leader s

(2 වැනි කොටස)

ශ්‍රී ලාංකික චීන (Sri Lankan Chinese) ප්‍රජාවේ ඉතිහාසය හා ඔවුන්ගේ මුල් පරපුරේ කතාව “පිය උරුමයට වඩා මව් උරුමයට පෙම් බඳින ශ්‍රී ලාංකික චීන පරපුර” නැමති ලිපියෙන් සාකච්ඡා කෙරිණි. මෙවර පළ වන්නේ ඔවුන්ගේ වත්මන් පරපුරේ කතාවයි.

අද වන විට චීනයේ සිට මෙරටට පැමිණි මුල් පරම්පරාව ජීවතුන් අතර නැත. වර්තමානයේ අපට හමුවන්නේ 2වැනි 3වැනි පරම්පරාවන් ය. ඔවුන් පිළිබඳව තොරතුරු සොයා යෑමේදී දක්නට ලැබෙන පොදු කාරණය වන්නේ ඔවුන් සියලුදෙනාම නගරයේ ප්‍රධාන පාසල්වල අධ්‍යාපනය ලබා ජීවන තත්ත්වයෙන් ඉහළ මට්ටමක සිටීමයි. 2වැනි පරම්පරාවට අයත් ලිව් කිම් ෂන් අධ්‍යාපනය ලබා තිබෙන්නේ මරදාන ශාන්ත ජෝශප් විදුහලිනි. ඔහුගේ දියණිය ඉගෙනුම ලැබුවේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙනි. ඔහුගේ පුතු ලිසෝන් මරදාන ශාන්ත ජෝශප් විදුහලේ අ.පො.ස. උසස් පෙළ පංතියේ අධ්‍යාපනය ලබයි. 

ලිව් කිම් ෂන්ගේ බිරිඳ ඩිලානි මානෙල් දියණිය ලුමිනි සහ පුතු ලිසෝන්බොරැල්ල කොටා පාරේ පදිංචි වී සිටින වෛද්‍ය චෑන් ශ්‍රී ලාංකික චීන පරපුරේ 2වැනි පරම්පරාවට අයත් අයෙකි. රගර් ක්‍රීඩකයකු, පුහුණුකරුවකු හා රගර් විනිසුරුවරයකු ලෙස කටයුතු කළ එස්.ඩබ්ලිව්. චෑන් අයත් වන්නේ ද 2වැනි පරම්පරාවට ය. ඔහු අධ්‍යාපනය ලබා තිබෙන්නේ කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහලෙනි. ඉන් අනතුරුව ඔහු හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයෙන් අන්තර් රග්බි ක්‍රීඩාවට ප්‍රවිෂ්ට විය. කොළඹ සේරම් පෙදෙසහි පිහිටි පාක්වීව් හෝටලයේ අද හිමිකරුවා එස්.ඩබ්ලිව්. චෑන් ය. පාක්වීව් හෝටලය මෙන්ම ලෝටස් වැනි ශ්‍රී ලාංකික චීන ජාතිකයන්ට අයත් තවත් අවන්හල් ලංකාවේ ඇත. එහෙත් අද නගරයක් නගරයක් පාසා දකින්නට ලැබෙන චීන හෝටල් අයත් වන්නේ ශ්‍රී ලාංකික චීන ජාතිකයන්ට නොව සිංහල හෝ දෙමළ ජාතිකයන්ටය.

නන්නාඳුනන රටකට ගොඩබැස, සංචාරක වෙළෙඳාමෙන් සහ දන්ත කාර්මික වෘත්තියෙන් ජීවිතය ආරම්භ කළ  චීන ජාතිකයන්ට ඉතා කෙටි කලකින් කොළඹින් බිම්කඩකට උරුමකම් පෑමට හැකි වීමත් ඉන් අනතුරුව නිවාස ඉදිකර ව්‍යාපාර දියුණු කරගෙන දරුවන්ට අධ්‍යාපනය දී ජීවිත ස්ථාවර මට්ටමකට ගැනීමට ද හැකිවීමත් ඔවුන් සතු පාරම්පරික ව්‍යාපාරික ඥානයේ ප්‍රතිඵලයකි. ඒ නිසාම ශ්‍රී ලංකාවට පැමිණි සෙසු ජන කොට්ඨාසවලට තරම් කටුක ජීවන රටාවකට මුහුණදීමට චීන ජාතිකයන්ට සිදු වී නැත. 

