ඉන්දියාවේ 15 හැවිරිදි වයිභාව් සූර්යවන්ශි විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම වේගයෙන් හයේ පහර සියයක් එල්ල කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ සිය නිර්භීත පිතිකරණයෙන් නැවත වතාවක් පුවත්පත් සිරස්තල මවමින්.
ඔහු මේ වික්‍රමය ඉනිම 29කදී සහ පන්දු 514කින් පමණක් සටහන් කිරීම විශේෂත්වයක්. මෙහිදී ඔහු විසින් බිඳ දමනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති බටහිර ඉන්දීය කොදෙව් පිලේ කීරන් පොලාඩ්ගේ පන්දු 843ක වාර්තාව.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩා කරමින් සිටින මේ යොවුන් ප්‍රවේගකාරී වමත් පිතිකරුවා ‘හයේ පහර ශතකය’ වාර්තා කළේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී මොහමඩ් සිරාජ් ට මුහුණ දුන් පළමු පන්දුවටම ‘ලෝන්ග් ඔ්න්’ ස්ථානයට ඉහළින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්. ඒ සමගම සූර්යවන්ශි වයස අවුරුදු 20ක් වීමට පෙර දේශීය හා ජාත්‍යන්තර T20 ක්‍රිකට් ක්‍රීඩාවේ හයේ පහර 100ක් සම්පූර්ණ කළ ලොව පළමු පිතිකරුවා බවට ඉතිහාසගත වුණා.
IPL තරග බිමේ වේගවත්ම ඉන්දියානු ශතකලාභියා බවට දැනටමත් පත්ව සිටින සූර්යවන්ශි, පන්දු 40කට අඩුවෙන් IPL ශතක දෙකක් ලබා ගත් එකම පිතිකරුවා ද වනවා. 2025 තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් ට එරෙහිව පන්දු 35කින් ශතකයක් ලබා ගත් ඔහු 2026 තරගාවලියේදී සන්රයිසර්ස් හයිදරාබාද් පිලට එරෙහිව පන්දු 36කින් ශතකයක් ලබා ගත්තා.
සූර්යවන්ශි ඊයේ තරගය ආරම්භ කළේ හයේ පහර 99ක් ලබා ගෙන සිටිමින්. ක්‍රිකට් ලෝලීන් දැන් අපේක්ෂා කිරීමට පටන් ගෙන තිබෙන පරදි ම ඔහු පළමු පන්දුව ට ම හයේ පහරකින් සංග්‍රහ කළා. අනතුරුව, දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩාගේ පන්දුවලට තවත් හයේ පහර දෙකක් එල්ල කළා.
සචින් ටෙන්ඩුල්කාර් ට පසුව ඉන්දියානු ක්‍රිකට් ක්ෂේත්‍රයට පැමිණි ලොකුම තරුණ සහජ කුසලතාව සූර්යවන්ශි බවට කිසිම සැකයක් නැහැ. ගණන් කළ නොහැකි තරමට වාර්තා බිඳ දමා ඇති ඔහු ඉදිරියේදී තවත් වාර්තා බිඳ දමනු ඇති.

කෙසේ වෙතත්, ඔහුගේ දීප්තිමත් ක්‍රීඩා දිවියේ ඊළඟ පියවර තබමින් ඉන්දියා ජාතික කණ්ඩායමට පිවිසීමේ කාලය දැන් පැමිණ ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. සූර්යවන්ශිව බවුන්සර් පන්දුවලින් දවාලීමට කණ්ඩායම් දරන අඛණ්ඩ උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ පා පෙදෙසෙන් එන බවුන්සර්වලට එරෙහිව ඔහුගේ හැකියාවන් හිරවන බවයි. මේ දුර්වලතාව සකසා ගැනීම දැන් ඔහුගේ පුහුණු කාර්ය මණ්ඩලයට බාරවී තිබෙනවා.
ළමා කම්කරු සේවය
වයිභාව් සූර්යවන්ශි වාර්තා පොත් නැවත නැවත අලුත් කරමින් සිටින්නේ මේ ළාබාල ක්‍රීඩකයාව ළමා බැල මෙහෙවරේ යොදවන බවට නැගී තිබෙන චෝදනා මධ්‍යයේ.
වයස අවුරුදු 15දී IPL ක්‍රීඩා කරවමින් සූර්වන්ශිව ළමා කම්කරු සේවයේ යොදවා ගෙන සිටින බවට රාජස්තාන් රෝයල්ස් ෆ්‍රැන්චයිසියට චෝදනා කර ඇති සමාජ ක්‍රියාකාරිකයෙකු වන සී.එම්. ෂිවකුමාර් නයාක්, ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන බවට තර්ජනය කර තිබෙනවා.
එහෙත් මේ චෝදනාවට ධනාත්මක ප්‍රතිචාර ලැබී නැත්තේ, බොහෝ දෙනා සචින් ටෙන්ඩුල්කාර් වයස අවුරුදු 16දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමට පිවිසීම හා රටේ තිබෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ව්‍යූහය ප්‍රතිතර්ක ලෙස ඉදිරිපත් කර තිබෙන බැවින්. ළමා නළු නිළියන් හා රියැලටි ප්‍රසංගවල තරගකරුවන්ට මේ ආකාරයේ චෝදනාවක් නගන්නේ නැති දෙබිඩි පිළිවෙත ගැන ඔවුන් එම සමාජ ක්‍රියාකාරිකයාව සරදමට ලක් කර තිබෙන්නේ රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් ඇකඩමියක් මිස කර්මාන්ත ශාලාවක් නොවන බව පෙන්වා දෙමින්.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
සබැඳි පුවත් :
වයිභාව් සූර්යවන්ශි: 15 හැවිරිදි ඉන්දීය ක්‍රීඩකයා ළමා බැල මෙහෙවරේ යොදවන බවට චෝදනාවක්







