leader s

මරණ දඬුවම නියම වූ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ මාධ්‍ය හමුවට එක්වීමත් සමඟ උග්‍ර වූ කෝපය

මනුෂ්‍ය ඝාතන චෝදනා සහ බැංකු ගිණුම් තහනම් කිරීම් හමුවේ බංග්ලාදේශ ක්‍රිකට් පුරාවෘත්තයට අත්වූ කණගාටුදායක ඉරණම

බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන ෂකිබ් අල් හසන්ට සිය මව්බිමේදී අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කිරීමේ හිමිකම ද අහිමි වී තිබේ. හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ මාධ්‍ය හමුවට දුරකථනයෙන් සම්බන්ධ වීමත් සමඟ ඇවිළුණු ජනතා විරෝධය හේතුවෙන්, ඔහුව නැවත රටට භාරගැනීමට පවතින නම්‍යශීලීභාවය බංග්ලාදේශ රජය විසින් සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇත.

බංග්ලාදේශය වෙනුවෙන් නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව දැන් අහිමි කරගෙන සිටින තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් යළි කිසිදිනෙක ඔහුගේ රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ෂකිබ් කෙරෙහි බංග්ලාදේශ රජය මීට කලින් වඩාත් විවෘත ප්‍රවේශයකට පැමිණ සිටියත්, මහා මිනිස් ඝාතනයක වරදකාරියක ලෙස චෝදනා ලැබ රටින් පලාගිය හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකට ෂකිබ් ද දුරකථනයෙන් සහභාගි වීමෙන් පසුව ඔහුට නැවත බංග්ලාදේශය ට පැමිණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරම් අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශයේ ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ විරෝධතාවන් මැඩපැවැත්වීම පිණිස ගනු ලැබූ මාරක පියවරේදී බලයෙන් නෙරපා හැරුනු හසීනා වසර දෙකකට පසුව  ඉන්දියාවේ සිට තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ෂකිබ් ද සහභාගි වීමෙන් බංග්ලාදේශ ජනතාවගේ කෝපය යළි ඇවිස්සී තිබෙන්නේ ෂකිබ්ගේ එම ක්‍රියාව මගින් ඔහු හසීනාගේ මිනීමරු ක්‍රියාවන් හා පාලනය අනුමත කරන බව තහවුරු වී ඇති බැවින්. බංග්ලාදේශය කලින් පාලනය කළ හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි ෂකිබ් අල් හසන්.

මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව කෝපයට පත් ජනතාව මගුරා නුවර ෂකිබ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළ අතර බංග්ලාදේශයේ ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශයක් කරමින්, ෂකිබ් කෙරෙහි කලින් තිබූ ඔහුව ‘බාරගැනීමේ’ රජයේ ආකල්පය දැන් වෙනස් වී ඇතැයි කියා තිබෙනවා.

වර්තමානයේ ඉන්දියාවේ ජීවත් වෙමින් සිටින හිටපු බංග්ලාදේශ අගමැතිනියට, පුද්ගලයින් 1,400කට මරු කැඳවමින් බංග්ලාදේශ විරෝධතාවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා. 2024 මැතිවරණයේදී ෂකිබ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම පිණිස හසීනාගේ අවාමි ලීග් පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුව විවිධ ෆ්‍රැන්චයිස ලීගයන් හි ක්‍රීඩා කිරීම පිණිස මැයි මාසයේ රටින් පිටව ගියා.

තමාට ආරක්ෂාව ලබා දෙන්නේ නම් බංග්ලාදේශය ට පැමිණ තමාට එරෙහිව තිබෙන මනුෂ්‍ය ඝාතන චෝදනාවන්ට අධිකරණයේ මුහුණ දෙන බවට ෂකිබ් ලංකා ප්‍රිමිය ලීගයේ ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව ට පැමිණ සිටියදී ප්‍රකාශ කළා. 2024 වසරේ බංග්ලාදේශයේ පැවති විරෝධතාවේදී ශිෂ්‍යයන් මරා දැමුවේ යැයි චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයින් 147 දෙනා අතර ෂකිබ් ද සිටිනවා. එම වසරේ මැයි මාසයේ සිට ‌නැවත ඔහුගේ රටට මේ හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පා තබා නැහැ.

