leader s

IMF ආධාරයෙන් ණය ප්‍රතිව්‍යුහගත කර නාගරික වෙළඳපොළ ගැටගසා ගැනීම "රට ගොඩගැනීමක්" නොවන බවත්, වසර 48ක අසාර්ථක විවෘත ආර්ථික මාදිලිය වෙනුවට දේශීය නිෂ්පාදන පදනමක් නොමැතිව රටේ අනාගතය සුරක්ෂිත කළ නොහැකි බවත් පෙන්වා දෙන විග්‍රහයක්.


විදේශ වෙළඳ හිඟය පියවන තිරසර ජාතික සංවර්ධන සැලැස්මක් හෝ ග්‍රාමීය ආර්ථික බලගැන්වීමක් නොමැතිව, යළිත් ණය මත යැපෙන පැලැස්තර විසඳුම්වලින් රටක් හැදිය හැකිද?


“ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් IMF උදව් ඕනෙ උනා. ආර්ථිකය ගොඩ දාන්න අපට නිකම්ම යන්න බැහැනෙ. අනෙක එහෙම යන්න IMF එකෙන් ඩොලර් බිලියන දෙකහමාරකට වැඩිය ලැබුණා ......ඉතිං ඒ කුඩයයි මල්ලයි අරං යනවද, නිකං යනවද කියන ප්‍රශ්නය තිබුනෙ .....කුඩයයි මල්ලයි අරං යන්න මං තීන්දු කෙරුවා....”  

එය රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගනු ලැබූ අයුරු ගැන පසුගිය දිනෙක රනිල් වික්‍රමසිංහ පැවසූ විස්තරයෙහි කෙටි උපුටනයකි.

ඔහු සඳහන් කරන “ආර්ථික අර්බුදය” යැයි කියන්නේ කුමන ආකාරයේ අර්බුදයකටද? ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේ යැයි කියන්නේ කුමකටද? කාටත් තේරුම් ගත හැකි ආකාරයෙන් කියන්නේ නම් -

ඇත්ත අර්බුදය සහ "ගොඩ ආවා" කියන කතාවේ යථාර්ථය

 

“ආර්ථික අර්බුදය” යැයි කියන්නේ ජයවර්ධන ආණ්ඩුව 1978 න් ආරම්භ කළ විවෘත වෙළඳපල ආර්ථිකයෙන් අපගේ වාර්ෂික ආනයන වියදම පියවා ගැනීමට අවශ්‍ය විදේශ විනිමය - ඩොලර උපයා ගැනීමට නොහැකි වීම වේ. සෑම අවුරුද්දකම ඒ වෙළඳ හිඟය පියවීමට විදේශ ණය ගැනීමට සිදුවූ අතර, ඒ ණය ගොඩ ගැසී 2022 වන විට තව දුරටත් ණය ගැනීමට නොහැකි රටක් බවට අප පත් වීය. අපගේ ආර්ථික විශේෂඥයින් කතා කරන “අර්බුදය” එය ය.  


එය කරුණු ලෙස ගොනු කරන්නේ නම්,

1) විවෘත වෙළඳපල ආර්ථිකයෙන් වාර්ෂිකව ඩොලර බිලියන 15 - 17 ක් (නිදසුන් ලෙස 2016 - 2019) පමණ උපයන විට, ආනයන වියදම පියවීමට ඩොලර බිලියන 21 - 23 ක් පමණ අවශ්‍ය විය. ඒ මුදල උපයාගත නොහැකි වූයෙන් පරතරය පියවීමට වාර්ෂිකව ඩොලර ණයට ගැනීමට සිදු විය

2) ශ්‍රී  ලංකාවේ ඩොලර සංචිතය 2022 පෙබරවාරි වන විට, භාවිත කළ නොහැකි බරපතල අවදානම් තත්ත්වයකට - ඩොලර මිලියන 800 ට පමණ - පහත වැටින.

