ලෝක කුසලාන කොටස් විකිණීමේ අර්බුදය හමුවේ ලාභ ලබන U-15 සැණකෙළියකට සැලසුම් කළ හැටි
සමාරම්භක තරගය ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවත්වන්න හැදූ FIFA ප්‍රධානියාගේ තවත් රහසක් හෙළිවේ
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) රටවල් 211 ම සහභාගි වන වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන තරගාවලියක් එළි දැක්වීමට එම සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ උත්සාහ කළ බවට වාර්තා වනවා. අමෙරිකාවේ මධ්‍යම ෆ්ලොරිඩාවේ ප්‍රධානතම නගරයක් වන ඔ්ලැන්ඩෝ හි පිහිටි ඩිස්නිලන්තය ළඟින්ම මේ යොවුන් ‘පාපන්දු සැණකෙළිය’ පැවැත්වීමට ඔහු රහසේ සැලසුම් කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දුවේ කොටස් විකිණීමට උත්සාහ කිරීමෙන් පසුව FIFA සභාපති තනතුරෙන් ඉවත් වන ලෙසට කෙරෙන දැඩි බලපෑම්වලට මුහුණ දී සිටින ඉන්ෆන්ටීනෝ එම අවුරුදු 15න් පහළ තරගාවලිය ලාභ ලබා ගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට අපේක්ෂා කර තිබූ බව පැවසෙනවා. මේ ඉසව්ව පැවැත්වීමට අදහස් කර තිබුණේ ඔ්ලැන්ඩෝ ඩිස්නිලන්තය සමීපයේ ඇති අක්කර 230ක ESPN ක්‍රීඩා සංකීර්ණයේ (ESPN Wide World of Sports Complex) බවට වාර්තා වනවා.
ඩිස්නි ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගත් වාණිජ සැලැස්ම

එහෙත් ඒ සැලසුම් මේ වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භය හමුවේ හකුළා ගැනීමට සිදුවූ බව සඳහන් වනවා.
එම තරගාවලිය සඳහා වූ යෝජනාවන් සකස් කර තිබුණේ හිටපු මෙක්සිකෝ පාපන්දු ප්‍රධානී Juan Carlos Rodriguez වැනි ව්‍යාපාරිකයින් බව ද එම වාර්තාවේ දැක්වෙනවා. මේ සම්බන්ධයෙන් සංවිධායකයින් ESPN ආයතනය සමග සාකච්ජා කර තිබෙනවා.
එම තරගාවලියේ සමාරම්භක හා සමාප්ති උත්සව ඩිස්නි උද්‍යානයේ (Disney theme park) පැවැත්වීමත් එම යෝජනාවලට ඇතුළත්ව තිබුණු බවට හෙළි වී තිබෙනවා.
ඊශ්‍රායල් - පලස්තීන ගැටුම මැද ආන්දෝලනාත්මක සමාරම්භක තරගය
මේ සැලසුම්වලට ඉන්ෆන්ටීනෝ ද සහභාගි වූ බව කියන එම වාර්තාව, තරගාවලියේ සමාරම්භක තරගය ඊශ්‍රායලය හා පලස්තීනය අතර පැවැත්වීමට ඔහුට අවශ්‍යව තිබූ බව ද සඳහන් කරනවා.
ඔහුගේ මේ පියවර පිළිබඳව අනාවරණය වන්නේ මේ රටවල් දෙකේ යුද්ධය මධ්‍යයේ එහි පාපන්දු නායකයින් දෙදෙනාව එකිනෙකාට අතට අත දීම සඳහා පෙළඹවීමට ඉන්ෆන්ටීනෝ අප්‍රේල් මාසයේ පැවති FIFA කොංග්‍රසයේදී දැරූ අසාර්ථක උත්සාහයෙන් පසුවයි.
නව අවුරුදු 15න් පහළ තරගාවලිය කෙටි තරග හා කුඩා පිටිවල පැවැත්වීමේ අදහසක් ගැන ඉන්ෆන්ටීනෝ මුලින් සාකච්ඡා කළ ද, එය වාණිජකරණය කිරීම පිළිබඳව කිසිම අවස්ථාවක කතා කර නැහැ.
“තරුණ තරගාවලියන් හා සංවර්ධනය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අපි ඉතාමත් ක්‍රියාකාරීව සිටින නිසා මෙය ස්වභාවයෙන්ම ඊළඟ පියවරයි. එය ප්‍රීතිමත් අවස්ථාවක් වේවි” යනුවෙන් FIFA ප්‍රධානියා ඒ දිනවල ප්‍රකාශ කර තිබූ බව ද වාර්තා වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








