භූතානය සමග හෙට (25 සඳුදා) පැවැත්වෙන FIFA Series 2024 පාපන්දු තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම

ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර්  පවසන්නේ මහත් විශ්වාසයකින් යුතුව.

ප්‍රබල පැපුවා නිව් ගිනියා කණ්ඩායමට එරෙහි තරගය ජය පැරදුමකින් තොරව අවසන් කර ගැනීමට සමත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ලොකු බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බව සඳහන් කරන ජස්වර් උමාර් මේ නව ආරම්භයෙන් පසුව ශ්‍රී ලංකාව පාපන්දු ක්ෂේත්‍රයේ හරි මග ගමන් කරමින් සිටින බව ද කියා සිටිනවා.

J umar
The Leader සමග අද කෙටි පිළිසඳරකට එක්වෙමින් ජස්වර් උමර් ප්‍රකාශ කළේ, අවුරුදු හතරක සැලසුම් සහගත ගමනක අවසන් ඉලක්කය දකුණු ආසියාවේ පාපන්දු කිරුළ බවයි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ට යාමේ නිවැරදි ආරම්භය දැන් ශ්‍රී ලංකා පාපන්දු බළධාරීන් විසින් ගෙන තිබෙන බව ද කී ජස්වර් උමර්, මේ සඳහා මුළු රට ම එක්ව ලාංකේය පාපන්දුව දිරි ගැන්විය යුතු බව ද අවධාරණය කරනවා.

ලොව පාපන්දු ශ්‍රේණිගත කිරීමේ අංක 204 ට සිටින ශ්‍රී ලංකාව FIFA Series 2024 තරගමාලාවේ ශ්‍රී ලංකා අදියරේ දෙවැනි තරගය සඳහා හෙට (25) කොළඹ තුරඟ තරග පිටියට පිවිසෙන්නේ අංක 184 ට ශ්‍රේණිගතව සිටින භූතානය ට එරෙහිව.

ලෝකයේ අංක 165 ට ශ්‍රේණිගතව සිටින පැපුවා නිව් ගිනියාව සමග පැවති පළමු තරගය 0-0ක සමතත්ත්වයෙන් අවසන් කර ගැනීමට සමත් වීම නිසා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් හෙට තරගයට මුහුණ දෙනු ඇත්තේ පළමු තරගයෙන් ඇතිකර ගත් විශ්වාසය හා ධෛර්යය පන්නරයක් කරගෙන.

පැපුවා නිව් ගිනියාව වැනි දක්ෂ කණ්ඩායමක් පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රය තුළ හටගෙන තිබෙන්නේ නව පිබිදීමක්. ඒ ජයග්‍රහණය සම්බන්ධයෙන් අද සමාජයේ ප්‍රබෝධමත් කතිකාවක් ආරම්භ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වෙසෙන පාපන්දු ක්‍රීඩකයන් සහ විදේශයන්හි පාපන්දු ක්‍රීඩාවේ නිරත ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් විදෙස් ක්‍රීඩකයන්ගෙන් මිශ්‍ර වූ ජාතික පාපන්දු කණ්ඩායමක් මෙරට පාපන්දු ක්‍රීඩා ලෝලීන් දකින්නේ ප්‍රථම වතාවට. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ අතිදක්ෂ ක්‍රීඩකයෙකු වන ඩොන් සුජාන් පෙරේරා.

ජර්මනියේ ක්‍රීඩා කරමින් අත්දැකීම් සම්භාරයක් එක්කර ගෙන සිටින වසීම් රාසික්, ජේසන් දයපාරන්, මනිමෙල්දුර ලියොන් පෙරේරා, ඔස්ට්‍රේලියාවේ ජැක් ඩේවිඩ් හින්ගර්ට්, එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිය පාපන්දු දස්කම් මුවහත් කරගත් ආදවන් රජමෝහන් (පැපුවා නිව් ගිනියාවට එරෙහි තරගයේ වීරයා), ඩිලාන් ද සිල්වා හා ෆසාල් නසීර් වැනි ක්‍රීඩකයන්ගේ විදෙස් පළපුරුද්ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර තිබෙන්නේ ලොකු වටිනාකමක්.

ලොව නන් දෙස විසිරී සිටින ශ්‍රී ලංකාවෙන් පැවත එන පාපන්දු ක්‍රීඩකයන් එකතු කරගෙන ශ්‍රී ලංකා පාපන්දු ක්ෂේත්‍රයට මේ අයුරින් ප්‍රාණවත් වීමේ එන්නතක් ලබා දීම පිළිබඳව ජස්වර් උමර් ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයාට ප්‍රශංසාව හිමි විය යුතු බව මෙරට පාපන්දු ලෝලීන් වැඩි දෙනෙකුගේ මතය වී තිබෙනවා.



football lanka


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි පුවත් :
FIFA Series 2024: පැපුවා නිව් ගිනියාවට සම වෙමින් ශ්‍රී ලංකාවට විස්මිත ආරම්භයක්
FIFA Series 2024: මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට වාර්තාගත ජයක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්