දැඩි ආරක්ෂක විධිවිධාන මැද මෙවර තරග බිමට ඉසව් 20ක්; රණවිරු සුබසාධනය වෙනුවෙන් ප්‍රවේශපත්‍ර නිකුතුව ඇරඹේ.
SLADA සංවිධානය කරන එකම බොරළු ධාවන සටනට සුපිරි මෝටර් රථ හා යතුරුපැදිකරුවන් සූදානම්.
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය හා කීර්තිමත් මෝටර් රථ හා මෝටර් බයිසිකල් ධාවන තරගාවලියක් වන ගනර් සුපර්ක්‍රොස් (GUNNER SUPERCROSS) සැප්තැම්බර් 27 වැනි දින මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු බොරළු ධාවන පථයේදී පැවැත්වෙනවා.
16 වැනි වතාවටත් පැවැත්වෙන මේ තරගාවලියට අදාළ කාලගණනය හා පුහුණු ධාවන කටයුතු සැප්තැම්බර් 26 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ඔටෝස්පෝට්ස් රියදුරු සංගමය (SLADA – Sri Lanka Autosports Drivers Association) මේ තරගාවලිය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සමග එක්වෙමින්.
ගනර් සුපර්ක්‍රොස් තරගාවලිය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික මෝටර් රථ ක්‍රීඩා කැලැන්ඩරයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන සිටිනවා. මෙරට ප්‍රධාන පෙළේ මෝටර් රථ ධාවකයින් හා මෝටර් ක්‍රොස් යතුරුපැදි ධාවකයින් රැසක් ඉහළ තරගකාරිත්වයකින් හා වෘත්තීය මට්ටමෙන් යුත් මේ තරගාවලියට සහභාගි වනවා.


2026 වසර සඳහා SLADA විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ශූරතා තරග කැලැන්ඩරයට අනුව තරගාවලියන් හතරක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුන ද, රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ වසරේ තරගාවලි දෙකක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ගනර් සුපර්ක්‍රොස් හා රොදර්හැම් කටුකුරුන්ද යන බොරළු හා තාර ධාවන තරගාවලියන් දෙක පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ගනර් සුපර්ක්‍රොස් යනු ක්‍රීඩා තරගාවලියක් පමණක් ම නොව රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය හා ප්‍රජාමූලික සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබා දීමේ වේදිකාවක් ද වන බව තරගාවලිය පිළිබඳව ඊයේ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.
ඉසව් විස්සකින් සමන්විත මේ තරගාවලිය සඳහා මෝටර් රථ තරගකරුවන් 90කට ආසන්න සංඛ්‍යාවක් සහ මෝටර් බයිසිකල් තරගකරුවන් 110කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා.

මින්නේරිය ධාවන පථය හා ආරක්ෂාව
මින්නේරිය කාලතුවක්කු රෙජිමේන්තු බොරළු ධාවන පථය අභියෝගාත්මක වංගු, කඳු නැගීම්, බෑවුම්, වේගවත් කොටස් හා තාක්ෂණික ධාවන අංගයන්ගෙන් සමන්විත සුවිශේෂී ධාවන පථයක් වනවා.
පසුගිය තරගාවලියන් හි ලැබූ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් මෙවර තරගාවලියේ ආරක්ෂාව මෙන්ම ආරක්ෂක වැඩපිළිවෙල ද තවදුරටත් ශක්තිමත් කිරීමට SLADA පියවර ගෙන තිබෙනවා.

ප්‍රවේශපත්‍ර මිල ගණන්
තරගාවලිය සඳහා ප්‍රවේශපත් ප්‍රධාන පිවිසුමේ පිහිටි කවුළුවලින් සැප්තැම්බර් 25 හා 26 දිනවල පෙරවරු 7.00 සිට ද, සැප්තැම්බර් 27 වැනිදා පෙරවරු 5.00 සිට ද ලබා ගත හැකි බව සංවිධායකයින් දන්වා සිටිනවා.
Grand Stand - රුපියල් 5,000
High Elevated Stand - රුපියල් 2,000
Red Stand - රුපියල් 1,000
Public Area - රුපියල් 300
VIP Box - පුද්ගලයින් 10 දෙනෙකු සඳහා රුපියල් 50,000
අනුග්‍රාහකයින්
ප්‍රධාන අනුග්‍රාහකයින්:
Gold – Asian Paints Causeway
Silver – McLarens Lubricants (Pvt) Ltd -Mobil
Battle Lanka (Pvt) Ltd.
විශේෂ අනුග්‍රාහකයින්:
Abans Auto Hero
TVS Lanka (Pvt) Ltd.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු








