* තානාපතිවරුන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයෙන් පසු විදෙස් ආයෝජන කැඳවීමට සූදානම් වේ
* ඇඟලුම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය ආනයනය සීමා කරමින් දේශීය සැපයුම් දාමය ශක්තිමත් කෙරේ
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිත දේශීය නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සහ කලාපීය ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් නැගෙනහිර පළාතේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම තෙදින වැඩසටහනේ ප්‍රධාන නැවතුම්පොළක් වූයේ මඩකලපුව, පුන්නෙයිකුඩා - එරාවූර්පත්තු පිහිටි අක්කර 255 කින් සමන්විත රෙදිපිළි නිෂ්පාදන කලාපයයි.
කොළඹින් බැහැරව ප්‍රාදේශීය මට්ටමින් ආයෝජන අවස්ථා ව්‍යාප්ත කිරීම, රැකියා බිහිකිරීම සහ පරිසර හිතකාමී නවීන කර්මාන්ත සංස්කෘතියක් ගොඩනැගීම ඉලක්ක කරගනිමින් මෙම සංචාරය සැලසුම් කර තිබිණි.
රෙදිපිළි ආනයනයට වැයවන පිරිවැය රට තුළ රඳවා ගැනීමේ පියවරක්
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදිපිළි හා අමුද්‍රව්‍යවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් විදෙස් රටවලින් ආනයනය කිරීමට සිදුව ඇත. එරාවූර්පත්තු රෙදිපිළි කලාපය ස්ථාපනය කිරීමේ ප්‍රධාන මූලෝපායික ඉලක්කය වන්නේ, ඇඟලුම් නිමි භාණ්ඩ සඳහා අවශ්‍ය රෙදිපිළි මෙරට තුළම නිෂ්පාදනය කරමින් සැපයුම් දාමය සවිමත් කිරීමයි.
මේ තුළින් නිමි ඇඳුම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වැයවන කාලය හා පිරිවැය අවම වන අතරම, අවම කාබන් විමෝචනයක් සහිත තිරසාර නිෂ්පාදන සොයන ජාත්‍යන්තර ගැනුම්කරුවන් මෙරටට ආකර්ෂණය කරගැනීමට අවකාශ සැලසේ.
දැඩි පාරිසරික ප්‍රමිතීන් සහ දිනකට ටොන් 100ක ධාරිතාවක්
මෙම සංචාරය අතරතුර රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෝ එම කලාපයේ දැනටමත් මෙහෙයුම් අරඹා ඇති ප්‍රමුඛ පෙළේ සමාගමක් වන 'ජේ ජේ මිල්ස්' (Jay Jay Mills) කර්මාන්තශාලා පරිශ්‍රයේ තාක්ෂණික මෙහෙයුම් නිරීක්ෂණය කළහ.
වසර 20කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපක් කුමාර් පෙන්වා දුන්නේ, එරාවූර්පත්තු කලාපය හරහා දිනකට රෙදිපිළි ටොන් 100ක් දක්වා නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරමින් ආසියාවේ විශාලතම නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්වීම තම ඉලක්කය බවයි. විශේෂිත ජල පවිත්‍රාගාර, ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු බොයිලේරු සහ ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර භාවිතය හේතුවෙන් කර්මාන්තශාලා අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම දැඩි පාලනයකට නතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන්ගෙන් සුබවාදී ප්‍රතිචාර
මෙම නිරීක්ෂණ චාරිකාව පිළිබඳව අදහස් දැක්වූ කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජිත නිලධාරී ඔලිවියර් ෆ්‍රාස් (Olivier Praz) සඳහන් කළේ, ගෝලීය මට්ටමේ සමාගම් කොළඹින් බැහැරව මෙවැනි දැවැන්ත කර්මාන්ත සඳහා ප්‍රාග්ධනය යෙදවීම ඉදිරියේදී පැමිණෙන විදෙස් ආයෝජකයින්ට යහපත් ආදර්ශයක් සපයන බවයි.
පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය නයාර් නසීර් (Dr. Nayyar Naseer) ප්‍රකාශ කළේ, මෙවැනි ක්ෂේත්‍ර චාරිකා මඟින් ශ්‍රී ලංකාවේ පවතින නියම ආයෝජන වාතාවරණය තම මව් රටවල ව්‍යාපාරික ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීමට මනා පිටිවහලක් ලැබෙන බවයි.
එමෙන්ම වියට්නාම තානාපතිනී ට්‍රින් ති ටෑම් (Trinh Thai Tam) අවධාරණය කළේ, රෙදිපිළි වර්ණ ගැන්වීම සහ මුද්‍රණය වැනි උසස් සැකසුම් ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන සහන පිළිබඳව වියට්නාම ආයෝජකයින් දිරිමත් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙවැනි කාර්මික කලාප මඟින් ප්‍රදේශයේ තරුණ ප්‍රජාවට ඉහළ වැටුප් සහිත තාක්ෂණික රැකියා අවස්ථා උදාවන අතර, කලාපීය සංවර්ධනය රටේ ජාතික ආර්ථික වර්ධනය හා සෘජුව බද්ධ කිරීමටද අවස්ථාව සැලසේ.
සබැඳි පුවතක් :
එරාවුර් රෙදිපිළි උද්‍යානයෙන් ගෝලීය වෙළඳපොළ හොල්ලන හරිත සහතිකයක්







