leader s

නාමල් අත්අඩංගුවට ගැනීම නීතියේ ආධිපත්‍යයද, නැතහොත් නව විපක්ෂ කඳවුරක් පෙළගස්වන දේශපාලන උත්ප්‍රේරකයක්ද?


දූෂණ විරෝධී නව දේශපාලනය සහ සිංහල-බෞද්ධ සංකේත අතර ගැටුම අනුරාධපුරයෙන් යළි කරළියට.

නාමල් රාජපක්ෂ සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව නැවතත් එක් මූලික ප්‍රශ්නයක් වටා ඝනීභූත වී තිබේ. එය නාමල් රාජපක්ෂට එරෙහි චෝදනාව සත්‍යද අසත්‍යද යන්න පමණක් නොවේ. “මෙය දේශපාලන පලිගැනීමක්ද? විපක්ෂය මර්දනය කිරීමක්ද? නැතිනම් නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වීමක්ද?” යන ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නයට දෙන පිළිතුර අනුව දේශපාලන කඳවුරු දෙකට බෙදෙන ආකාරය දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයෙන් මෙය කියවිය හැක්කේ පසුගිය දශක කිහිපය තුළ බලවත් දේශපාලන පවුල් හා බලවතුන් වටා ගොඩනැගුණු දූෂණය හා දේශපාලන බලය පිළිබඳ පැරණි සංස්කෘතිය බිඳ දැමීමක් ලෙසය. “නීතිය ඉදිරියේ කිසිවෙකු විශේෂ නොවේ” යන පණිවුඩය ආණ්ඩුවේ දූෂණ විරෝධී දේශපාලනයේ මූලික සංකේතයක් බවට පත්වෙමින් තිබේ.

එහෙත් විපක්ෂයේ දෘෂ්ටිකෝණයෙන් එය කියවෙන්නේ වෙනස් ආකාරයකිනි. ඔවුන්ට අනුව මෙය නීතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් පමණක් නොව, ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් දුර්වල කිරීම සඳහා රාජ්‍ය බලය භාවිතා කරන අවස්ථාවකි. ඒ නිසා මෙහි ඇති සැබෑ දේශපාලන ගැටලුව වන්නේ නීතිය ක්‍රියාත්මක වීමම නොවේ. නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමාජ විශ්වාසයයි.

නීතිය ක්‍රියාත්මක වීමද? දේශපාලන පළිගැනීමක්ද?

යම් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම දේශපාලන පලිගැනීමක් ලෙසත්, එම ක්‍රියාවම දූෂණ විරෝධී යුක්තිය ලෙසත් එකවර සමාජයේ විවිධ කොටස් විසින් කියවිය හැකිය. එය සිදුවන්නේ නීතිය පිළිබඳ විශ්වාසය තවමත් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් වෙන්වී නොමැති සමාජයකය.

මේ තත්ත්වය තුළ වැදගත් වන්නේ තවත් දෙයකි. ආණ්ඩුව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තරමටම, විපක්ෂයට තමන් “මර්දනයට ලක්වන විපක්ෂයක්” ලෙස ඉදිරිපත් කිරීමට අවකාශයක්ද නිර්මාණය වේ.  එය විපක්ෂයට දේශපාලනිකව ඉතා වැදගත් අවස්ථාවකි.

නාමල් කේන්ද්‍ර කරගත් නව විපක්ෂ පෙරමුණ

ඒ නිසාම අනුරාධපුර නගරයේ  ක්‍රීඩාංගණයක් පුරවමින් පොදුජන පෙරමුණ ආරම්භ කළ “ජන සටන” හුදෙක් රැස්වීමක් ලෙස කියවිය නොහැකිය. එය නාමල් රාජපක්ෂට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය වටා විපක්ෂයේ නව දේශපාලන කතිකාවක් ගොඩනැගීමේ උත්සාහයකි.

මෙහිදී නාමල් යනු තනි පුද්ගලයකු පමණක් නොවේ. ඔහු රාජපක්ෂ දේශපාලනයේ වර්තමාන නියෝජනයකි. එබැවින් නාමල්ට එල්ල වන ප්‍රහාරය, පොහොට්ටුවේ දේශපාලන භාෂාව තුළ, රාජපක්ෂ දේශපාලන උරුමයට එල්ල වන ප්‍රහාරයක් බවට පරිවර්තනය කිරීම පහසුය.