3) එතෙක් වාර්ෂිකව ලබාගෙන තිබූ ඩොලර ණය සඳහාවූ වාර්ෂික පොලිය ගෙවීමට හෝ අපට නොහැකි විය.

4) ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය දෛනික පාරිභෝගික භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර ණයට ගැනීමට හෝ භාණ්ඩ ණයට ගැනීමට හෝ නොහැකි විය

5) ඉන් ඇති වූ වෙළඳපල හිඟය මත විශේෂයෙන් නාගරික මැද පංතිකයින්ගේ දෛනික ජීවන රටාව අවුල් කිරීමෙන් ඇතිවූ සමාජ කලබගෑනිය, වෙළඳපල බිඳ වැටීමෙහි ප්‍රකාශනය විය.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ආවේ යැයි කියන්නේ දසක දෙකකට වැඩි කාලයක් ගොඩ ගැසී තිබූ ණය හා පොලී නැවත ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව කල් ලබා ගැනීමත් අලුතින් නැවත ණය ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමත් ය.




මේ “ආර්ථික” අර්බුදය නිවැරදිව කියවා ගතහොත් ඉන් කියන්නේ,

1.  1978 සිට පවත්වාගෙන පැමිණි විවෘත වෙළදපල ආර්ථිකය මගින් වාර්ෂිකව කෙරුණු ආනයනයෙහි නියාමනයක් නොවුනු හෙයින් ඒ සඳහාවූ වියදමද නියාමනය නොවුනි.

2.  නගරයට සීමා වූ මේ විවෘත වෙළඳපල මෙතෙක් අවුරුදු 48 ක් ග්‍රාමීය සමාජයට එකතු කළ ආර්ථික වර්ධනයක් නැත. එනිසා ග්‍රාමීය සමාජයේ කාන්තාවන් ඇතුළු තරුණ ශ්‍රමය අවුරුදු පතා දහස් ගණනින් මැදපෙරදිග, දකුණු කොරියාව, සයිප්රසය වැනි රටවලට යති. තවත් පිරිස් නිදහස් වෙළඳ කලාපවල ලාභ ශ්‍රමය බවට පත්ව ඇත. තවත් පිරිස් ගම අතහැර කොළඹ හා අවට අවිධිමත් ක්ෂේත්‍රයේ ආදායම් සොයා පැමිණෙති

3.  විශාල ලෙස බදු විරාම, බදු සහන සහ යටිතල පහසුකම් නොමිලේ ලබා දෙමින් අපනයන නිෂ්පාදනය වෙනුවෙන් ගෙන්වා ගත් විදේශ ආයෝජන මගින් රටට අවශ්‍ය ඩොලර (විදේශ විනිමය) ප්‍රමාණය මෙතෙක් අවුරුදු 45 ක් පුරා උපයා ගැනීමට නොහැකිව ඇත.

4.  මෙම ආනයන-අපනයන වෙළඳ හිඟය අවුරුදු 48 ක් පුරා ප්‍රසාරණය වෙමින් පියවා ගැනීමට නොහැකිව ගොඩ ගැසුණු පසු රට බංකොලොත් යැයි 2022 අප්‍රේල් හි ප්‍රකාශ කෙරුණි.


කිසිවකු ඉදිරිපත් නොවුනු කළ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්ව මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තේ යැයි කියන්නේ ඔහු කුමක් කළාටද?

ඔහුගේ රට ගොඩ ගැනීමේ කතාව අරුම කතාවකි. එයද ආරම්භයේ සිට කරණු වශයෙන් සටහන් කළහොත් -

පස්සා දොරේ පාලනය සහ නොවෙනස් වූ ණය උගුල

 