මව් පාර්ශ්වයේ උරුමය


එහෙත් චීන භාෂාව සහ චීන සිරිත්විරිත් ලංකාවට පැමිණි චීන ජාතිකයන්ගේ මුල් පරම්පරාවට පමණක් සීමා විය. 2වැනි පරම්පරාව වැළඳ ගත්තේ මව් පරම්පරාවෙන් උරුම වූ සිංහල භාෂාව සහ සිංහල සිරිත් විරිත් මිස පිය පරම්පරාවේ භාෂාව සහ සංස්කෘතිය නොවේ. 

“ඇත්තටම අපිට නෑදෑයෝ කියලා ඉන්නේ අම්මාගේ පැත්තේ අය විතරයි. තාත්තාගේ පැත්තේ කාවවත් අපි දන්නෙ නැහැ.” යනුවෙන් චයිනීස් යුනියන් ස්ටෝර්ස් අධිපති ලියු යුං ෂන් සඳහන් කළේය.
 
''ලිව් කී බෙන්'' චීන දන්ත කාර්මික සාප්පුව  
“තාත්තා අපි එක්ක කතා කළේ කැඩිච්ච සිංහලෙන්. ඒ නිසා චීන භාෂාව අපි පොඩ්ඩක්වත් දන්නෙ නැහැ. ඉස්සර තාත්තා ඉන්න කාලෙදි නම් චීන අලුත් අවුරුද්ද සැමරුවා. අලුත් අවුරුද්දේදි මළවුන්ගේ සොහොන පාමුල පලතුරු වට්ටියක් තැබීම, නිවසේ තිබෙන මිය ගිය අයගේ ඡායාරූපය ළඟ පලතුරු වට්ටියක් තියලා සුවඳකූරු පත්තු කිරීම වැනි සිරිත් විරිත් කළා. දැන් ඒවා අත්හැරිලා ගොඩක් කල්.” ලිව් කී බෙන් චීන දන්ත කාර්මික ආයතනයේ අධිපති ලිව් කිම් ෂන් පැවසුවේය.
 
චීන භාෂාව නොදන්නා නමුත් සිංහල සහ ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි ශ්‍රී ලාංකික චීන ප්‍රජාවේ 2වැනි සහ 3වැනි පරම්පරාවන්ගේ ආගම වෙනස් වී තිබෙන්නේ ඉගෙනුම ලැබූ පාසල අනුවය. නැතහොත් විවාහ ගිවිස ගන්නා පාර්ශ්ව අනුව ආගම වෙනස් වී තිබේ.
 
ආගමික නැඹුරුව

බොහෝ ශ්‍රී ලාංකික චීන ප්‍රජාව මව්වරුන්ගේ ආභාෂයට අනුව සිංහල බෞද්ධයන් ලෙස දිවි ගෙවති. ලියු යුං ෂන් සහ තෝන් චීෂු ජෙම්සන් ඊට නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකිය. එහෙත් මහනුවර ත්‍රිත්ව විදුහලේ අධ්‍යාපනය ලැබූ එස්.ඩබ්ලිව්. චෑන් කතෝලිකයෙකි. ඔහු විවාහ වී ඇත්තේ ක්‍රිස්තියානි පල්ලියේ ය. එහෙත් ඔහුගේ දියණිය පෝරුවේ චාරිත්‍රානුකූලව විවාහ වී ඇත. ලිව් කිම් ෂන් කතෝලිකයකු වූයේ සාන්ත ජෝශප් විදුහලට ගිය නිසාම නොවේ. ඔහුගේ මව වන කුරුවිටගේ සීලවතී කතෝලික වූ නිසා ය.
 