වීරවංශ, ගම්මන්පිල සහ අර්චුනා වැනි විවිධ දේශපාලන ස්ථාවර නියෝජනය කරන චරිත එකම වේදිකාවකට පැමිණීමද මෙහිදී සැලකිය යුතුය. ඔවුන් අතර මතවාදී වෙනස්කම් තිබුණද, ආණ්ඩු විරෝධය ඔවුන් අතර පොදු දේශපාලන සම්බන්ධකයක් බවට පත්වෙමින් තිබේ. එනම්, මෙහි දී නිර්මාණය වන්නේ තවමත් සම්පූර්ණයෙන් සංවිධානය වූ විපක්ෂ සන්ධානයක් නොව, “ආණ්ඩුවට එරෙහි පොදු කඳවුරක්” නිර්මාණය කිරීමේ ආරම්භක දේශපාලන ක්‍රියාවලියකි.

අනුරාධපුරයේ සංකේතාත්මක දේශපාලන බර

එහි තවත් වැදගත් මානයක් සල්ගාදුවේ භූගෝලීය හා සංකේතාත්මක ස්ථානය තුළ තිබේ.

අනුරාධපුරය යනු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සාමාන්‍ය නගරයක් නොවේ. එය ඉතිහාසය, රාජ්‍යත්වය, බුද්ධාගම, ජාතික අනන්‍යතාව සහ සිංහල-බෞද්ධ මතකය එකිනෙකට සම්බන්ධ කරන විශාල සංකේතාත්මක අවකාශයකි.

දුටුගැමුණු හා එළාරගේ කතාවේ සිට ශ්‍රී මහා බෝධිය, රුවන්වැලිසෑය සහ අනුරාධපුර රාජධානියේ මතකය දක්වා වූ සංකේත, ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලන පරිකල්පනය තුළ ගැඹුරින් ස්ථාපිත වී ඇත.

එබැවින් සල්ගාදු ක්‍රීඩාංගණය පිරවීම යනු මිනිසුන්ගේ සංඛ්‍යාව පෙන්වීමක් පමණක් නොවේ. එය “මේ රටේ ඉතිහාසය සමඟ සම්බන්ධ වීමට, ජාතිකත්වය පිළිබදව කිරීමට සහ සිංහල-බෞද්ධ සංකේත භාවිතා කිරීමට අන්සියල්ලන්ට දේශපාලන අයිතියක් ඇත්තේ අපටය ” යන පණිවුඩය රාජජජපක්සවාදීන් විසින් නැවත ප්‍රකාශ කිරීමක් ලෙසද කියවිය හැකිය.

NPP ආණ්ඩුව හමුවේ ඇති මූලික අභියෝගය

මෙහිදී ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු වේ. සිංහල-බෞද්ධ දේශපාලන සංකේතවලට හිමිකම ඇත්තේ එක් දේශපාලන කඳවුරකට පමණද? මෙය NPP ආණ්ඩුවේ වර්තමාන දේශපාලනය ඉදිරියේ ඇති මූලික අභියෝගයකි.

ජාතික ජන බලවේගය බලයට පැමිණියේ සාම්ප්‍රදායික දේශපාලන බල ව්‍යුහයන් ප්‍රතික්ෂේප කරමින්ය. දූෂණ විරෝධය, නව දේශපාලන සංස්කෘතිය, සාධාරණත්වය සහ පිරිසිදු පාලනය එහි ප්‍රධාන සංකේත විය.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම නව සමාජ-දේශපාලන භාෂාවකට මාරු වී නැත. පරණ සංකේත තවමත් බලවත්ය. ඒ නිසා පොහොට්ටුවට සිදුවන්නේ තම පරණ දේශපාලන සංකේත නැවත සක්‍රීය කිරීමයි. නාමල්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය එයට හොඳ අවස්ථාවක් සපයයි. “රාජපක්ෂලාට එරෙහිව යන ක්‍රියාමාර්ගය” එමනිසා, “අපගේ ඉතිහාසයට, අපගේ ජාතිකත්වයට, අපගේ දේශපාලන උරුමයට එරෙහි ක්‍රියාමාර්ගයක්” බවට පරිවර්තනය කිරීමේ හැකියාව එහි තිබේ.

එහෙත් මෙහි පරස්පරතාවක්ද තිබේ. නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන මර්දනයක් බව කියන විපක්ෂයට, ඒ සමඟම තම දේශපාලන බලය නැවත ගොඩනැගීම සඳහා රාජපක්ෂ යුගයේම ජාතික හා බෞද්ධ සංකේත නැවත කැඳවීමට සිදුවෙයි.

