සොනාල් දිනූෂ (85*) සහ පසිඳු සූර්යබණ්ඩාර (80) අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරයි;
ෆලෝ-ඔන් බේරා ගැනීමට තවත් ලකුණු 39ක් අවශ්‍යයි.
ඉන්දීය දැවැන්ත ලකුණු පුවරුව හමුවේ මැද සහ පසු පෙළ පිතිකරුවෝ සටනක; තෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 238ක් පිටුපසින්.
ඉන්දියානු පන්දු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගෙන් ප්‍රදර්ශනය වූ සටන්කාමී ක්‍රීඩාව මධ්‍යයේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද තෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කරගෙන සිටියා. මේ අනුව, ඉන්දියාව වාර්තා කළ 503/9 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව තරගයේ ලකුණු 238ක් පිටුපසින් සිටිනවා.
පිට පිට දෙවැනි වතාවට පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට නම් ශ්‍රී ලංකාව ට තවත් ලකුණු 39ක් අවශ්‍යව තිබෙනවා.
මුළු ලකුණු 173දී හත් වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව සොනාල් දිනූෂ ප්‍රමුඛ කේෂර නුවන්ත හා ලහිරු කුමාර යන පසු පෙළ පිතිකරුවෝ ටෙස්ට් ක්‍රීඩාවට උචිත සංයමය හා ඉවසීම මනාව ප්‍රදර්ශනය කරමින් අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අවසන් නොවීමට වග බලා ගත්තා.
අති විශිෂ්ට පිතිකරණයක නියැලුනු අංක 7 පිතිකරු සොනාල් දිනූෂ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 137කින් නොදැවී ලකුණු 85ක් රැස් කළා. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඔහු පිට පිට ලකුණු 50 ට වැඩියෙන් ලබා ගත් තෙවැනි අවස්ථාව වීමයි. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී සොනාල් ලකුණු 100ක් හා 84ක් ලබා ගත් අතර ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා දිවියේ මෙතරම් ඉක්මනින් මෙසේ දස්කම් දැක්වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.
දිනූෂ හා අංක 10 පිතිකරු ලහිරු කුමාර මිනිත්තු 65ක් තිස්සේ පන්දු 92කට මුහුණ දෙමින් නව වැනි කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ඒ වෙනුවෙන් ලකුණු 35ක් එක් කරමින්. මෙහිදී කුමාර (8) පන්දු 50කට මුහුණ දුන් අතර මෙය ඔහු ඔහුගේ ක්‍රීඩා දිවියේ ටෙස්ට් ඉනිමක මෙතෙක් මුහුණ දී තිබෙන වැඩිම පන්දු ප්‍රමාණය වීම විශේෂත්වයක්.
ඊට පෙර පසිඳු සූර්යබණ්ඩාර ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා.
පසිඳු - කමිඳු සබඳතාව බිඳ වැටෙයි
ශ්‍රී ලංකාව ට තෙවැනි කඩුල්ල අහිමි වෙමින් කමිල් මිෂාර අද තරගයේ හත් වැනි ඕවරයේදී දැවී ගිය ද, පසිඳු සූර්යබණ්ඩාර හා කමිඳු මෙන්ඩිස් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව සියය ඉක්මවා ගෙන ගියා.
ලකුණු 19ක් රැස් කරගෙන සිටි මිෂාර මුළු ලකුණු 35දී ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවට කඩුල්ල පිටුපස ධුරව් ජුරල් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. ජුරල් අද කඩුලු රැක්කේ පෙර දින ක්‍රීඩාවේ අතේ ආබාධයට ලක්වූ රිෂාබ් පාන්ට් වෙනුවට. පන්දු 25කට මුහුණ දුන් මිෂාර දැවී යාමට පෙර හතරේ පහර තුනක් එල්ල කර තිබුණා.
මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ 30 වැනි ඕවරයේදී ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවට ‘මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි රවින්ද්‍ර ජඩේජා අතට පහසු උඩ පන්දුවක් දීමත් සමග ඔහු සහ සූර්යබණ්ඩාර ගොඩනගමින් සිටි සබඳතාව අවසන් වුණා. මේ දෙදෙන සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 126කින් ලකුණු 87ක් එක් කළා. පන්දු 58කට මුහුණ දුන් මෙන්ඩිස් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 32ක් රැස් කළා. එම කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 122දී.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 130ක් වාර්තා කර තිබුණා.
දිවා ආහාරයෙන් පසුව යැවුණු තෙවැනි ඕවරයේදී නායක ධනංජය ද සිල්වා (8), මානව් සුතර්ගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ස්ලිප්’ ක්‍රීඩක කේ.එල්. රාහුල් රැක ගැනීමෙන් දැවී ගියා. ඒ අනුව ශ්‍රී ලංකා 5 වැනි කඩුල්ල මුළු ලකුණු 137දී බිඳ වැටුණා.
ධනංජය දැවී යාමෙන් පසුව සොනාල් දිනූෂ කඩුල්ලට පැමිණ සූර්යබණ්ඩාර සමග එක්වෙමින් මුළු ලකුණු ප්‍රමාණය 171 දක්වා ගෙන එමින් තිබියදී සූර්යබණ්ඩාර අවාසනාවන්ත අයුරින් දැවී ගියා. 45 වැනි ඕවරයේ ජඩේජාගේ අවසාන පන්දුව සූර්යබණ්ඩාරගේ පිත්තේ අග වැදී ඉන්පසුව පසු පාදයේ කලවය සිපගෙන කඩුල්ල සමග ගැටුණා. සිය මංගල ටෙස්ට් ක්‍රිකට් අර්ධ ශතකය වාර්තා කර තිබූ පසිඳු සූර්යබණ්ඩාර පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමග ලකුණු 80ක් රැස් කළා.
ඊළඟ තෙවැනි පන්දුවෙන් නිරෝෂන් දික්වැල්ල බින්දුවට දැවී යන විට ලකුණු පුවරුවට එක්ව තිබුණේ තවත් ලකුණු දෙකක් පමණයි. මොහමඩ් සිරාජ්ගේ පන්දුවට දික්වැල්ලගේ පිත්තෙන් ගිලිහුනු පන්දුව කඩුලු රකින ජුරල් අල්ලා ගත්තා.
සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 216ක් රැස් කරගෙන සිටියා.
ඕවර 80යි පන්දු දෙකකින් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 262/8ක් ලෙස සටහන්ව තිබියදී ඉන්දියාව දෙවැනි නව පන්දුව ලබා ගත්තා. ඒ වන විට පන්දු යවමින් සිටියේ ජයින්. නව පන්දුව ලබා ගෙන ඔහු යැවූ තෙවැනි පන්දුවට ලහිරු කුමාර කඩුල්ල මුවා කළ බවට විනිසුරු තීරණය කළ ද කුමාර එය තෙවැනි විනිසුරුගේ නිරීක්ෂණයට යොමු කරන ලෙසට ඉල්ලා සිටියා. තෙවැනි විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළා.
වැසි පතිත වෙමින් අද තෙවැනි දින තරගය පස්වරු 5.02 ට නතර වුණා. ඒ වන විට ශ්‍රී ලංකාව ඕවර 83.4කදී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් සටහන් කර තිබුණා.
ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 47 ට කඩුලු 3ක් ද, මානව් සුතර් ලකුණු 83 ට කඩුලු 3ක් ද ලබා ගත්තා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