rw mr 3457
01) එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ 2020 මහ මැතිවරණයෙන් ගණන් කිරීමට තරම් මනාප ඡන්දයක්වත් නැතිව පාරාජිකා වූවෙකි. එකම එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පක්ෂය තුල කේවල් කළ ඔහු අවසානයේ 2021 ජුනියේදී ඊට පත් කෙරුණි. ඒ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කිරීමේ තීන්දුව කාගේදැයි තවමත් ප්‍රසිද්ධ නොවුනත් ඔහු අගමැති කෙරුණේ සියලු පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොතකමින්ය. අපගේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන්නේ අගමැතිවරයෙකු ඉවත් වූ විට, ඊළඟ අගමැතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට ජනාධිපති විසින් ඇරයුම් කිරීමය. එහෙත් 2022 මැයි මාසයේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වූ පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැති ධූරය බාර ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ කිසිවෙකුට යෝජනා කළ බවට ආරංචියක් නැත.

ඒ අතරතුර ඇමෙරිකානු තානාපතිනි ජුලි චං මැතිනිය පාර්ලිමේන්තුවේ කතානායක හමුවී, ඔහුට අගමැති ධූරය බාර ගන්නා මෙන් යෝජනා කළ බවටද කතා තිබිණ. අනෙක විපක්ෂ නායකට අගමැති ධූරය සඳහා කෙරෙන කැඳවීමය. එවැනි ආරාධනාවක් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ විටෙකය. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති විය. ඔහු ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව එනිසා දැන සිටිය යුතු වූවකි.

රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය පුදනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය ඉවත් කළ විගස, ඔහු ජනාධිපති ලෙස පත් කිරීමේ එකඟත්වය ඇතිව යැයි ඒ දිනවල කතා වූවකි. රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එයට අවනත වූයේ සාමකාමී යැයි ප්‍රශස්ති ගැයූ “අරගලය” විසින් එක් මන්ත්‍රීවරයෙකු ඝාතනය කෙරුණු, තවත් අයගේ නිවෙස් කඩා බිඳ ගිණිබත් කළ ඒ රාජපක්ෂ විරෝධයෙහි වූ අමානුෂික, ප්‍රචණ්ඩත්වය හමුවේ තම ජීවිත ආරක්ෂාව වෙනුවෙනි.

රට වෙනුවෙන් ආර්ථික අර්බුදයට කර ගැසුවේ යැයි කියන්නේ එවැනි අවජාතක රාජ්‍ය පාලනයක් තහවුරු කිරීම ගැන ය. මෙය ඇත්තටම චීනවාදී රාජපක්ෂ ආණ්ඩුව වෙනුවට කවර දිනෙක හෝ ඡන්දයකින් රාජ්‍ය බලය ලබා දීමට නොහැකි, ඇමෙරිකානු භක්තික රනිල් වික්‍රමසිංහ පස්සා දොරින් රාජ්‍ය පාලනයට ගෙන ආවකි.


02) ආර්ථික අර්බුදය නිවැරදිව තේරුම් ගත්තේ නම්, රට ගොඩ දමන්නට සකසා ගත යුතු මූලික විසඳුම විය යුත්තේ ආනයන-අපනයන වෙළඳ ශේෂය පියවා ගත හැකි අපනයන ආදායමක් ඉපැයීමේ ස්ථාවර සැළසුමක් සමග වන ශක්තිමත් ග්‍රාමීය  ආර්ථිකයක් තහවුරු කෙරෙන දේශීය නිෂ්පාදන ආර්ථිකයකි. ජනාධිපති වික්‍රමසිංහ 2023 - 2024 වසර වලදී IMF කුඩයයි මල්ලයි රැගෙන ගොස් ගොඩ දැමුවා යැයි කියන මේ ශ්‍රී ලංකාවේ එවැනි ආර්ථිකයක් වෙනුවෙන් පදනමක්වත් නැත. අවුරුදු 45 ක් පුරා පැවති විදේශ වෙළඳ හිඟය පියවීමට කළ කිසිවක් නැත. විදේශ වෙළඳ හිඟය 2025 දී ඩොලර බිලියන 07.9 ක් විය. ඒ වසරේ විදේශ ණය ගැනීම් ඩොලර බිලියන 01.5 කි. 2025 වසර අවසන් වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඩොලර බිලියන 37.1 ක්ව තිබිණ.