“මගේ ගම කෑගල්ල. අම්මා සිංහල කාන්තාවක්. තාත්තා චීන ජාතිකයෙක්. ඒත් මගේ අම්මා මගේ නමේ වාසගමට තාත්තාගේ වාසගම දාන්න දීලා නැහැ. අම්මාගේ වාසගම තමයි මට දාලා තියෙන්නේ. ඒ නිසයි මම කුරුවිටගේ සීලවතී වුණේ. මගේ තාත්තා හෝටල් රස්සාව කළේ. මම කෑගල්ල කන්‍යාරාමයේ ඉගෙනගත්තේ. අද ඒ පාසල හඳුන්වන්නේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාව කියලා. මම කන්‍යාරාමයේ ඉගෙනගත්ත නිසා මම කතෝලික ආගම වැළඳ ගත්තා. මම ලිව් කී බෙන් සමග විවාහ වුණේ 1965දී. එය යෝජිත විවාහයක්. මට ඉන්නේ කිම් ෂන් පුතා විතරයි. එයා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනගත්තේ. එයාත් කතෝලික. මගේ මුනුපුරා සහ මිනිපිරියත් කතෝලික තමයි. හැබැයි මගේ පුතා විවාහ වුණේ බෞද්ධ කෙනෙක් සමග.” යනුවෙන් කුරුවිටගේ සීලවතී පැවසුවාය.
 
ඇගේ පුතු ලිව් කිම් ෂන් සඳහන් කළේ තම පියා කිසිම දිනක ආගම සම්බන්ධයෙන් කතා නොකළ ද කොන්පියුසියස්වාදය ගැන කතා කළ බවයි. ඔහුගේ බිරිඳ බෞද්ධයකු වන බැවින් අද වැඩි වශයෙන් පන්සල් යන බව ඔහු තවදුරටත් පැවසීය.  

නම් සහ වාසගම්
 
ලිව් කී බෙන්ගේ මිනිපිරිය ලුමිනි සහ මුනුපුරු ලිසෝන්jpgලිව් කී බෙන්ගේ මිනිපිරිය ලුමිනි සහ මුනුපුරු ලිසෝන්චීන ජාතිකයන්ගේ වාසගම සඳහන් වන්නේ නමට ඉදිරියෙනි. ලිව් කී බෙන්ගේ පුතා ලිව් කිම් ෂන් ය.  තෝන් යුවන්දුගේ පුතා තෝන් චීෂු ජෙම්සන් ය. එහෙත් ලිව් කිම් ෂන් සිය දරුවන්ට වාසගම තබා ඇත්තේ සිංහලයන්ගේ මෙන්ම නමට පිටුපසිනි. ඔහුගේ දියණිය ලුමිනා වෙනාරා ලිව් වන අතර පුතා ලිසෝන් ලිව් ය.
 
“මගේ නමට එන ලයිට් බිල් වතුර බිල් හැම එකකම ලියලා තියෙන්නේ මිස්ටර් ෂන් කියලා. කොහෙහරි ගියාමත් මට කතා කරන්නේ ඒ විදිහට. ඒ නිසා මම මගේ ළමයින්ගේ නමේ අගට වාසගම දැම්මා.” යනුවෙන් සඳහන් කළේ ලිව් කිම් ෂන් ය.
 
ශ්‍රී ලාංකික චීන ප්‍රජාව ජාතිය, ආගම කෙරෙහි පටු ආකල්ප සහ සීමා මායිම් තබා ගෙන නොමැති වුවද විවාහවලදී චීන සම්භවය කෙරෙහි යම් පමණකට සැලකිලිමත් වූ බව පෙනෙන්නේ ඔවුන්ගේ විවාහ වතගොත සොයා බැලීමේදී ය.
 
ලිව් කී බෙන් විවාහ වූ සීලවතිගේ පියා චීන ජාතිකයෙකි. ලියු යුං ෂන් විවාහ වූ බිරිඳගේ පියා ද චීන ජාතිකයෙකි. ලිව් කිම් ෂන්ගේ බිරිඳ වන ඩිලානි මානෙල් සිංහල කාන්තාවක් වුවද ඇගේ ඥාතීන් චීන ජාතිකයන් සමග විවාහ වී ඥාති සම්බන්ධතා ඇති වී තිබේ. ඩිලානි මානෙල්ට කිම් ෂන්ගේ විවාහ යෝජනාව ඉදිරිපත් වන්නේ ඒ ඥාති සම්බන්ධතා මත ය.
 
“මගේ ලොකු අක්කා විවාහ වුණේ චීන සම්භවයක් තියෙන ත්‍රිකුණාමලයේ පවුලකින්. පොඩි අක්කා විවාහ වුණේ ඒ වගේම ගම්පහ ඉන්න පවුලකින්.” යනුවෙන් පැවසුවේ තෝන් චීෂු ජෙම්සන් ය.
 
