leader s

ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.


ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් සහ  නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ රවුෆ් හකීම්, නිමල් පලිහේන ගේ සහභාගීත්වයෙන් 2026.02.10 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත ඉවත් කිරීම සහ ඒ හාය සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම අරමුණු කොටගෙන මෙම ක්ෂුද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සකස් කර ඇත.

2024 වසරේ ඉදිරිපත් කරන ලද මෙහි මුලික කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දුන් ව්‍යවස්ථානුකූල නොගැලපීම් මෙම නව පනත් කෙටුම්පත මගින් විසඳා ඇති බවට පෙනී යන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසීය. සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන සකස් කර ඇති මෙම ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කාරක සභාවේ ප්‍රසාදය හිමිවිය .

නව  පනත් කෙටුම්පත මගින් පිහිටවනු ලබන අධිකාරියක් මගින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ යෙදී සිටින තැනැත්තන් සඳහා බලපත්‍ර දීම සහ ඔවුන් නියාමනය කිරීම සිදු කරනු ලබන අතර මෙම අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි. අධිකාරිය විසින් ප්‍රදානය කරන බලපත්‍රයක් ඇතිව මිස, යම් තැනැත්තකු විසින් මුදල් ණයට දීමේ ව්‍යාපාර සිදු නොකළ යුතු බව දක්වා ඇති බව පනත් කෙටුම්පත පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු මෙහිදී පැවසුහ.

මාර්ගගත ආකාරයට ණය මුදල් ලබාදීමේ ක්‍රියාවලිය මෙම අධිකාරිය යටතේ නියාමනයට ලක්වන්නේද යන්න කාරක සභාව නිලධාරීන්ගෙන් වීමසීය. ඒ අනුව මාර්ගගත ආකාරයට ද ණය මුදල් ලබාදීම සිදු කළ හැක්කේ බලපත්‍ර සහිතවුන්ට පමණක් බව නිලධාරීහු පැවසූහ. එමෙන්ම ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රධාන වශයෙන් සිදු කර ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.

ප්‍රජා මූලික මූල්‍ය ආයතන සඳහා ලිහිල් නියාමන ගාස්තු හෝ සරල අනුකූලතා අවශ්‍යතා හඳුන්වා දීමෙන් ඔවුන්ගේ සමාජ සවිබල ගැන්වීමේ භූමිකාව මෙම පනත් කෙටුම්පත තුළ ආවරණය වීම පිළිබඳව මෙන්ම ප්‍රායෝගික මෙහෙයුම් ගැටලු සහ පාරිභෝගික ආරක්ෂාව යනාදී තවදුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

ඊ - වාණිජ්‍ය ව්‍යාපාරිකයින් (e-Commerce Operators) වැනි ඇතැම් ණය දෙන්නන් මෙම පනත යටතට ඇතුළත් නොවන බව නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.

නීති සම්පාදනය සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය සහ අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන මහජන සහ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට නිර්දේශ ලබා දෙන ලදී. මෙහිදී පළමු පියවර ලෙස නිතර අසනු ලබන ප්‍රශ්න (FAQ) ඇතුළත් ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බව ද කාරක සභාව දැනුම් දෙන ලදී.

ණය සහ තැන්පතු යන දේඅංශයේ ම උපරිම පොලී අනුපාත නියම කිරීමට අධිකාරියට ව්‍යවස්ථාපිත බලතල හිමිවන බැවින්, ක්ෂුද්‍රමුල්‍ය ආයතන විසින් ඉතිරි කිරීමේ හා ණය දීමේ කටයුතු සඳහා භාවිතා කරන විවිධ මුල්‍ය මෙවලම් වල ස්වභාවය රැකෙන පරිදි බලතල ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට ප්‍රකාශ කරන ලදී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට බලතල පැවරීම පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහි දී කුඩා ණය දෙන ආයතන අධිකාරිය සමග කටයුතු කිරීමේදී කොළඹට පැමිණීමට අවශ්‍ය නොවන බවත්, ඒ හා බැඳුණු කටයුතු (අයදුම්පත් හැසිරවීම, අනෙකුත් දෛනික කාර්යයන්) සඳහා සීමිත බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‌යාල මට්ටමට පැවරීමට කටයුතු සලසා ඇති බව නිලධාරීහු පැවසූහ. මෙම ක්‍රියාවලිය ඵලදායීව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් තොරතුරු තාක්ෂණ පද්ධතියක් ලබා දීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරන ලදී.

එසේ ප්‍රසාදය හිමිවු නව පනත් කෙටුම්පත සැකසීම සදහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීම හා සංශෝධන සඳහා යෝජනාවලිය සැකසීම මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළඅතර එහි සභාපති ලෙස රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු  අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න හා සෙසු සමාජිකයින් ලෙස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂිකා ලක්මිණි ගුණවර්ධන, මුදල් අමාත්‍යංශයයේ නීති නිලධාරීණී සුජීවා විජයලත්, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නීති අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රියදර්ශනී, බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන අංශයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක තරංග විජයකෝන්, ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන සංගමය නියෝජනය කරමින් අනුර අතපත්තු, සිවිල් සංවිධාන නියෝජනය කරමින් රේණුකා භද්‍රකාන්ති, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ සංගමය නියෝජනය කරමින් සුනෙත් අරුණ කුමාර හා ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය නියෝජනය කරමින් ආචාර්ය අමාලි වෙදගෙදර ඇතුළු නම දෙනෙකු දායකත්වය ලබා දී තිබිණි.

සබැඳි පුවත් :

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනතට නැවත පණ එන ලකුණු

ණය නියාමන පනත නැවත සකසන්න NGO ලොක්කාට පවරයි

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්