වර්ගවාදයට එරෙහිව තමා ප්‍රසිද්ධියේ ගෙන යන සටන නිසා තමාට ‘බැලන් ඩෝ’ – Ballon d’Or - සම්මානය නොලැබුනු බවට
විනීකියස් ජූනියර් (Vinicius Junior) ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
මේ සම්මානය සඳහා පැවති තරගයෙන් ‘රේආල් මෙඩ්රිඩ්’ සමාජය නියෝජනය කරන බ්‍රසීලයේ සුපරි පාපන්දු ක්‍රීඩකයා ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ සහ ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩක රොඩ්රි (Rodri) ට පරාජය වුනා.

මේ තේරීම ප්‍රතික්ෂේප කළ ස්පාඤ්ඤ පාපන්දු යෝධයන් වන ‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ලෝක සිරස්තල මවමින් පැරිසියේ පැවති ‘බැලන් ඩෝ’ සම්මාන ප්‍රදානෝත්සවය වර්ජනය කළා.
‘බැලන් ඩෝ’ සම්මානයේ තමා අනුශූරයා බවට තහවුරු වීමෙන් පසුව විනීකියස් සමාජ මාධ්‍යට පිවිස X වේදිකාවේ මෙසේ සටහන් කළා: “මට කරන්න අවශ්‍ය වුනොත් මම ඒක 10 පාරක් කරනවා. ඔවුන් සූදානම් නැහැ.”
රොයිටර් පුවත් සේවයට අනුව, මේ ප්‍රකාශයෙන් ඔහු කියා සිටින්නේ මෑත වසරවල ඔහු වර්ගවාදයට එරෙහිව ගෙන ගිය සටන පිළිබඳවයි.

“සිස්ටම් එකට විරුද්ධව සටන් කරන ක්‍රීඩකයෙකුව පිළිගන්න පාපන්දු ලෝකය සූදානම් නැහැ” යනුවෙන් බ්‍රසීල ඉදිරිපෙල ක්‍රීඩකයාගේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙක් ප්‍රකාශ කර තිබෙනවා.
මෑත වසර තුළ අවම වශයෙන් 16 වතාවක් ජාතිවාදී පරිභව කිරීම්වලට ඉලක්ක වූ විනීකියස් පාපන්දු ක්‍රීඩාවේ තිබෙන ජාතිවාදය පිළිබඳ සාකච්ඡාවන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව සිටිනවා. මේ සම්බන්ධයෙන් පියවර නොගන්නේ නම් ස්පාඤ්ඤය 2030 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය නොදැක්විය යුතු බවට ඔහු පසුගිය මාසයේදී කියා සිටියා.
තමන්ට එල්ල වන ජාතිවාදී පරිභව කිරීම් පිළිබඳව මේ වසර මුල පැවති මාධ්‍ය හමුවකදී සාකච්ඡා කළ අවස්ථාවේ විනීකියස් කඳුළු වගුරුවමින් හඬා වැටුනා.
“ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා පුද්ගලයෙකුගේ හමේ පාට නිසා ඔහුට අපහාස කිරීම කොතරම් බරපතළ ද කියා ස්පාඤ්ඤයට තේරුම් ගත හැකිවේවි කියලා. මොකද, මේ ප්‍රශ්නය 2030 වන විට සමථයකට පත්කර ගත්තේ නැත්නම් අපිට තරගාවලිය පැවැත්වෙන ස්ථානය වෙනස් කරන්න වේවි කියලා මම හිතනවා. ජාතිවාදයෙන් පීඩා විඳීමට සිදුවන රටක ක්‍රීඩා කිරීමෙන් ක්‍රීඩකයෙකුට පහසුවක් හා ආරක්ෂාවක් දැනෙන්නේ නැත්නම් එය සංකීර්ණ තත්ත්වයක්.”
‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමට LaLiga-UEFA චැම්පියන්ස් ලීග් ද්විත්ව ශූරතාවන් කරා යාමට විශාල දායකත්වයක් ලබා දීමෙන් පසුව විනීකියස් ජූනිය 2024 ‘බැලන් ඩෝ’ සම්මානය දිනා ගැනීමේ ජනප්‍රිය ක්‍රීඩකයා බවට පත්ව සිටියා.
චැම්පියන්ස් ලීග් තරග දහයකදී ගෝල් හයක් සහ ගෝල් ලබා ගැනීමේ සහාය වීම් හතරක් වාර්තා කළ ඔහු ‘ලා ලිගා’ තරග 26ක ගෝල් 20කට සම්බන්ධ වුනා.
ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් ඇතුළු 50 දෙනෙකුගෙන් ශක්තිමත් ‘රේආල් මෙඩ්රිඩ්’ කණ්ඩායමක් මේ සම්මාන උළෙල සඳහා පැරිසිය බලා ගුවන්ගත වීමට නියමිතව තිබුන ද, විනීකියස් ජයග්‍රහණය නොකරණ බව අනාවරණය වීමෙන් පසුව ඔවුන් ඒ ගමන අහෝසි කළා.
‘බැලන් ඩෝ’ සම්මානය පිරිනැමේදී විනීකියස්ව නොසලකා හැරීම ‘ෙඑතිහාසික සොරකමක්’ බව එම ක්‍රීඩා සමාජය කියා සිටිනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