නමුත් තෝන් චීෂු ජෙම්සන් සිංහල බෞද්ධ කාන්තාවක සමග විවාහ වී සිටින්නේ හොරණ ශ්‍රීපාලි විදුහලේ ඉගෙනුම ලැබූ අවදියේ ඇති වූ දස වසරක ප්‍රේම සම්බන්ධතාවකිනි.
 
තුන්වැනි පරපුරේ කතාව
 
“මම ඉස්කෝලේ යන කාලේ චීනා, චීනා කියලා ළමයි මට විහිළු කළා. මම ඒක ආඩම්බරයක් හැටියට සැලකුවා. ප්‍රශ්නය එතනින් ඉවරයි.” යනුවෙන් තෝන් චීෂු ජෙම්සන් පවසද්දි කුරුවිටගේ සීලවතී සඳහන් කළේ පාසල් කාලයේදී ඇයට කළ උසුළු විසුළුවලින් ඇය අපහසුතාවයට පත්වූ බවයි.
 
නමුත් ශ්‍රී ලාංකික චීන පරපුරේ 3වැනි පුරුකට අයත්වන ලුමිනා වෙනාරා සහ ලිසෝන්ට නම් කවදාවත් එවැනි ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවූයේ නැත. ඊට හේතුව ඔවුන් අධ්‍යාපනය ලැබූ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේත් ශාන්ත ජෝශප් විදුහලේත් විජාතික දරුදැරියන් අධ්‍යාපනය ලැබීමයි.
 
ලුමිනි වෙනාරා ලිව්jpgලුමිනි වෙනාරා ලිව්ලිසෝන් ලිව් අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලබන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත වී සිටියි. සිය පිය පාර්ශ්වයෙන් උරුම වූ චීන දත් කාර්මික ව්‍යාපාරය ලිසෝන් කරගෙන යනවාද නැතිද යන්න තවමත් නිශ්චිත නැත. ලුමිනි වෙනාරා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් “ඒ” සාමාර්ථ 9ක් ගෙන අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් “ඒ” තුනක් ලබා විශිෂ්ට ලෙස සමත් වී තිබේ. ඈ අද කැලණිය විශ්ව විද්‍යාලයේ මූල්‍ය අංශයෙන් අධ්‍යාපනය ලබයි.
 
“මගේ බලාපොරොත්තුව මූල්‍ය අංශයෙන් රැකියාවක් ලබාගැනීමටයි. චීන භාෂාව ඉගෙනීමේ ආසාවක් හෝ බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. ඒත් දැන් නම් හිතෙනවා චීන භාෂාව ඉගෙනගන්නවා නම් හොඳයි කියලා. මොකද පෝට්සිටි වගේ ඒවා හැදුණොත් චීන සමාගම් ලංකාවට එන්න පුළුවනිනේ. ඒ වගේ ආයතනයක රැකියාවක් කරනවා නම් චීන භාෂාව ඉගෙනගත්තොත් ඒක අමතර වාසියක්නේ.” යනුවෙන් ලුමිනි වෙනාරා ලිව් පැහැදිලි කළාය.
 
මහාචාර්ය හව් වේ මිං
 
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂාව අධ්‍යයන අංශයේ උගන්වනු ලබන චීන භාෂාව බාහිරව හෝ ඉගෙනගැනීමේ අදහසක් මේ වන විට ලුමිනා වෙනාරාගේ සිත තුළ ගැබ් වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව ඉගැන්වීමේ නිරත වී සිටි මහාචාර්ය හව් වේ මිං ශ්‍රී ලාංකික චීන ප්‍රජාවට අයත් නොවුණද ශ්‍රී ලාංකිකයන් සමග දැඩි සම්බන්ධයක් ඇති චීන ජාතිකයෙකි.
 
