උතුරු අමෙරිකාවේදී ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගැනීම මගින් 40 හැවිරිදි ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට ඔහුගේ රටේ පාපන්දු කණ්ඩායමේ වැඩි දියුණුවට දැවැන්ත තල්ලුවක් ලබා දිය හැකි බව සමහර පාපන්දු විශාරදයින්ගේ මතය වී තිබෙනවා.
දක්ෂතාව ක්ෂය වෙමින් සිටින මේ පුරාවෘත්ත ක්‍රීඩකයා පෘතුගාල පාපන්දු කණ්ඩායමේ ශක්තිය වැඩි කිරීම සඳහා එයින් ඉවත් වීමට ගැඹුරු ලෙස සිතන්නේ නම් දැන් එයට කාලය පැමිණ තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

“මම ගෝල් ලබා ගන්නේ නැතුව වෙන කෙනෙක් ගෝල් ලබා ගන්නවා නම්, මට කිසිම ප්‍රශ්නයක් නැහැ” යනුවෙන් රොනාල්ඩෝ ‘නේෂන්ස් ලීග්’ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියර තරගයේ ඩෙන්මාර්කය හමුවේ පෘතුගාලයේ ගෝල් 1-0 පරාජයෙන් පසුව කියා සිටියා. “පෘතුගාලය ජය ගත යුතුව තිබෙනවා නම්, මම ක්‍රීඩා නොකළ යුතු නම්, මම වහාම පුහුණුකරුට ඒ බව දන්වා ක්‍රීඩා නොකර ඉන්නවා. මම මගේ රටේ ජාතික වර්ණ මගේ මරණය දක්වා ආරක්ෂා කරනවා” රොනාල්ඩෝ ප්‍රකාශ කළා.
අනෙක් මිනිසුන් මෙන් තමා ට ද තිබෙන අසාර්ථක වීම පිළිබඳව කලාතුරෙකින් පිළිගත් රොනාල්ඩෝ, තමා 2002 වසරේදී ප්‍රථම වතාවට Sporting CP කණ්ඩායම වෙනුවෙන් වෘත්තීය තරගයට සහභාගි වීමෙන් පසුව මේ දක්වා අසාර්ථක තරග අතිවිශාල ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙන බව කියා සිටියේ “සමහර වෙලාවට හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙන්නේ නැහැ” යනුවෙන් සඳහන් කරමින්. ‘බැලන් ඩෝ’ සම්මානය පස් වතාවක් දිනා ගත් මේ ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා හිතුවක්කාර ලෙස තමන්ගේ මතයේ ම එල්බ නොසිට හීලෑ වීම බොහෝ දෙනෙක් තුළ විස්මය ඇතිකළා.
කෙසේ වෙතත්, වචනවලට වඩා ක්‍රියාව මහ හඬක් නංවන බැවින්, තරග බිමේ ප්‍රදර්ශනය වන දේවලින් අඟවන්නේ යථාර්ථය පිළිබඳ රොනාල්ඩෝගේ හැඳින්වීම විකෘතියක් බව. ඇත්තෙන්ම, තමාට වඩා පෘතුගාලයේ සාමුහික අභිලාෂයන් පෙරට දමන බවට රොනාල්ඩෝ පවසන්නේ හදවතට එකඟව නම්, ඔහු තවමත් ක්‍රීඩක තේරීම් සඳහා පුහුණුකරු රොබර්ටෝ මාටිනස් ඉදිරියේ පෙනී නොසිටිය යුතුව තිබෙනවා.

