88-89 මර්දනයේ දෘෂ්ටිවාදී අර්බුදය සහ එජාපයේ බිඳවැටීම
ඉතිහාසයෙන් පාඩම් නොගත් රනිල්ගේ 'චිල්' දේශපාලනයේ කෙළවර
අනූව දශකය අවසන් වෙනකොටත් අන්තිම අවාසිදායක තත්වයක් යටතේ උනත් සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ආසන හැත්තෑවක් අසූවක් ගන්න පුළුවන් මට්ටමේ තිබ්බ ලංකාවේ ශක්තිමත්ම පක්ෂයක් බිංදුවෙනුත් පල්ලෙහාට දාල මයිනස් යවල පොළොවේ වලදාල පස්වලින් වහල කිසිවක් සිදුනොවුනා සේ හවානා සුරුට්ටුවක් උර උර චූන් එකේ ඉන්න පුළුවන් දේශපාලන නායකයෙක් වෙන රටක දැක්කොත් අටපට්ටමට කියන්න.
මේ 'චිල් එක' නිකම් ෆොටෝ ෂූට් චිල් එකක් විතරයි.
මම හිතන හැටියට එක්සත් ජාතික පක්ෂය 88-89 කැරැල්ල මර්ධනය එක්ක දැවැන්ත මතවාදී සහ දෘෂ්ටිවාදී අර්බුදයකට යනවා. කැරැල්ල මර්ධනය කරන්න අනුගමනය කරපු ක්‍රමවේද එක්ක ඒ ඇතිවුනේ මතවාදී- ආචාරධාර්මික නිර්-නෛතිකකරණයක්. ඊට පස්සේ චන්ද්‍රිකා එනවා. ඒ එන්නේ එජාපය නිසා ඒ වෙලාවේ ඇතිවෙලා තිබ්බ සමාජ පීඩනය එක්ක ආපු තල්ලුවකින්.
දෙදාහ මුල ආයිත් රනිල්ට දිනන්න හැකිවෙනවා. හැබැයි එජාපයට ආපු දෘෂ්ටිමය ආචාරධාර්මික විවේචනය නැතිවුනේ නැහැ. ඉන් පස්සේ පක්ෂය දිගටම පරදිනවා. යහපාලනය වෙලාවේ ආව වුණත් ඒ එන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී වගේ වෙනත් පිලක කෙනෙක් ඉස්සරහට දාගෙන. එජාපයට මූණත වටිනාකමක් තිබ්බේ නැහැ.
80 අග මර්ධනය එක්ක (සහ ඊට පෙර පවා) එජාපයට ආපු අඳුරු විවේචනය මඟ හරින්න කිසිම විදියක මතවාදී මානයක් ඒ පක්ෂයට තිබ්බේ නැහැ. අනික රනිල් දෝෂාභියෝගය වෙලාවේ හිටගත්තේ අර මර්ධනයට යම් විදියට විවේචනයක් (මතුපිටින් හරි) ගෙනාව කැරළිකරුවන්ගේ පැත්තේ නෙවෙයි. ප්‍රේමදාසගේ පැත්තේ. රනිල් ඒකට කිව්වේ රාජ්‍යය රැක්ක කියල. පස්සේ පොඩි ප්‍රේමදාසගේ අතින් අල්ලාගෙන ස්ටේජ් නග්ගද්දි අපිට පැහැදිලි උනා රනිල්ගේ ස්ථාවරය. ඔහුත් ඉඳල තියෙන්නේ මර්ධනය පැත්තේ. මේ සමාජය ඉල්ලපු පරමාදර්ශ වලට එරෙහි පැත්තක. මේක තමයි එක වාක්‍යයකින් එජාපයේ අර්බුදය කියන්නේ.
කැරැල්ල මර්ධනය කළා තමයි. හැබැයි ඒකෙ ලංකික මිළ තමයි එදා ඉඳල එජාපය ගෙව්වේ.
මේ සියල්ල මෙසේ තිබියදීත් ලංකාවේ පැරණිම පක්ෂයක් විදියට නවීකාරක වෙන්න කාලය සහ අවකාශය එජාපයට තිබ්බ. යහපාලනය තමයි හොඳම අවස්ථාව උනේ. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, දූෂණ විරෝධී, නව අනන්‍යාතා ගැන සංවේදී, කට්ට කයිරාටික නොවෙන අලුත් අවංක මුහුණුවක් එජාපයට ඒ වෙලාවේ දෙන්න තිබ්බ. නමුත් ඒ අවස්ථාව රනිල් විසින්ම මඟහැරිය.
අරගලයෙන් පස්සේ පවා රනිල් මහපුටුවේ ඉඳගන්නෙ අර පරණ 88-89 ගැම්මෙන්ම. වැඩ කළෙත් ඒ විදියටම. වටේ ඉඳල තියෙන්නෙත් මරුම බඩු ටිකක් කියල දැන් ඉදිරියට එමින් පවතිනවා.
රනිල් දශක දෙක තුනකට කලින් ඉතිහාසය ගල්ගසුන තැනක එහෙමම ඉඳල තියනවා. ලාංකික සමාජය එයටම අවශ්‍ය අපේක්ෂා හා පරමාදර්ශ සොයමින් ඉදිරියට ඇදෙමින් තියෙනවා. ගොඩක් වෙලාවට ඒ සමාජය ආපසු හැරෙන එකක් නැහැ.
ඒ එක්ක එජාපය ආශ්‍රිතව අලුත් දේශපාලනයක් පටන් ගන්න තිබ්බ සියලු අවස්ථා මඟහැරෙනවා. දැන් Gen Z ප්‍රශ්න උත්තර වැඩසටහන් නිකම් කැමරා සඳහා පමණයි. එයින් කිසිවක් කරන්න බැහැ. කිසිවක් වෙන්නෙත් නැහැ. ඒ ආපු අය ඇත්ත ප්‍රශ්න කිසිවක් ඇහුවෙත් නැහැ.
වැනිලා සුරුට්ටු බිබී තව ෆොටෝ ෂූට් කොච්චර කළත් මෙච්චර තමයි.
ඉතිහාසය මඟහැරිලා හමාරයි. ඒක මාරයි!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුලි 29