“මගේ ආරක්ෂාව ගැන සහතික වන බවට රජය පොරොන්දු වෙනවා නම්, ආපසු එහි ගිහින් උසාවියේ නඩුවට මුහුණ දෙන්න මම කැමතියි” ෂකිබ් ශ්‍රී ලංකාවේ සිට දුරකථනයෙන් රොයිටර් වාර්තාකරුවන්ට පවසා තිබෙනවා. “මම කිසිම වැරැද්දක් සිදුකර නැති බව මම දන්නවා. මේක හාස්‍යජනක තත්ත්වයක්.”

හසීනාගේ මාධ්‍ය සාකච්ඡාවට තමාගේ පෙනී සිටීම ෂකිබ් සාධාරණීකරණය කරන්නේ තමා කළේ නියෝග පිළිපැදීම පමණක් බව කියමින්. “නායිකාව කියන්නේ මොනවාද, අපි ඇය අනුගමනය කරනවා” යනුවෙන් ඔහු පවසනවා.

ෂකිබ්ගේ නඩු වේගවත් කිරීමට උපකාර කරන බවට පෙබරවාරියේ කියා සිටි බංග්ලාදේශ ක්‍රීඩා ඇමති අමිනුල් හක් දැන් ඔහුගේ දර්ශනය වෙනස් කර තිබෙනවා.

“අපි මේ ගැන බලමින් සිටියේ ඉතාම නම්‍යශීලී, බොහොම ඉවසනසුලු ආකාරයෙන්” යනුවෙන් හක් නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබෙනවා. “නමුත් අර මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව ඒ ආකාරයෙන් සිතීමට තවදුරටත් ඉඩක් නැහැ.”

“නැවත රටට පැමිණෙන බවට අපේක්ෂාව තැබිය නොහැකි ඒකාධිපතියා (හසීනා) සමග ඔහු එකම වේදිකාවට පිවිසියා. ෂකිබ් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසා අපි ඔහු ගැන ඉවසිලිවන්ත වුණා. දැන් ඒ අවස්ථාව ගිහින් තියෙන්නේ. මින් පසුව එයාට එන්න ඔ්න නම්, එය සිදුවිය යුත්තේ නීති මාර්ගයෙනුයි.”

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙර එක් අවසාන නික්මයාමේ තරගමාලාවක් මව්බිමේදී ක්‍රීඩා කිරීමට තමන්ට අවශ්‍ය බව ෂකිබ් පසුගිය දෙසැම්බරයේ කියා තිබුණා.

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ සිට ඔහු මෙසේ සඳහන් කළා: “මම හොඳින් ඉන්නවා කියලා මට දැනෙනවා, මම තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සතුටු වෙනවා, හොඳින් ක්‍රීඩාත් කරනවා. නමුත් මේ වෙලාවේ වයස තියෙන්නේ මගේ පැත්තේ නෙවෙයි. ඒ නිසා මට ගොඩක් කල් බලා ඉන්න බැහැ.”

හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසුව අමෙරිකාවේ පදිංචි වී සිටින 39 හැවිරිදි ෂකිබ් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන නැහැ. බංග්ලාදේශයේදී අවසාන තරගමාලාවක් ක්‍රීඩා කර ලබන වසරේ පැවැත්වෙන 2027 එක්-දින ලෝක කුසලාන තරගාවලියේදී තම රට නියෝජනය කිරීමට තවමත් අපේක්ෂාවෙන් සිටින බව ඔහු කියනවා.