මහාචාර් ය හව් වේ මිංjpgමහාචාර් ය හව් වේ මිං“මම කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව උගන්වපු කාලේ චීන තානාපති කාර්යාලයත් ශ්‍රී ලාංකික චීන සංගමයත් එකතුවෙලා ඉල්ලීමක් කළා ශ්‍රී ලාංකික චීන කට්ටියට චීන භාෂාව උගන්වන්න කියලා. මට මතක විදිහට 1996දී විතර. ශ්‍රී ලාංකික චීන පරපුරේ 2වැනි සහ 3වැනි පුරුක්වල කට්ටිය තමයි ඒ කාලේ චීන භාෂාව ඉගෙන ගන්න ආවේ. ඒ අයට චීන තානාපති කාර්යාලයට ගිහින් වැඩක් කරගන්න, චීනයට ගිහින් නෑදෑයෝ බලන්න වගේ වුවමනාවන් තිබුණු නිසයි චීන භාෂාව ඉගෙනගන්න ආවේ. අවුරුදු 2ක් විතර මම එයාලාට ඉගැන්නුවා. හැබැයි චීන භාෂාව ඒ අයට ඉගැන්වීමේ වැඩපිළිවෙළ දිගින්දිගට ක්‍රියාත්මක වුණේ නැහැ.” මහාචාර්ය හව් වේ මිං සිය අදහස් පළකළේ එලෙසිනි. අද මහාචාර්ය හව් වේ මිං චීනයේ යුවෙන්හාම් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු මෙන්ම හොන්වා ආයතනයේ අධ්‍යක්ෂවරයාද වෙයි.
 
ශ්‍රී ලාංකික චීන ප්‍රජාවට චීන භාෂාව ඉගැන්වීමට මුල් වූ ශ්‍රී ලාංකික චීන සංගමය ද අද නැත. ඊට හේතුව ශ්‍රී ලාංකික චීන පරපුරේ මුල් පරම්පරාව මේ වන විට ජීවතුන් අතර නොමැති වීමයි. වරින් වර ශ්‍රී ලාංකික චීන සංගම් පිහිටුවා ගනු ලැබුවද 2වැනි සහ 3වැනි පරම්පරාවල අයගේ විදේශගතවීම් ද මෙම සංගම් අඩපණ වීමට හේතු වී තිබේ. එහෙත් ඔවුන් විදේශගත වී තිබෙන්නේ චීනයට නම් නොවේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල්වලටය.

එකම චීන සංගමය

මේ වන විට ශ්‍රී ලාංකික චීන පිරිසගේ සංගමයක් ලෙස තිබෙන්නේ චීන ලංකා පාරම්පරික දන්ත තාක්ෂණ ශිල්පීන්ගේ සංගමය පමණි. තෝන් චීෂු ජෙම්සන් එකී සංගමයේ සභාපති වෙයි.
 
චීන ලංකා පාරම්පරික දන්ත තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ සභාපතිතෝන් චීෂූ ජෙම්සන්. 2තෝන් චීෂූ ජෙම්සන්“මම මේ සංගමය 2010 වර්ෂයේදී ආරම්භ කළේ. සාමාජිකයන් 56ක් ඉන්නවා. ඒත් ක්‍රියාකාරීන් ඉන්නේ 26 දෙනෙක් විතරයි. අද ලෝකයේ තාක්ෂණය ඉතා දියුණුයි. අපේ දන්ත කාර්මික ක්ෂේත්‍රයත් අද ගොඩාක් ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ නිසා අපේ සංගමයේ දන්ත තාක්ෂණ ශිල්පීන්ගේ දැනුම වැඩිදියුණු කිරීමට, නවීන ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණෙන් තමයි මම මේ සංගමය ඇරඹුවේ. ඒ වගේම තමයි අපි වැඩිදෙනෙක් සිංහල බෞද්ධයන් විදිහට ලංකාවේ හිටියාට අපිට අනන්‍ය වූ දේවල් තියෙනවානේ. ඉතින් අපිට අනන්‍ය වූ සංස්කෘතික අංග රැකගැනීමේ උත්සාහයක අපේ සංගමය යෙදිලා සිටිනවා. චින අවුරුදු සැමරීම අපේ සංගමයෙන් පවත්වනවා.” යනුවෙන් චීන ලංකා පාරම්පරික දන්ත තාක්ෂණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති තෝන් චීෂු ජෙම්සන් පැවසුවේය. 
 
