බොක්සිං හෙවිවේට් පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් (George Foreman) 76 වැනි වියේ පසුවෙමින් සිටියදී ඔහුගේ වර්ණවත් දිවිසැරිය නිමා කළා. ඔහු මිය ගියේ ඊයේ උදේ (අමෙරිකාවේ සිකුරදා රාත්‍රියේ).
බොක්සිං වළල්ලේ ‘බිග් ජෝර්ජ්’ (Big George) ලෙසින් හැඳින්වුනු මේ අමෙරිකානුවා බොක්සිං ක්‍රීඩාවේ එක් වඩාත්ම සිත්ගන්නා සහ ඉවසා දරා සිටි ක්‍රීඩා දිවියක් ගොඩනැගුවේ 1968 වසරේදී ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් සහ ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දෙවතාවක් හිමිකර ගනිමින්. ඔහු දෙවැනි කිරුළ දිනා ගත්තේ පළමු ශූරතාව දිනා ගෙන වසර 21කට පසුව වූ අතර වයස අවුරුදු 45දී දිනා ගත් දෙවැනි ශූරතාවත් සමග ඔහු හෙවිවේට් බොක්සිං ඉතිහාසයේ වයස්ගතම ශූරයා බවට පත්වුනා.
ෆෝමන් ඔහුගේ පළමු හෙවිවේට් කිරුළ පරාජය වූයේ මොහමඩ් අලි (Muhammad Ali) ට. ඒ, 1974 වසරේ පැවති ‘රම්බ්ල් ඉන් ද ජංග්ල්’ (Rumble in the Jungle) ලෙසින් ජනප්‍රිය වූ ඔවුන්ගේ තරගයේදී. නමුත් සමස්තයක් ලෙස, ෆෝමන් ප්‍රතිවාදියා බිම දැමූ තරග 68ක් ඇතුළුව මවිත කරවන ජයග්‍රහණ 76ක් වාර්තා කළ අතර ඔහු ප්‍රතිවාදියා බිම හෙලූ වාර ගණන අලි ට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වීම විශේෂත්වයක්.
ෆෝමන් 1997 වසරේදී විශ්‍රාම ගිය අතර ඊට පෙර ඔහු ජනප්‍රියව අලෙවි වෙමින් තිබූ ‘උදුනක ඇති ජාලකයකට’ (ග්‍රිල්) ඔහුගේ නම දැමීමට එකඟ වුනා. එය ඉතාමත් ඵලදායී තීරණයක් වූයේ එම ග්‍රිල් උදුන ෆෝමන් ට ඔහුගේ බොක්සිං උපයා ගැනීම්වලට වඩා ඉතා වැඩි ආදායමක් ලබා දුන් නිසා.

1949 වසරේ ජනවාරි 10 වැනිදා ටෙක්සාස් හි මාෂල් නගරයේ උපත ලැබූ ජෝර්ජ් ෆෝමන්ව තවත් දරුවන් හය දෙනකු සමග තනි මවක විසින් හදා වඩා ගනු ලැබුවේ අමෙරිකාව දකුණු දිසාවේ හුදෙකලා පෙදෙසක.
පාසලෙන් ඉවත්ව මාර්ගයේ සොරකම්වලට යොමුව සිටි ඔහු අවසානයේ ඒ සොරකමෙන් පිටවීමේ මග බොක්සිං වළල්ලෙන් සොයා ගත්තා.
ෆෝමන් 1968 වසරේ මෙක්සිකෝවේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනා ගත්තේ ඔහුට වයස අවුරුදු 19ක්ව තිබියදී. ඔහු වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු බවට පත්ව නොකඩවා තරග 37ක් ජයග්‍රහණය කළේ ඉන්පසුව. ෆෝමන් ඔහුගේ ක්‍රීඩා දිවියේදී පැරදුනේ තරග පහකින් පමණයි.

