leader s

බල කඳවුරු වෙනුවට ආර්ථික අන්තර්-රඳා පැවැත්මක් ගොඩනැගීමේ ඉන්දීය විභවය හිටපු මහකොමසාරිස්වරයාගේ විවරණයට


කලාපීය හවුල් සෞභාග්‍යය සහ ගෝලීය දකුණේ නායකත්වය ගැන හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ලියූ ලිපිය



නිදහසින් පසු ගෙවී ගිය අටවසරක කාලය තුළ ඉන්දියාව ගොඩනඟාගත් උපායමාර්ගික ස්වාධීනත්වය හුදෙක් සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික බලයක් පමණක් නොව, කලාපීය මෙන්ම ගෝලීය ආර්ථික ජාලයන් එකිනෙක යා කරන ප්‍රබල පාලමක් බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම හිටපු මහකොමසාරිස්වරයකු වන මිලින්ද මොරගොඩ පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ප්‍රකට 'හින්දුස්ථාන් ටයිම්ස්' (Hindustan Times) පුවත්පත වෙත විශේෂ විශ්ලේෂණාත්මක ලිපියක් සපයමින් ඔහු සඳහන් කරන්නේ, ඉන්දියාව සතු මෙම උපායමාර්ගික නිදහස (Strategic Freedom) ඉදිරි යුගයේදී මෙහෙයවන ආකාරය සමස්ත කලාපයේම ආර්ථික අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය වනු ඇති බවයි.

බල කඳවුරුවලින් ඔබ්බට ගිය ආර්ථික දැක්ම

 


මිලින්ද මොරගොඩ ගේ විශ්ලේෂණයට අනුව, සාම්ප්‍රදායිකව උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) යන්න විග්‍රහ කෙරුණේ ප්‍රධාන බල කඳවුරුවලට සෘජුව මැදි නොවී තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලෙස වුවද, වර්තමාන එකිනෙක බැඳුණු ලෝකය හමුවේ එම ස්වාධීනත්වය මුළුමනින්ම තීරණය වන්නේ ආර්ථික තේරීම් මතය.

පසුගිය දශකය තුළ ඉන්දියාව එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය සමඟ උසස් තාක්ෂණය, අර්ධ සන්නායක (semiconductors) සහ ආරක්ෂක ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කරගන්නා අතරතුරදීම, රුසියාව සමඟ පවතින ඓතිහාසික සබඳතා සමබරව පවත්වාගෙන යාමට සමත්ව ඇති බව මොරගොඩ පෙන්වා දෙයි. ඊට අමතරව මැදපෙරදිග ගල්ෆ් කලාපය, අප්‍රිකාව, අග්නිදිග ආසියාව මෙන්ම ඉන්දු-පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කරගැනීම ද කැපීපෙනේ.

එක් රටක් හෝ එක් ආර්ථික පද්ධතියක් මත පමණක් යැපීම අවදානමක් බැවින්, විවිධාංගීකරණය වූ සබඳතා ජාලයක් හරහා 'උපායමාර්ගික අන්තර්-රඳා පැවැත්මක්' (Strategic Interdependence) නිර්මාණය කරගැනීම ඉන්දියාව හමුවේ ඇති ප්‍රධාන අවස්ථාව බව හිටපු රාජ්‍යතාන්ත්‍රිකයා මෙහිදී අවධාරණය කරයි.

භූගෝලීය කේන්ද්‍රස්ථානය සහ කලාපීය සම්බන්ධීකරණය

 

india stat
ගල්ෆ් සහ බටහිර ආසියාව, ආසියානු නිෂ්පාදන කලාප, ඉන්දියන් සාගරය හරහා විහිදෙන අප්‍රිකාව සහ රුසියාව දක්වා විහිදෙන යුරේසියානු කලාපය එකිනෙක යා කරන සුවිශේෂී භූගෝලීය පිහිටීමක ඉන්දියාව පසුවන බව මොරගොඩ සඳහන් කරයි. ගෝලීය බල අරගල හමුවේ ලෝක ආර්ථිකය ඛණ්ඩනය වෙමින් පවතින මොහොතක, තවත් එක් සංවෘත බල කඳවුරක් හදනවා වෙනුවට විවෘත ආර්ථික ජාලයක් තනමින් කලාපීය සම්බන්ධීකාරකයකු (Connector) ලෙස පෙනී සිටීමේ ඉඩකඩ ඉන්දියාව සතු බව ඔහු පෙන්වා දෙයි.

