*1977 සිට ආණ්ඩු මාරුවත් සමග නීතියේ භාෂාව වෙනස් වූ අයුරු ආචාර්ය අතුලසිරි සමරකෝන්ගෙන් විශ්ලේෂණයක්
*විපක්ෂයේදී ‘ස්වාධීනත්වය’ වූ දේ බලයට ආ පසු ‘කාර්යක්ෂමතාව’ වන්නේ කෙසේද?

අධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ආණ්ඩුවේ යෝජනාව නීති සංශෝධනයක් ලෙස පමණක් කියවිය නොහැක. එය නීතිය සහ බලය අතර පවතින සංකීර්ණ සම්බන්ධය නැවත වරක් අප ඉදිරියේ තබන දේශපාලන සිදුවීමකි. මෙම විවාදය තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ යෝජනාවේ අන්තර්ගතය පමණක් නොව, එය ඉදිරිපත් වන දේශපාලන සන්දර්භය සහ ඒ වටා ගොඩනැගෙන කතිකාද විමසා බැලීමයි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිචාර දෙකම ඒවාටම අනන්‍ය සත්‍යයක් නිර්මාණය කරයි. ආණ්ඩුව එය අත්දැකීම්, ආයතනික අඛණ්ඩතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරයි. විවේචකයන් එය අධිකරණයේ ස්වාධීනත්වය සහ බලය සංකේන්ද්‍රණය කිරීම පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස කියවයි. එහෙත් මේ කතිකා දෙකම සැඟවූ එක් යථාර්ථයක් හෙළි කරයි. එනම් නීතිය කිසිවිටෙකත් බලයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව පවතින ක්ෂේත්‍රයක් නොවන බවයි.

1977න් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බැලූ විට මෙය පැහැදිලිව පෙනේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීමේ සිට, පසුව සිදු වූ ව්‍යවස්ථා සංශෝධන දක්වාම සෑම ආණ්ඩුවක්ම නීතිය වෙනස් කර ඇත්තේ තමන් අපේක්ෂා කළ පාලන ආකෘතියට ගැළපෙන පරිදිය. 17 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට උත්සාහ කළ අතර, 18 වැනි සංශෝධනයෙන් එම සීමාවන් ඉවත් කෙරිණි. 19 වැනි සංශෝධනයෙන් නැවත බලය සීමා කිරීමට උත්සාහ කළ අතර, 20 වැනි සංශෝධනයෙන් එම සීමා බොහෝ දුරට ඉවත් කෙරිණි. 21 වැනි සංශෝධනයෙන් නැවත සමතුලිතතාවයක් ඇති කිරීමට උත්සාහ ගත් අතර, අදත් ආයතන පිළිබඳ නීතිමය වෙනස්කම් පිළිබඳ සංවාදය නොනවතින අයුරින් ඉදිරියට යයි.
මෙම ඉතිහාසය අපට උගන්වන්නේ නීතිය දේශපාලනයට ඉහළින් පවතින ස්ථාවර සත්‍යයක් නොවන බවයි. බලය වෙනස් වන සෑම අවස්ථාවකම නීතියේ අර්ථයද, එහි ප්‍රමුඛතාද, ආයතනවල භූමිකාවද නැවත සකස් කෙරේ. ආණ්ඩු මාරු වන විට නීතිය පිළිබඳ භාෂාවද මාරු වේ. විපක්ෂයේ සිටින විට "ස්වාධීනත්වය" යැයි හැඳින්වූ දේ, බලයට පැමිණි පසු "කාර්යක්ෂමතාව" හෝ "ස්ථාවරත්වය" බවට පත්විය හැකිය. එසේම අද "අත්දැකීම් සහිත අය රැකගැනීම" ලෙස ඉදිරිපත් කරන යෝජනාවක් හෙට වෙනත් පාර්ශ්වයක් විසින් "බලය දිගු කරගැනීමක්" ලෙස අර්ථකථනය කළ හැකිය.

එබැවින් ප්‍රශ්නය වන්නේ විශ්‍රාම වයස වැඩි කිරීම නිවැරදිද වැරදිද යන්න පමණක් නොවේ. ඊට වඩා වැදගත් වන්නේ, මෙම සංශෝධනය අවශ්‍ය බවට පත් කරන දේශපාලන තර්කය කෙසේ නිර්මාණය වන්නේද, එයට එරෙහි තර්ක කෙසේ ගොඩනැගෙනවාද, සහ එම තර්කයන් හරහා නීතියට සහ අධිකරණයට නව අර්ථයන් කෙසේ ලබාදෙනවාද යන්නයි.
එහෙයින් විනිසුරන්ගේ විශ්‍රාම වයස පිළිබඳ වර්තමාන විවාදය තනි නීතිමය සිදුවීමක් නොවේ. එය 1977න් පසු ශ්‍රී ලංකාවේ බලය සහ නීතිය අතර අඛණ්ඩව පැවති සම්බන්ධතාවයේ තවත් පරිච්ඡේදයකි. නීතිය බොහෝ විට බලය සීමා කරන මෙවලමක් ලෙස ඉදිරිපත් වුවද, එම නීතියම බලය යළි සංවිධානය කිරීමට සහ එයට නීත්‍යානුකූලත්වයක් ලබාදීමටද භාවිතා වී තිබේ. එම නිසා නීතිය කියවීම යනු එහි වගන්ති කියවීම පමණක් නොව, ඒවා නිපදවූ බලය, ඒවා සාධාරණීකරණය කළ භාෂාව සහ ඒවායෙන් වාසි ලැබූ දේශපාලන ව්‍යුහයද කියවීමයි.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2026 ජුලි 29








