප්‍රහාරය සහ ඒ හා බැඳුණු සිදුවීම් ජාලයක් පිළිබඳ විමර්ශන තොරතුරු සහිත... ආදී වශයෙන් ශානි අබේසේකර නැවත සේවයට ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණි.
එහෙත් විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් නිශ්චිත - තර්කානුකූල හේතුවක් ජනතාවට දැනෙන්නට ජනගත කොට නැත. එම නිසා ජනතාවට වෙනත් පාරවල යෑමට සිදු වී තිබේ. ඒ අතර විනිසුරු සංගම් දෙකට බෙදේ. ඉසුරු නෙත්තිකුමාර වැනි ප්‍රසාදයට පත් සේවා ඉතිහාසයක් සහිත විනිසුරුවරුන් හම්බන්තොට වැනි තැනකට මාරු කර යැවේ. මේ නිසා ආණ්ඩුව පසු වී යම් සාධනීය කරුණක් කිව්වද, එය ඇහෙන ප්‍රමාණය සාපේක්ෂව අඩුවන්නට ඉඩ ඇත.
අනෙක් අතට, මේ අර්බුදයේ ඇති වඩාත් බරපතළ තත්ත්වය වන්නේ වර්තමාන ආණ්ඩුව පිහිටුවා ගැනීමේ ජනතා අභිලාෂ අතර ඉදිරියෙන්ම තිබූ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වැනි කරුණු පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුවීමයි. ශිරාණි බණ්ඩාරනායක උදාහරණය, මොහාන් පීරිස් උදාහරණය මෑතකාලීන මතකයේ තිබියදී, මේ ආණ්ඩුව යටතේ එවැනි සැකයක් මතුකිරීමට වෙනත් පාර්ශ්වවලට ඉඩ හැදීම නොකළ යුත්තකි.
පැහැදිලිව කිව යුත්තේ ආණ්ඩුවට මෙවැන්නක් කළ හැකිය. එහෙත් ඊට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමේ අත්හළ නොහැකි වගකීමක් ආණ්ඩුවට තිබේ. එසේ නැතහොත් බලය දූෂිතයි, පරම බලය පරම දූෂිතයි යන හංවඩුව ගැසීමට සාධාරණ ඉඩක් ලැබේ. කරන්නට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි සියල්ල, කුමන පෙර සැලසුම් තිබුණද, ආණ්ඩුව අත්හළ යුතුය. ඇතැම් විට ඒ හේතුව සරල විය හැකිය. ඇතැම් විට සංකීර්ණ විය හැකිය. වඩා වැදගත් වන්නේ විනිවිදභාවයයි.
අරගලයේ ජනතා අභිලාෂ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ඉටුකරන බවට ජනතාව විශ්වාස කරයි. එහෙත්, විශ්වාසය පමණක් නොසෑහේ. එය ඇඟට දැනෙන්නට තිබිය යුතුය. ඇසට පෙනෙන්නට තිබිය යුතුය.
(අවසන්)
පෞද්ගලිකව මගේ අදහස වන්නේ මෙවැන්නක් සිදුකරන්නට ආණ්ඩුවට හැකියාව ඇති බවයි. මේ ජන වරමට අනුව නීතියේ ආධිපත්‍යය මේ පොළොවේ පැළකිරීමේ වගකීම ආණ්ඩුවට තිබේ. ඒ සඳහා යන පාරේ ගැටලු තිබිය හැකිය. තෝරාගැනීම් තිබිය හැකිය. ඇතැම් ඒවාට මා විරුද්ධ විය හැකිය. එහෙත් අවසාන ප්‍රතිඵලය වීදුරුවක් මෙන් පැහැදිලි බව පෙනෙන්නට තිබිය යුතුය. එසේ නොවන්නේ නම්, ඒවා පරාජය කළ යුතුය. වීදුරුවේ පැහැදිලි බව පෙන්වීම ආණ්ඩුවේ වගකීමකි.
අවසානයට,
පෞද්ගලිකව මේ තීරණයට මම පක්ෂ ය.
ගැසට් පත්‍රයේ විශ්‍රාම වයස සමග යුක්තිය කඩිනම් කිරීමේ තවත් කරුණු රැසක් තිබිය යුතුය.
කෙසේ වෙතත්, මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමෙන් පසු, කෙසේ විය යුතුද යන්න තීරණය වනු ඇත. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට එහි විනිසුරුවරුන්ට අදාළ වන නිශ්චිත කරුණක් ඇති නිසා මතු වන ගැටලුවක් ද තිබේ. ඊට පෙර කැබිනට් තීරණය අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කළ හැකිය.
කවර තත්ත්වයක් යටතේ හෝ,
මෙය බහුතර එකඟතාවක් ඇති වැඩක් බව පවතින ප්‍රතිපාදන යටතේ ඉදිරියට ගොස් පෙන්වීම ආණ්ඩුවේ වැඩකි.
(සටහන | ශාලික විමලසේන )
මාධ්‍යවේදී
උපුටා ගැනීම - Shalika Wimalasena ගේ ෆේස්බුක් පිටුවෙන්...
2026 ජුලි 28








