මාස අටක් ප්‍රමාද වූ ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලැබුණද ඉන්ෆන්ටීනෝට සහාය නොදක්වන බවට ජෝර්දානයෙන් තහවුරු කිරීමක්
ඡන්ද ලබාගැනීමේ පදනම මත මුදල් රඳවාගත් බවට වූ 'කප්පම්' චෝදනාව හමුවේ FIFA සහ ජෝර්දාන පාපන්දු සංගමය අතර උණුසුම් තත්ත්වයක්
2025 අරාබි කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් ජෝර්දානයේ ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩලයට කලක් තිස්සේ ලැබිය යුතුව තිබූ ත්‍යාග මුදල දැන් ලැබී තිබෙනවා. එය කප්පම් මුදලක් ලෙස රඳවා තබාගෙන සිටින බවට ජෝර්දාන පාපන්දු සංගමයේ සභාපති අලි බින් හුසේන් කුමරු විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට චෝදනා කර දින දෙකක් ගතවීමත් සමග සිදුවීම විශේෂත්වයක්.
ලෝක කුසලාන තරගාවලියේ කොටස් පෞද්ගලික අයෝජකයන්ට විකිණීමේ සැලැස්ම හකුළා ගැනීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ විවේචනයට ලක් කළ අලි කුමරු, ජෝර්දානයේ ගැටළු නිරාකරණය කිරීම සඳහා කරන උපකාරය වෙනුවෙන් ඉන්ෆන්ටීනෝ නැවත වරක් සභාපති ලෙස අනුමත කරන ලෙසට FIFA තමාගෙන් ඉල්ලා සිටි බව කියා සිටියා.
ඔහු විසින් නම් කරන ලද එක් ගැටළුවක් වී තිබුණේ කටාර් දේශයේ පැවති අරාබි කුසලාන අවසාන තරගයට පිවිසීම වෙනුවෙන් හිමිවිය යුතු ඩොලර් මිලියන 4.2ක ත්‍යාග මුදල ලබා ගැනීම පිණිස ජෝර්දාන පාපන්දු සංගමයට පසුගිය දෙසැම්බරයේ සිට බලා සිටීමට සිදුවීමයි.
“පසුගිය දෙසැම්බර් මාසයේ කටාර් හි පැවති FIFA Arab Cup අවසාන තරගයට ජෝර්දාන ජාතික කණ්ඩායමේ පිවිසීම වෙනුවෙන් අපේ ක්‍රීඩකයින්ට හා පුහුණු කාර්ය මණ්ඩලයට ලැබිය යුතුව තිබූ ත්‍යාග මුදල හදිසියේම අද උදෑසන ලබා දීම ගැන FIFA පරිපාලනයට ස්තූතියි” යනුවෙන් අලි කුමරු X වේදිකාවෙන් ප්‍රකාශ කළා.
මේ මුදල් ලැබීම සාදරයෙන් පිළිගැනෙන පාපන්දු සංවර්ධනයක් බව පවසන අලි කුමරු, එහෙත් FIFA නායකත්වය කෙරෙහි තම සංගමයේ තිබෙන මතය මෙයින් වෙනස් නොවනු ඇතැයි කියනවා.
“මගේ පාපන්දු සංගමය හා මම සභාපති ඉන්ෆන්ටීනෝව අනුමත කරන්නේ නැහැ. අපි එයට ඡන්දය දෙන්නේත් නැහැ.”
ලෝක කුසලානයේ කොටස් විකිණීමේ අත්හැර දැමුනු යෝජනාව සම්බන්ධයෙන් සිදුකළ වැරදිවලට සාමාජික සංගම්වලින් FIFA සමාව ගත්ත ද, මොරොක්කෝවේදී බදාදා පැවති හදිසි රැස්වීමකින් පසුව එහි නායකත්වය ඉන්ෆන්ටීනෝ ට සහයෝගය ලබා දෙන බවට යළි සහතික වී තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
සබැඳි ලිපියක් :