මේ දක්වා වසර තුනක කාලයක් පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමට යහපතක් සිදුව නැති අතර ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රොනාල්ඩෝ. මේ ‘අල්-නසර්’ සමාජයීය සුපිරි ක්‍රීඩකයා සෞදි වෘත්තීය ලීගයේ දිගටම ගෝල් ලබා ගැනීම සඳහා තවමත් ශක්තිමත්ව සිටියත් ලෝක සුපිරි තලයේ පාපන්දු ක්‍රීඩාවේ වේගයත් සමග තවදුරටත් රැඳී සිටීමට ඔහුට නොහැකි බව පැහැදිලියි. ඔහුගේ වයස ගැන සලකන විට එය අරුමයක් නෙවෙයි.
ප්‍රශ්නය වී තිබෙන්නේ මේ සත්‍යය පිළිගැනීම රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කිරීමයි. එදා මෙදා තුර බිහිවූ එක් අතිවිශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස ඔහුට තිබෙන තත්ත්වය කිසිම කෙනෙකුට ඔහුගෙන් උදුරා ගන්න බැහැ. නමුත් පෘතුගාල කණ්ඩායමේ අවශ්‍ය තරමට වඩා දීර්ඝ කාලයක් රැඳී සිටීම මගින් රොනාල්ඩෝ ඔහුගේ ලෙගසියට බරපතල හානි සිදුකර තිබෙනවා. එය තවමත් අලුත්වැඩියා කළ හැක්කේ රොනාල්ඩෝ ආත්මාර්ථකාමී නොවන තීරණයකට එළඹුනා නම් පමණයි. ඔහු ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමේ ඔහුගේ සිහිනය අත්හැරිය යුතුයි.
පසුගිය සතියේ පැවති ඩෙන්මාර්කය ට එරෙහි තරගයේ වැඩි කාලයක් රොනාල්ඩෝ ගත කළේ මගියෙකු ලෙස. එය කොතරම් දුර්වල ක්‍රීඩාවක් ද කිවතොත් ඔහුව දෙවැනි අදියර තරගය සඳහා කැඳවා නොගත යුතුව තිබුනා.
රොබර්ටෝ මාටිනස්
නමුත් රොනාල්ඩෝ කණ්ඩායමට නම් නොකිරීමක් ගැන අඩුම තරමේ සිතුවිල්ලක් හෝ පුහුණුකරු මාටිනස් ට නැහැ. “රොනාල්ඩෝ ගෝල් ලබා ගත්තොත් ඔහු තමයි කණ්ඩායමේ ඉන්න වඩාත්ම වැදගත් ක්‍රීඩකයා. ඔහු ගෝල් ලබා ගන්නේ නැතිකොට, ඒ එයා නාකි නිසා. මේක සාධාරණ තක්සේරුවක් නෙවෙයි” මාටිනස් පවසනවා.
ඉරිදා පැවති තරගයේ ආරම්භක ක්‍රීඩකයන් 11 දෙනා අතර රොනාල්ඩෝ සිටියා. මිනිත්තු තුනකට පසුව, තමාව කණ්ඩායමට ඇතුළත් කිරීම සාධාරණීකරණය කිරීම පිණිස අවස්ථාවක් රොනාල්ඩෝ ට ලැබුනා. පෙනල්ටි අවස්ථාවක් දිනා ගත් රොනාල්ඩෝ තමා ම ඒ පෙනල්ටිය එල්ල කිරීමට තීරණය කළා. එහෙත් ඔහුගේ උත්සාහය වැළැක්වීමට ඩෙන්මාර්ක ගෝල් රකින්නා සමත් වුනා. මෙය රොනාල්ඩෝ ක්‍රීඩා දිවියේ ඔහුගේ පෙනල්ටි උත්සාහයන් 204න් වැරදුනු 32 වැනි පෙනල්ටිය පමණක් වූව ද එය ඔහුගේ නරකතම උත්සාහය වශයෙන් මතකයේ රැඳී තිබෙනු නොඅනුමානයි.
එහෙත් එම නින්දාසහගත මොහොතින් පසුව, රොනාල්ඩෝ ඩෙන්මාර්ක ගෝල් රකින්නා ට අවස්ථා ගණනාවක්ම අභියෝග කරමින් පහර එල්ල කළ අතර පෘතුගාලයේ පළමු ගෝලය වෙනුවෙන් ප්‍රධාන සහාය භූමිකාවක ද යෙදුනා. ඉන්පසු 72 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමට රොනාල්ඩෝ සමත් වුනා. එහෙත් ඔහුගේ ශක්තියේ හීනවීමක් ප්‍රදර්ශනය වූ අතර ආබාධයක් හේතුවෙන් ඔහුව තරගයෙන් ඉවත් කරන ලෙසට රොනාල්ඩෝ මාටිනස්ගෙන් ඉල්ලා සිටියා.

තරගය අතිරේක කාලය දක්වා දීර්ඝ වුනා. අවසානයේ පෘතුගාලය ජය ගත්තා. නමුත් රොනාල්ඩෝ තරගයේ සම්පූර්ණ මිනිත්තු 120 ම තරග බිමේ රැඳී සිටියා නම් පෘතුගාලය ජයග්‍රාහකයන් නොවීමට ඉඩ තිබුනා. ඔහු තරගයෙන් ඉවත් වීමෙන් පසුව පමණයි පෘතුගාලය වෙනත් ගියරයකට මාරු වුනේ. ඒ නව ප්‍රාණවත් වීම ඉදිරියේ ඩෙන්මාර්කය පසුබසින්නට පටන් ගත්තේ පෘතුගාලයේ දක්ෂ ඉදිරි පෙල ක්‍රීඩකයන් නිරතුරුව ඔවුන්ගේ නායකයා දෙස බැලීමේ පීඩනයෙන් නිදහස්ව ක්‍රීඩා කළ බැවින්.
රොනාල්ඩෝ වටා කණ්ඩායම ගොඩනැගීම මාටිනස්ගේ තීරණය වී තිබෙන බැවින් රොනාල්ඩෝ තවමත් ජාතික කණ්ඩායම වසා ගත් දැවැන්ත හෙවණැල්ලක් බවට පත්ව සිටිනවා. මේ හේතුවෙන් මාටිනස් යටතේ එම කණ්ඩායමට තවමත් නියම අනන්‍යතාවක් ලැබී නැහැ.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