වර්තමානයේ ශ්‍රී ලාංකික චීන ප්‍රජාව 500 දෙනෙක් පමණ දිවයින පුරා විසිරී සිටිති. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ශ්‍රී ලාංකික චීන සංගමය වැනි සංගම්වල දායකත්වය දැරීමට උනන්දුවක් නැත. ඊට හේතුව ඔවුන් සිංහලයන් සමග ඉපදී හැදී වැඩී සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා සිංහලයන් සේ ජීවත් වීමට වැඩි නැඹුරුවක් දැක්වීමයි. 
 
ශ්‍රී ලාංකික චීන පරපුරේ 3වැනි පරම්පරාවේ සිට උපතින්ම පුරවැසිභාවය හිමි වුවත් ඊට පෙර පරම්පරාවන්ට පුරවැසිභාවය හිමි වී තිබෙන්නේ ලියාපදිංචියෙනි. කෙසේ වුවද 1948 නොවැම්බර් 15 දින සිට විධිමත් ලෙස පුරවැසිභාවය නොමැති ශ්‍රී ලාංකික චීන ජාතිකයන්ට, 2008 චීන සම්භවයක් ඇති පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටත් පුරවැසිභාවය හිමි විය. 
 
චීන සබඳතා අලුත් වීම

වර්තමානයේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ආර්ථික, සංස්කෘතික, ව්‍යාපාරික සම්බන්ධතා අනුව මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන් සංඛ්‍යාව 10,000ක් පමණ වේ. ලංකාවේ සිටින සියලුම චීන ජාතිකයන් නියෝජනය වන ආකාරයට “ශ්‍රී ලංකා එතෙර චීන සංගමය” නමින් සංගමයක් 2016 වසරේදී පිහිටුවා ගනු ලැබුවේ එම නිසාය. 
 
ශ් රීලංකා එතෙර චීන සංගමයේ සභාපති ෆන් ජියාදුශ්‍රී ලංකා එතෙර චීන සංගමයේ සභාපති ෆන් ජියාදු“මම ලංකාවට ආවේ 2012 දී. මම මෙහේ ව්‍යාපාරවල යෙදී සිටිනවා. චීන ජාතිකයන් බොහෝදෙනෙක් මේ  වන විට ලංකාවට ඇවිත් සිටිනවා. ඒනිසයි මම ශ්‍රී ලංකා එතෙර චීන සංගමය පිහිටුවා ගත්තේ. මේ සංගමයට ශ්‍රී ලාංකික චීන ප්‍රජාවත් ඇතුළත් වෙනවා. අපේ සංගමයෙන් අවුරුද්දක් පාසා චීන සංස්කෘතික උලෙළක් පවත්වනවා. මෙහි සිටින චීන දරුවන්ට චීන භාෂාව, චීන සිරිත් විරිත් ගැන උගන්වන්න අපි පාසලක් පටන් ගත්තා. පාසලක් කිව්වාට හරියට දහම් පාසලක් වගෙයි. ඊට අමතරව චීන දරුවන්ට ළදරු පාසලක් පටන් ගත්තා. හැබැයි අද වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති අස්ථාවර බව නිසා චීන ජාතිකයන් වැඩි පිරිසක්  නැවතත් චීනයට ගියා.” යනුවෙන් ශ්‍රී ලංකා එතෙර චීන සංගමයේ සභාපති ෆන් ජියාදු සඳහන් කළේය. 
 
එහෙත් ශ්‍රී ලාංකික චීන ප්‍රජාවට නම් ආපසු චීනයට යෑමට අදහසක් නැත. චීනයේ සංචාරයකට ගිය ද ඔවුන් යළි දිවයිනට පැමිණෙන්නේ දැන් ඔවුන්ගේ රට ශ්‍රී ලංකාව වන නිසා ය. ඔවුන් ලාංකිකයන් සමඟ ලේ ඥාතිත්වයෙන් මෙන්ම සහෝදරත්වයෙන් ද බැඳී සිටින නිසා ය. 

Hasrha Sugathadasa(හර්ෂා සුගතදාස)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

උපදේශනය සහ අනුග්‍රහය ඉන්ටනිව්ස් 
 

සබැඳි ලිපිය :
පිය උරුමයට වඩා මව් උරුමයට පෙම් බඳින ශ්‍රී ලාංකික චීන පරපුර

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්