පසුගිය මාසයක කාලය තුළ රජයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන විට මැතිවරණ කොමිසම මාර්තු 9 වන දාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරත් එය පිළිබඳ විශ්වාසයක් දේශපාලන පක්ෂ වලට, නිරීක්ෂණ සංවිධාන වලට සහ අපේක්ෂකයන්ට නොමැත.
රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්නගේ නීති විරෝධී ලිපිය දක්වා රජයේ මැතිවරණ කල් දැමීමේ අභිලාෂය පරාජය වුවද ඉදිරියේදී ඔවුනට තවත් අවස්ථා ගණනාවක් තිබේ.
මැතිවරණ සීමා වියදම් පනත අනුව උපමාන සකස් කොට ගැසට් කිරීමේ වගකීම මැතිවරණ කොමිසමට පැවතුනත් පාර්ලිමේන්තුවේ පනත සම්මත වූ දවසේ සිදු වූ සංශෝධන නැවතත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ගොස් කථානායකවරයාගේ අත්සන ලැබීම ප්‍රමාද වුවහොත් නැවතත් පුරවැසියෙකුට අධිකරණයට හමුවට ගොස් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව ඇත.
අවසාන මැතිවරණ කොමිසමේ රැස්වීමට සාමාජිකයන් තිදෙනකු සහභාගි වී නොමැත. දෙදෙනෙකුට මරණ තර්ජන සිදු කොට ඇතැයි පොලිස් විමර්ශන පැවැත්වේ. යම් හෙයකින් සාමාජිකයන් කිහිපදෙනෙකු ඉල්ලා අස් වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනු ඇත.
මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද අරමුදල් සම්පාදනය කර ගැනීමට ඇති ගැටළුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබාදී ඇත. ජනතාව මේ සියලුම ක්‍රියාදාමය දෙස බලන්නේ දේශපාලන ගේමක් ලෙසය. එකක් පත්තු වුණහොත් ඡන්දය නො පැවැත්වෙනු ඇත.
ජනාධිපතිවරයා ගේ සමීපතමයන් වන සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන ගේ ප්‍රකාශ දෙස අවධානය යොමු කළාත් ඔවුන් කොතරම් මැතිවරණයකට අකමැතිද යන්න පෙනී යයි.
රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අත් දැක ඇත්තේ පුංචි ඡන්ද කඩාකප්පල් කරන ලද අවස්ථාය.
උතුරේ පැවැති සංවර්ධන සභා ඡන්දය
1981 ජුනි 4 වෙනි දින පැවැති යාපනය සංවර්ධන සභා මැතිවරණය එතෙක් මෙතෙක් ලංකාවේ පැවති දූෂිතම මැතිවරණය විය. 1981 මැයි තිස් වන දින දකුණේ මැතිවරණ නිලධාරීන් හා සේවක පිරිස් සමග මැරවරයන් විශාල පිරිසක්ද දුම්රියෙන් උතුරට යවන ලදී. 1981 ජූනි දෙවැනි දින කුරුණෑගල දිසාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු මෙහෙයුම ආරම්භ විය.
මැතිවරණ දිනය දා සිරිල් මැතිව් ඇමැතිවරයා ඇතුළු කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු මෙහෙයුම සඳහා යාපනයට ගියේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් දුම්රියෙන් ජුනි තුන්වෙනිදා පිටත් කර හරින අතර දුම්රිය මැදිරි ඒ ඒ ආසන සඳහා වෙන්කර තිබිණි. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දිසා ඇමතිවරයා හා මන්ත්‍රීවරු අදහස් දක්වා ඇති අතර ඇත්ත පුවත්පතට අනුව යාපනයට යන මෙම පිරිස ජාතික වීරවරයන් ලෙස රැස්වීමේදී ප්‍රකාශ කොට ඇත.
ජූනි තිස් එක් වෙනිදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රැස්වීමක් ආච්චි අම්මා කෝවිල අසල පැවැත්වීමට නියමිතව තිබුණු අතර රැස්වීමේ ආරක්ෂා කටයුතු සඳහා පැමිණි පොලිස් පිරිසකට වෙඩි පහර එල්ල විය. කලින් සැලසුම් කල පරිදි අවට දැවිල්ල ජාතික නිවස අතරක් හා කඩ පහකට ප්‍රහාරයට ලක්විය රැස්වීමේ සිටි ජනයා හිස් ලූ ලූ අත දිවූහ. මෙම කුමන්ත්‍රණය දිනම රාත්‍රී යාපනයේ මහා වෙළෙඳ පොළේ කඩ කාමර 50ක් පමණ ගිනිතබා විනාශ කෙරුණි.