03) වික්‍රමසිංහට අනුව දැනට ඩොලර 06 ක පමණ වන සංචිතය 2028 අවසානය වන විට බිලියන 15 ක පමණ සංචිතයක් නොවුනහොත් ජා.මූ.අරමුදල සමග සිදු කළ ණය ප්‍රතිව්‍යුහකරණයට අනුව විදේශ ණය ගෙවීම බරපතල අභියෝගයක් විය හැක. ඔහුම කියන විදියට වැඩිපුර අවශ්‍ය ඩොලර 09 ක ආදායමක් සෙවීමේ සැළසුමක් දකින්නට නැත.

04) තමන් ගොඩ දැමුවා යැයි කියන ආර්ථිකය ගැන වික්‍රමසිංහ දැන් කියන්නේ ලබන 2027 වසරේ මාර්තු වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම අවසන් වූ පසු, අනුර කුමාර පාලනයේ තීන්දු මත ජා.මූ.අරමුදල සමග වූ එකඟත්වයෙන් ඉවත් වුවහොත් අප නැවත අර්බුදයකට නතු විය හැකි බවය.


ඒ සියල්ලෙන් කියැවෙන්නේ පසු ගිය අවුරුදු 03 ට වැඩි කාලයේ නාගරික වෙළඳපල ආර්ථිකය ගැට ගසා ගැනීමක් මිස ගොඩ දැමීමක් නොවුනු බවය. එවගේම වික්‍රමසිංහගේ ඉඟි කිරීම වන්නේ 2027 මාර්තු වන විට ජා.මූ.අරමුදල සමග අප නැවත ගිවිසුම්ගත විය යුතු බවය. නැතිනම් අපට ඇති සැළසුම කුමක්දැයි ඔහුගේ ප්‍රශ්නය වන්නේය.

සරළව කිවහොත් වික්‍රමසිංහ රට ගොඩ දැමුවා යැයි කියන්නේ,
ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වූ දින සිට පුරා අවුරුදු 45 ක් අසාර්ථක වූ මේ විවෘත වෙළඳපල ආර්ථිකය වෙනුවට “ජාතික සංවර්ධනය” සඳහා සැළසුමක් ක්‍රියාත්මක කළේ යැයි නොවේ. රටේ සංවර්ධනයට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීම සඳහා කිසිදු අලුත් පිවිසුමක් පියවරක් නැත. තවමත් කතා කරන්නේ දසක සතරකට වැඩි කාලයක් නොකඩවා අසාර්ථක යැයි ඔප්පු වුනු,

| ජාවාරම්කාර විදේශ ආයෝජන මත අපනයන භාණ්ඩ නිෂ්පාදනයෙන් ඩොලර ඉපැයීමටය
| දිනකට ඩොලර 50 - 60 ක් වත් වියදම් නොකරන සංචාරකයින් ගෙන්වා ගෙන රට දියුණු කිරීමටය
| ගමේ අනාථවන තරුණ තරුණියන් දහස් ගණනින් රට රැකියා වලට යවා ඔවුන්ගේ ප්‍රේෂණ වැඩියෙන් ගෙන්වා ගැනීමටය    


වෙළඳපොළ ආර්ථිකය විසින් වගා කළ සමාජ හා පාරිසරික පිරිහීම

 