ආණ්ඩුවටද මෙහි අභියෝගයක් තිබේ. දූෂණ විරෝධය යනු නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ. එය තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන බව සමාජයට ඔප්පු කිරීමකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ විනිවිදභාවය, සාක්ෂි මත පදනම් වූ නීතිමය ක්‍රියාවලිය, ස්වාධීන ආයතන සහ සියලු දේශපාලන පාර්ශ්වයන්ට එකම ප්‍රමිතියක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමයි.

එසේ නොවුණහොත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයම විපක්ෂයේ දේශපාලන බලමුළු ගැන්වීමේ මෙවලමක් බවට පත්විය හැකිය. මේ නිසා අද ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින්නේ සරල ආණ්ඩු විරෝධයක් පමණක් නොවේ. එය පැරණි දේශපාලන බල කඳවුරු නව ආකාරයකින් නැවත සංවිධානය වීමේ ආරම්භයකි.

එක් පසෙකින් “දූෂණයට එරෙහිව නීතිය” යන නව දේශපාලන සදාචාරයක් ඉදිරිපත් කරන ආණ්ඩුවකි. අනෙක් පසින් “නීතියේ නාමයෙන් දේශපාලන පලිගැනීමක් සිදුවේ” යන තර්කය ඉදිරිපත් කරන විපක්ෂයකි.

ඉතිහාසයේ සංකේත සැබවින්ම අයිති කාටද?

මේ දෙක අතරින් තෙවන ප්‍රශ්නයක්ද මතුවෙයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සංකේතවලට අයිතිය කාටද? දුටුගැමුණු කාගේද? එළාර කාගේද? අනුරාධපුරය කාගේද? ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑය කාගේද? සිංහල-බෞද්ධ උරුමය එක් දේශපාලන පක්ෂයක දේශපාලන දේපළක්ද?

ඇත්ත වශයෙන්ම මේවා කිසිදු පක්ෂයකට අයිති දේවල් නොවේ. ඒවා ශ්‍රී ලංකාවේ සංකීර්ණ සාමූහික ඉතිහාසයේ කොටස්ය.

නමුත් දේශපාලනයේදී සංකේතවලට නීතිමය හිමිකමක් නොතිබුණද, දේශපාලනික හිමිකමක් සඳහා තරගයක් තිබේ. අද සල්ගාදුවෙන් පෙනෙන්නේ එම තරගය නැවත ආරම්භ වී ඇති බවය. එබැවින් ඉදිරි දේශපාලන අරගලය පාර්ලිමේන්තුවේ ආසන ගණන පිළිබඳ අරගලයක් පමණක් නොවනු ඇත. එය “දූෂණ විරෝධී නව ශ්‍රී ලංකාවට ” සහ “ඉතිහාසය, ජාතිකත්වය හා පැරණි දේශපාලන උරුමය” අතර සංකේතාත්මක අරගලයක්ද වනු ඇත.

කෙසේ වෙතත් අවසානයේ ජනතාවගේ තීරණය තීරණය වන්නේ සංකේතවලින් පමණක් නොවේ.

ඔවුන් අසනු ඇත්තේ ඉතා සරල ප්‍රශ්නයකි. නීතිය සැබවින්ම සියලු දෙනාට සමානද? ආණ්ඩුවට එම ප්‍රශ්නයට ක්‍රියාවෙන් පිළිතුරු දීමට හැකි නම්, දූෂණ විරෝධී දේශපාලනය ශක්තිමත් වනු ඇත.

එසේ නොහැකි වුවහොත්, අනුරාධපුරයෙන් ආරම්භවූ විරෝධය නාමල් රාජපක්ෂ වෙනුවෙන් වූ විරෝධයකින් ඔබ්බට ගොස්, “අපට එරෙහිව රාජ්‍ය බලය භාවිතා කිරීමට එරෙහිව ” යන පුළුල් විපක්ෂ කතිකාවක් බවට පත්විය හැකිය. එවිට අනුරාධපුර රැස්වීම තවත් එක් දේශපාලන රැස්වීමක් නොවනු ඇත. එය ශ්‍රී ලංකාවේ නව දේශපාලන කඳවුරු නිර්මාණය වන මොහොතක සංකේතාත්මක ආරම්භක ලක්ෂයක් බවට පත්වනු ඇත.

Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්