*මදෙයිරා දූපතේ 15 වැනි සියවසේ ෆුන්චාල් දේවස්ථානය වටකළ සෙනඟ නිසා මනාල යුවලට සහ ආරාධිතයන්ට දැඩි අසහනයක්
*රොනාල්ඩෝගේ සොහොයුරියගේ සමාජ මාධ්‍ය වීඩියෝවෙන් ලැව්ගින්නක් සේ පැතිර ගිය මංගල කතාවට රොනාල්ඩෝ සිනහවෙන් දුන් පිළිතුර
ලෝක පූජිත පාපන්දු තරුවක් වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය වන ජෝජීනා රොඩ්රීගෙස් යැයි වරදවා වටහා ගත් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් වෙනත් මනාලයෙක් හා මනාලියක වටකර ගැනීම හේතුවෙන් මෙඩීරා නමැති පෘතුගීසි දූපතේ මහා ව්‍යාකූල තත්ත්වයක් හටගත්තා.
දෙදහසක පමණ සෙනඟක් සෙනසුරාදා ෆුන්චාල් දේවස්ථානය වටා රැස්ව සිටියේ රොනාල්ඩෝ හා ජෝජීනා එදින එම ස්ථානයේ විවාහ වන බවට අනුමාන කරමින්.

පාපන්දු ලෝලීන් දහස් ගණනක් අනපේක්ෂිත අයුරින් මේ 15 වැනි ශතවර්ෂයේ දේවස්ථානයට පැමිණ සිටි බැවින් Fabio Ramos හා Fatima Nicole Cunha Teixeira යන මනාල යුවලගේ පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන්ට පල්ලියට ඇතුළු වීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවුණා.
මේ යුවල මෙඩීරා දූපතේ වැසියන් වූවත් ජීවත් වන්නේ ප්‍රංශයේ. කෙසේ වෙතත් එයින්, රොනාල්ඩෝ හා ජෝජීනා ව්‍යාජ නම්වලින් දේවස්ථානය කලින් වෙන් කරගෙන ඇති බවට ක්‍රීඩා ලෝලීන් තුළ තිබූ විශ්වාසය නැතිව ගියේ නැහැ.
පෘතුගාල සංකේතාත්මක පාපන්දු ලෙජන්ඩ්ගේ අංක 7 සඳහන් කමිස ඇඳ සිටි බොහෝ පාපන්දු ලෝලීන් ද ඇතුළු සෙනඟ පසුකර යාමට මනාලියට ලොකු සටනක් කිරීමට සිදුවුණා.
“මේක නම් මහ පිස්සුවක්. මනමාලයා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බවට හැමෝම හිතන්නේ ඇයි? මනමාලි හොඳටම සසල වෙලා. මේ කලබලය නිසා ඇගේ විවාහ දිනය විනාශ වෙයි කියලා එයා කනස්සල්ලට පත්වෙලයි ඉන්නේ” යනුවෙන් විවාහ උත්සවයට පැමිණ සිටි එක් ආරාධිතයෙක් පැවසුවා.
මේ ව්‍යාකූලත්වයට රොනාල්ඩෝ ප්‍රතිචාර දැක්වූයේ සිනාසෙන ඩිජිටල් සංකේත (emojis) ජනප්‍රිය වූ සමාජ මාධ්‍ය පෝස්ටුවක බෙදා හරිමින්.

රොනාල්ඩෝගේ සොයුරිය වන Katia Aveiro, තමා “පාටියකට” සහභාගි වීම සඳහා මෙඩීරා දූපතට පැමිණි බව කියන වීඩියෝ පටයක් පෙර දින රාත්‍රියේ පෝස්ට් කරමින් රොනාල්ඩෝ-ජෝජීනා යුවලගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන බවට පැතිර තිබූ දූෂමාන ආරංචිය අවුළවා තිබුණා. ඇය හෝටල කාමරයක් ලෙස පෙනෙන ස්ථානයකදී ඔවුන්ගේ මව වන 71 හැවිරිදි Maria Dolores පිළිගන්නා අයුරු ඇගේ ඉන්ස්ටග්‍රෑම් කතාවලින් දැක්වුණා.
මේ අතර, සැවෝයි පැලස් නමැති තරු පහේ හෝටලයේ කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ රොනාල්ඩෝ එහි තිබෙන The Reserve නමින් හැඳින්වෙන සුවිශේෂ කොටසේ ඉහළ ම තට්ටු දෙක වෙන් කර ගෙන ඇති බවට හෝටලයේ කළමනාකාරිත්වය තමන්ට දැන්වූ බවයි.
ෆුන්චාල් දේවස්ථානය
එදිනට වෙන්කර ගත් වෙනත් විවාහයන් නැති බවට ෆුන්චාල් දේවස්ථානයට අයත් මීසමේ පූජක Marcos Goncalves තහවුරු කළා.
“අද තියෙන එකම විවාහය මෙයයි. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සම්බන්ධයෙන් කලින් වෙන් කර ගැනීමක් මට නැහැ” යනුවෙන් එම පූජකවරයා කියා සිටියා.
රොනාල්ඩෝ සහ ජෝජීනා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මුදු මාරු කර ගත්තේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසුව විවාහ වන බවට ප්‍රතිඥා දෙමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