q3tq45y45y45
ඒ සමග අනිවාර්යෙන් කිව යුතු අනෙක් ඉතා බරපතල අර්බුදය නම්, දේශපාලන නායකයින්ද, ආර්ථික විශේෂඥයින්ද, විද්වතුන් හා වෘත්තිකයින්ද, නාගරික මැද පංතියද වචනයක් හෝ නොකියන අප හසුව ඉන්නා විනාශකාරී සමාජ පිරිහීම ගැන කතාවය. දහස් ගණනින් සිදුවන ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන හා ලිංගික අපචාර, කොන්තරාත් මිනී මැරීම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය අලෙවිය වැනි සියලු අපරාධ මේ වෙළඳපල ආර්ථිකයෙහි වගා වන අර්බුද යැයි කතා නොවන්නේය. බන්ධනාගාර වලට ඔරොත්තු නොදෙන දහස් ගණන් රැදවියන් ඇත්තේද මේ වෙළඳපල ආර්ථිකයෙහි වර්ධනය වන දූෂණ හා වංචා හේතුවෙන්, නීතිය හා සාමය වල් වැදී ඇති නිසා යැයි කතා නොවන්නේය. විනයක් සදාචාරයක් නැති එවැනි අශීලාචාර, දුෂ්ඨ සමාජයක ආර්ථිකයක් ගොඩ දමා ගැනීමට සීමා කර ගන්නා කතා බහුතර ජනතාවට වටිනාකමක් නැති බැව් අවධාරණය කළ යුතුය.

එවගේම පාරිසරික විනාශ සම්බන්ධයෙන් වැදගත් හා නිවැරදි මැදිහත්වීමක්ද මේ රටේ නොමැත. “ඩිට්වා” ආපදාව ඊට ආසන්නම නිදසුනය. පාරිසරික ආපදා ස්වාභාවික විපත් යැයි ආණ්ඩු අත සෝදා ගන්නේ ආපදා සම්බන්ධයෙන් අපගේ ඇති වැරදි සංකල්පීය අවබෝධය නිසාවෙනි. අප කතා කරන්නේ “ආපදා කලමනාකරණය” ගැනය. එය ආපදාවෙන් පසු කෙරෙන මැදිහත්වීම් ගැන කතා ය. එහෙත් අප මැදිහත් විය යුත්තේ ආපදා කලමනාකරණයට පෙර, “ආපදා අවදානම් ශුන්ය කිරීමට” (Disaster Risk Reduction) ය. එය පරිසර සංරක්ෂණ කෝණයකින් ආර්ථිකයට පිවිසීමකි.  

එම අවධාරණය සමග කිව යුත්තේ රටේ සමස්ථ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම වෙනුවෙන් කිසිවක් නෙකෙරෙන, ලාභ සංක්‍රමණික ශ්‍රමය ලෙස ගමේ තරුණ ශ්‍රමය ගාල් කරගත හැකි වන්නට ග්‍රාමීය ආර්ථිකය අතහැර දමා ඇති, නාගරික මැදපංතිකයින්ගේ දෛනික ජීවන රටාව අවුල් කෙරුණු භාණ්ඩ හිඟයට හසුවූ නාගරික වෙළඳපල නැවත එකළස් කිරීමට ජා.මූ.අරමුදල හරහා ණය ගැනීමේ අවස්ථාව හදා ගැනීම “රට ගොඩ දැමීම” නම්, රනිල් වික්‍රමසිංහ ගෙන් වූයේ එය පමණි. “සංවර්ධනය” යැයි කිව හැකි ඊට වැඩි කිසිවක් සිදුව ඇති දැයි මම නොදනිමි.

අවසන් වශයෙන් කිව යුත්තේ, වික්‍රමසිංහ බුද්ධිමතෙකු වූවත් ඔහුට ජාවාරම්කාර නාගරික වෙළඳපල ආර්ථිකයක හා ජාතික සංවර්ධනයක් සඳහා අවශ්‍ය දේශීය නිෂ්පාදන ආර්ථිකයක වෙනස තේරුම් ගත හැකි විශ්ලේෂණාත්මක තියුණු බුද්ධියක් තියේදැයි සැක සහිත බවය. අප ගත කරන්නේ ආර්ථික දරිද්‍රතාවයකට වඩා බුද්ධිමය දරිද්‍රතාවයක වන හෙයිනි.  


Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2026 අගෝස්තු 27 වන දින

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්