චීනය සමඟ පවතින සබඳතාව සම්බන්ධයෙන් විග්‍රහ කරන මිලින්ද මොරගොඩ පවසන්නේ, ඊට ඇති විසඳුම සම්පූර්ණ වෙන්වීම හෝ අධික ලෙස යැපීම නොවන බවයි. දේශීය නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කරමින් සැපයුම් දාම විවිධාංගීකරණය කරන අතරතුර, අන්‍යෝන්‍ය අවශ්‍යතා මත පදනම්ව ගනුදෙනු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ඉඩකඩ විවෘතව තබාගැනීම ප්‍රායෝගික ප්‍රවේශය බව ඔහු දක්වයි. එසේම ලොව පුරා වෙසෙන දැවැන්ත ඉන්දියානු ඩයස්පෝරාව සතු ආර්ථික හා බුද්ධිමය ශක්තිය ද රටේ අභිවෘද්ධිය උදෙසා ඵලදායී ලෙස යොදාගත හැකි බව මෙහිදී පෙන්වා දී තිබේ.

ඉන්දියන් සාගරයේ හවුල් සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ අවස්ථාව

වරාය, නාවික මාර්ග, බලශක්ති කොරිඩෝ, ඩිජිටල් යටිතල පහසුකම් සහ සැපයුම් දාමයන් වර්තමාන උපායමාර්ගික බලපෑම තීරණය කරන ප්‍රධාන සාධක බව පෙන්වා දෙන මොරගොඩ, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ කලාපයේ අනෙකුත් රටවල් සමඟ බෙදාහදා ගැනීම තුළින් පමණක් ඉන්දියාවේ ඉදිරි ගමන වඩාත් තිරසාර වනු ඇති බව පවසයි.

 

g20 ind
ජාත්‍යන්තර සංසද තුළ හුදු නියෝජනයක් සැපයීමෙන් ඔබ්බට ගොස්, සංවර්ධනය වෙමින් පවතින රටවලට පුළුල් ආර්ථික තේරීම් උදාකර දීමට ගෝලීය දකුණේ (Global South) නායකයකු ලෙස ඉන්දියාවට පුළුල් ඉඩක් පවතී. විශේෂයෙන්ම ඉදිරි ජී-20 සමුළුව වැනි ජාත්‍යන්තර වේදිකාවලදී අනාගත ආර්ථික ආයතන හැඩගැස්වීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හිමිකාරිත්වය තහවුරු කිරීමට ඉන්දියාවට හඬක් නැගිය හැකි බව ලිපියේ සඳහන් වේ.

ඉන්දියන් සාගර කලාපය ආර්ථික වශයෙන් ඒකාබද්ධ වීම හරහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින වැනි අසල්වැසි රටවලට සැපයුම් දාම, සැපයුම් සේවා (logistics), බලශක්තිය, සංචාරක සහ සේවා ක්ෂේත්‍රයන්හි සෘජු හවුල්කරුවන් වීමට මගපෑදෙන බව මිලින්ද මොරගොඩ වැඩිදුරටත් පෙන්වා දෙයි. හුදු යැපීමකට වඩා 'හවුල් සෞභාග්‍යය' (Shared Prosperity) මත පදනම් වන සබඳතා වඩාත් දීර්ඝකාලීන සහ ශක්තිමත් වන බැවින්, වෙනස් වන ලෝකයක ප්‍රධාන සම්බන්ධීකාරකයා බවට පත්වීමේ ඓතිහාසික අවස්ථාව ඉන්දියාව නිසි ලෙස භාවිත කළ යුතු බව ඔහුගේ නිගමනයයි.



වැඩිදුර කියවීම සඳහා:

Hindustan Times: A neighbour’s view of India’s strategic strengths - By Milinda Moragoda


whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්