සාපරාධී චෝදනාවන්ට මුහුණ දෙමින් යළි සියරට පැමිණීමට නොහැකිව සිටින හසීනාගේ පාක්ෂිකයන් බොහෝ දෙනෙකුගෙන් කෙනෙකු වන ෂකිබ්ගේ නැවත පැමිණීම බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ටරික් රහ්මාන්ගේ රජය විසින් හිටපු පාලක පක්ෂයේ පුද්ගලයන් පිළිගනීවි ද යන කාරණය පරීක්ෂාවට ලක් කිරීමක් වනවා. මෙය දැන් විවෘත ප්‍රශ්නයක් වී තිබෙන්නේ හසීනා ද ලබන දෙසැම්බරයේදී යළි බංග්ලාදේශය ට යන බවට ප්‍රකාශ කර ඇති බැවින්.

තමා සහ අනෙකුත් අවාමි ලීග් නායකයින් ස්වේච්ඡාවෙන් ලබන දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශය ට පැමිණීමට අපේක්ෂා කරන බවට හසීනා රොයිටර් වාර්තාකරුවන්ට කියා තිබෙනවා. එහෙත් ෂකිබ් පවසන්නේ ඔහුට ඉක්මනින්ම එහි යා යුතු බවයි. එය අසාර්ථක වුවහොත් පමණක් තමා හසීනා සමග යළි මව්බිමට ඒමට උත්සාහ කරන බව ෂකිබ් සඳහන් කරනවා.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ට අත්ව තිබෙන ඉරණම පිළිබඳව ක්‍රිකට් ලෝකය කම්පා වෙමින් සිටිනවා. දේශපාලනයට පිවිසීම නිසා ඔහු අද ඔහුගේ ම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අතරමංව සිටින්නේ ඔහු කිසිදා නොසිතූ අයුරින්. කලක් ක්‍රිකට් ලෝලී ජනතාව “හුරේ” දැමූ ෂකිබ් ට අද ඔහුගේ රටේ නිවසත් අහිමි වී තිබෙන්නේ ඒ ජනතාවගේ ම දැඩි උදහසට ඔහු ලක්වෙමින්.

ෂකිබ් ට නඩු දෙකක් තිබෙනවා. සිසු විරෝධතාව අතරතුර විරෝධතාකරුවෙක් මරා දැමීම එක් චෝදනාවක්. දූෂිත වීම අනෙක් චෝදනාවයි. ඝාතනය කිරීමේ නඩුව ගොනුකර තිබෙන සිද්ධියට අදාළ 2024 අගෝස්තු මස දිනයේදී තමා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තරගයක ක්‍රීඩා කරමින් බව ෂකිබ් අවධාරණය කරනවා.

“මේක සිනහව ඇතිකරවන නඩුවක්” බව ඔහු කියන්නේ තමා තවමත් විත්තියේ නීතිඥවරයෙකු පත්කර නැතැයි සඳහන් කරමින්.

ෂකිබ්ගේ බැංකු ගිණුම් ද වසර එකහමාරක් තිස්සේ තහනම් කර තිබෙන අතර ඒ බැංකු මොනවා ද කියා හෝ ඒවායේ කොපමණ මුදලක් සිරවී තිබෙනවා ද කියා හෝ ප්‍රකාශ කිරීම ඔහු ප්‍රතික්ෂේප කරනවා.

“පසුගිය වසර 10 කාලය තුළ ඉහළම බදු ගෙවන ක්‍රීඩකයා ලෙස සිටිමින් සියලුම බදු මුදල් ගෙවා තිබියදීත් මගේ ගිණුම පරීක්ෂණ සඳහා වසර එකහමාරක් තිස්සේ තහනම් කර තිබෙනවා” යැයි ෂකිබ් පවසනවා. “ඔබට අවශ්‍ය සියලු විස්තර මම දෙන්නම්. නමුත් ඔබ වැරදි කිසිවක් හොයාගත්තේ නැත්නම්, ඒ ගිණුම් නිදහස් කරන්න” යනුවෙන් ඔහු ඉල්ලා සිටිනවා.

රටින් පිටවීම වළක්වමින් බංග්ලාදේශයේ රඳවාගෙන සිටින තම මව්පියන්ව වසර දෙකකින් දැක ගැනීමට තමාට නොහැකි වී ඇතැයි ද ෂකිබ් ප්‍රකාශ කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්