බ්‍රසීලයේ නේමා සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ ‘අල් හිලාල්’ (Al Hilal) ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව යාමෙන් පසුව ඔවුන් තවත් බ්‍රසීල පාපන්දු තරුවක්
දඩයම් කිරීමේ උත්සාහයක නිරතව සිටිනවා.
මෙවර ඔවුන්ගේ කුරුමානම වී සිටින්නේ ‘රෙආල් මැඩ්රිඩ්’ (Real Madrid) කණ්ඩායමට ක්‍රීඩා කරන බ්‍රසීල ඉදිරිපෙල ක්‍රීඩක රොඩ්රීගො (Rodrygo). ‘අල් හිලාල්’ පාපන්දු ක්‍රීඩා සමාජය මේ ක්‍රීඩකයා ඔවුන් සතුකර ගැනීම පිණිස ලෝක වාර්තාගත උත්සාහයක යෙදී සිටින බව වාර්තා වනවා.
පසුගිය තරග වාර කිහිපයේදී සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩා සමාජ ලෝකයේ ජනප්‍රියතම හා දක්ෂතම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මැද පෙරදිග ට ආකර්ෂණය කර ගැනීම පිණිස විශාල පරිමාණයෙන් මුදල් විසිකරමින් සිටියා.
යුරෝපය අත්හැර සෞදි වෘත්තීය ලීගයට පැමිණි ලෝකයේ නමක් දිනාගෙන සිටින පළමු ක්‍රීඩකයා වූයේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ. ඒ, ඔහු ‘අල් නසර්’ ක්‍රීඩා සමාජය සමග 2023 ජනවාරියට පෙර ගිවිසුම් අත්සන් කරමින්.
එතැන් සිට නේමා (Neymar), කරීම් බෙන්සෙමා (Karim Benzema), රබර්ටෝ ෆෙමීනෝ (Roberto Firmino), එන්ගුලෝ කොම්ටේ (N’Golo Kante) සහ රීආඩ් මාරස් (Riyad Mahrez) යන ක්‍රීඩකයින් සෞදි අරාබිය ට පැමිණියා.
මේ ශීත සෘතුවේ උදාවන ක්‍රීඩකයන් මාරු වීමේ කාලය තුළ, සෞදි අරාබියේ පාපන්දු ක්‍රීඩා සමාජ නැවත වරක් ඔවුන්ගේ චෙක්පොත් එළියට ගෙනැවිත් තිබෙනවා.
‘ඇස්ටන් විලා’ පාපන්දු තරුවක් වන ජොන් ඩුරාන් (Jhon Duran) විශාල මුදලකට ‘අල් නසර්’ කණ්ඩායමට එක්වීමට නියමිතව තිබෙන අතර සෞදි පාපන්දු ශූරයින් වන ‘අල් හිලාල්’ කණ්ඩායම දැවැන්ත මුදලක් ‘රෙආල් මැඩ්රිඩ්’ සුපිරි ක්‍රීඩක රොඩ්රීගො ට යෝජනා කර ඇතැයි පැවසෙනවා.
වාර්තා වන පරිදි, රොඩ්රීගෝ මිලදී ගැනීම පිණිස ‘අල් හිලාල්’ දරණ ලෝක වාර්තාගත උත්සාහයේ මුදල යුරෝ මිලියන 300ක්.
මීට අමතරව, 24 හැවිරිදි ක්‍රීඩක රොඩ්රීගො ට වසරකට යුරෝ මිලියන 140ක් වටිනා ලාභදායී කොන්ත්‍රාත්තුවක් ද ඔවුන් පිරිනමා තිබෙනවා.
කෙසේ වෙතත්, එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති මේ ක්‍රීඩකයා ‘රෙආල් මැඩ්රිඩ්’ ක්‍රීඩා සමාජය සමග තවදුරටත් රැඳී සිටීමට තීරණය කර ඇති බව ද සඳහන්.
යුරෝපයේදී රොඩ්රීගොව වැඩියෙන්ම අවශ්‍යව තිබෙන කණ්ඩායම වී සිටින්නේ ප්‍රිමිය ලීග් ශූරයින් වන ‘මැන්චෙස්ට සිටි’ බව ද මේ අතර වාර්තා වනවා.
රොඩ්රීගො සෞදි අරාබිය සමග සම්බන්ධ කරන වාර්තා පළවීමෙන් පසුව ‘රෙආල් මැඩ්රිඩ්’ කළමනාකරු කාලෝ ඇන්චලොටී (Carlo Ancelotti) මෙසේ කියා සිටිනවා.
“රොඩ්රීගො සෞදි අරාබියට යනවා? මගේ ක්‍රීඩකයන් මෙහේ ඉන්නේ බොහොම සතුටින්. ඒ අයට අවශ්‍ය මෙහෙදී ඉතිහාසය නිර්මාණය කරන්නයි.”
“මම විනී (විනීකියස් ජූනියර්) ගැනත් මේ දෙයම මීට පෙර කීවා. එ්ක මම රොඩ්රීගො ගැනත් නැවත කියනවා.”
2024/25 ක්‍රීඩා වාරයේ මේ දක්වා, රොඩ්රීගො මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් සියලුම තරගාවලියන්හි ක්‍රීඩා කළ තරග 28දී ගෝල් 12ක් ලබා ගෙන ගෝල් ලබා ගැනීමට සහාය වූ අවස්ථා හතක් වාර්තා කර තිබෙනවා.
රොඩ්රීගො ට අමතරව, තවත් බ්‍රසීල සුපිරි පාපන්දු තරුවක් වන විනීකියස් ජූනියර් (Vinicius Junior) ද සෞදි අරාබිය ට යාමට සැරසෙන බවට වාර්තා පළවී තිබුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි පුවත් :