ෆෝමන් ප්‍රථම වතාවට ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වූයේ ඒ වන විට අපරාජිත ශූරයාව සිටි ජෝ ෆ්‍රේසියර් (Joe Frazier) 1973 වසරේ ජනවාරි මාසයේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී පරාජය කරමින්. එදා ෆෝමන් විසින් ෆ්‍රේසියර් පරාජය කරනු ලැබුවේ තරගයේ පළමු වට දෙකේදී හය වතාවක් ඔහු බිම හෙළමින්.
1974 වසරේදී මොහමඩ් අලි ට එරෙහිව සයේ දේශයේ (දැන් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය) කින්ෂාසා අගනගරයේ පැවති ෆෝමන්ගේ ‘රම්බ්ල් ඉන් ද ජංග්ල්’ සටන එදා මෙදා තුර පැවති වඩාත්ම ජනප්‍රිය බොක්සිං තරගවලින් එකක් ලෙස අදටත් මතකයේ රැඳී තිබෙනවා.
එම තරගයේ දුර්වල ක්‍රීඩකයා බවට පත්ව සිටියේ වයසින් වැඩි මොහමඩ් අලි. ඊට වසර හතකට පෙර අලිගේ හෙවිවේට් කිරුළ ඔහු වියට්නාම් යුද්ධයට යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගෙන් උදුරාගෙන තිබුණා. අලි තරගයේ අට වැනි වටයේදී ෆෝමන් බිම හෙලුවා.
1977 වසරේ ලැබූ දෙවැනි වෘත්තීය පරාජයකින් පසුව ෆෝමන් බොක්සිං වළල්ලෙන් විශ්‍රාම ගෙන ටෙක්සාස් හි Lord Jesus Christ දේවස්ථානයේ පූජකවරයෙක් බවට පත්වුනා. එම පල්ලියේ නිර්මාතෘවරයා වෙමින් එය ඉදිකළේ ද ෆෝමන්. මොහමඩ් අලි වෙතින් ලැබූ පරාජය තමාගේ ජීවිතයේ තමාට සිදුවූ හොඳම දෙය බවත් එය ආගම දේශනා කිරීම හරහා තමාගේ පණිවුඩය ජනතාවට ලබා දීමට අවස්ථාව ලබා දුන් බවත් ෆෝමන් BBCයට කියා තිබුණා.
ඔහූගේ ආගම දේශනා කිරීම මිතුරන් සමග වීදි කොණේ කුඩා ප්‍රමාණයෙන් ආරම්භ කළ බවත් පසුව එය වර්ධනය වූ බවත් ෆෝමන් එදා මතක් කළා. නිවෙස් තුළ ද පැවැත්වූ දේශනා ඇසීමට පැමිණෙන සෙනඟ ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන්නට පටන් ගත් බැවින් ඉඩමක් හා ජරාවාස වූ ගොඩනැගිල්ලක් මිලදී ගත් ෆෝමන් එය දේවස්ථානයක් බවට පත් කළා.
ෆෝමන් ඔහු විසින් ආරම්භ කළ යොවුන් මධ්‍යස්ථානයකට මුදල් රැස් කිරීම පිණිස 1987 වසරේදී විශ්‍රාමයෙන් මිදී නැවත බොක්සිං වළල්ලට පිවිසියා. 1991 වසරේදී එවාන්ඩ හොලිෆීල්ඩ් (Evander Holyfield) හමුවේ තරග වට 12කින් පසුව පරාජය වීමට පෙර ෆෝමන් තරග 24ක් ජයග්‍රහණය කළා.
1994 වසරේදී නොවැම්බර් මස 5 වැනිදා ෆෝමන් අපරාජිත මයිකල් මූර (Michael Moorer) බිම හෙළමින් වයස අවුරුදු 45දී බොක්සිං ඉතිහාසයේ එදා මෙදා තුර වයස්ගතම හෙවිවේට් ශූරයා බවට පත්වුනා.

ෆෝමන් ඔහුගේ George Foreman Grill නමැති ග්‍රිල් උදුනේ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටි අතර මෙය 1994 වසරේ වෙළඳපොලට පැමිණීමෙන් පසුව මිලියන ගණනින් අලෙවි වී තිබෙනවා.
ෆෝමන් පස් වතාවක් විවාහ වුනා. ඔහුට ජෝර්ජ් යනුවෙන් නම් කළ පුතුන් පස් දෙනෙකු ඇතුළු දරුවන් දුසිමක් සිටිනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