යාපනයේ මන්ත්‍රීවරයා වූ යෝගේෂ්වරන් ගේ නිවෙසට හා මෝටර් රථයට ගිනි තබන ලදී
ගිනි තැබූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය
දකුණෙන් ගිය මැර හමුදාව එකල යාපනයේ මන්ත්‍රීවරයා වූ යෝගේෂ්වරන් මහතාගේ නිවෙසට හා මෝටර් රථයට ගිනි තබන ලදී. ඔහුගේ පවුලේ සාමාජිකයන් දිවි බේරා ගත්තේ අනූ නමයෙනි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය හා මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ද ගිනිබත් කෙරුනි,
ඡන්ද පෙට්ටි රාශියක් කට්ටිය විය වෙත ගියේ දේශපාලඥයන් මැරවරයන් පිරිවරා ගෙන සිටි නවාතැන්පොළවල් ඔස්සේය. ඡන්දය නිසිලෙස නොපැවතුණු බව යාපනය තේරීම්භාර නිලධාරි යෝගයෙන් දොරේසාමි ප්‍රකාශ කළේය, දේශපාලඥයන් සහ මැරවරයන් රැඳී සිටි යාපනය සුභාශ් හෝටලයෙන් පසුව ඡන්ද පෙට්ටි හතරක් හමුවිය.
ඉතාම දුර්ලභ ගණයේ පොත්ද, මුල් පිටපත් රැසක් ද ඇතුළුව පොත් අනූපන්දහසකින් යුක්ත වූ යාපනයේ ජනතාවගේ හදවත බඳු වූ යාපනය පුස්තකාලයට මැතිවරණයදා එක්සත් ජාතික පක්ෂ මැරවරයෝ ගිනි තැබූහ. තිස් වසරක යුද්ධය සඳහා දමිළ තරුණයන් පෙළගැස්වූ ප්‍රධාන කාරණයක් වූයේ මෙයයි.
මහා පරිමාණ ඡන්ද දූෂණ හා ඡන්ද පෙට්ටි අතුරුදහන්වීම මැද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 23,152ක් ලබා ගන්නා විට ඡන්ද 263 302 ලැබූ ද්‍රවිඩ එක්සත් පෙරමුණ ජය ලැබීය. තිස් වසරක යුද්ධයට මග පෑදූ තම මාමා විසින් සිදුකල ඓතිහාසික වරද අදටත් ජනාධිපතිවරයා වරදක් ලෙස නොපිළිගන්නා බව ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපයෙන් පෙනී යයි.
1991 පළාත් පාලන මැතිවරණය සහ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් පිටුවහල් කිරීම
1987/ 89 දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කැරැල්ලෙන් පසු පැවැති පළමු මැතිවරණය වන්නේ 1991 මැයි එකොළොස් වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයයි. බ්‍රිතාන්‍ය රජයෙන් ලද මානව හිමිකම් රැක ගැනීම පිළිබඳ මැදිහත්වීමේ උපදෙස් මත මැතිවරණය දින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල අංක 19 දරන ඡන්ද මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිසක් ඔහුට පැමිණිලි කළේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන එච්.ආර් පියසිරි ගේ මැරවරයන් පිරිසක් නිදහස් හා සාධාරණ ඡන්දයකට සිදුකරන බාධාව පිළිබඳවයි, ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන්ට මුලින්ම පැමිණිලිකල ග්ලැඩ්ස්ටන් මහතා ස්ථාන භාර නිලධාරී ඉල්ලීම් පරිදි දික්වැල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කළේය.
ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙම සිද්ධියෙන් කුපිත වී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා දින දහයක් ඇතුලත රටින් පිටුවහල් කිරීමට ක්‍රියා කළේය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ග්ලැඩ්ස්ටන් මහතා ‘’ Srilankan tempest- A real life drama in few Acts “නමින් කෘතියක් ද රචනා කළේය.
ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවාගෙන ජනාධිපතිවරයාට අභියෝග කරමින් සිටි එම යුගයේ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අදටත් මෙම ක්‍රියාවේ වරදක් දකින බව පෙනී නොයයි.
ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2002 පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණය සහ ඉන්පසුව ආයතන විස්සක් සඳහා පමණක් පැවති පළාත් පාලන මැතිවරණය අතිශය ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව මැතිවරණයක් විය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශයේ පවා සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බවට මැතිවරණ නිරීක්ෂකයෝ වාර්තා කළහ.
මෙවැනි අතීතයක් හිමි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ගැටලුවලින් තොර ව සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කරමින් සිටිමු. මේ ඔහුට තමා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීයකු, ලිබරල් වාදියෙකු බවට ඔප්පු කිරීමට ලැබී ඇති අනගි අවස්ථාවකි.
(නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)