පනාමුරේ හන්දියේ සිට ඇත්ගාල පිහිටි ස්ථානයට ඇති දුර දළ වශයෙන් කිලෝමීටර් දෙකක් පමණ වේ. පනාමුරේ සිට ඇත්ගාල දක්වා එම පාරේ මුල් කොටස කොන්ක්‍රීට් දමා ඇති අතර එතැන් සිට ඇත්ගාල දක්වා තාර දමා සකස් කර ඇත.
නමුත් ඇත්ගාල පසුවන විට පාර අවසන් නොවූවත් තාර අවසන් ය. ඊටපසුව එම පාර ගුරු පාරකි. එය නන්දනගම නම් වූ උදාගමක් හරහා ගොස් ඇඹිලිපිටිය - කොලොන්න පාරට වැටෙන්නේ 13 කණුවේ දී ය. මේ පාර තාර දමා හොඳින් සකස් කරන්නේ නම් එය මඩුවන්වෙලට යා හැකි කෙටි පාරකි. මඩුවන්වෙල පිහිටියේ ඇඹිලිපිටිය - කොලොන්න ප්‍රධාන පාරේ 14 කණුව ආසන්නයේ ය.
පනාමුරේ සිට ඇත්ගාල පාරේ කිලෝ මීටරයක් පමණ යනවිට රංචාමඩමට හැරෙන තුංමං හන්දිය හමුවේ. අපේ රටේ පැවති වසර තුන් දහස් පන්සීයක් පැරණි සොහොන් පිට්ටනියක නටබුන් හමුවූයේ මේ රංචාමඩමෙනි. එය හමුවූ භූමිය අයත්ව තිබුණේ රංචාමඩම විද්‍යාලයට ය. මේ වනවිට රංචාමඩම විද්‍යාලයේ එම සොහොන් පිටිය සහිත කොටස වෙන් කර කෞතුකාගාරයක් ද ඉදි කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කෙරේ.
මඩුවන්වෙල දිසාවේ
මෙකී තුංමංහන්දියේ රංචාමඩමට හැරෙන පාරේ වම් පැත්තේ අතීතයේ කුඩා වලව්වක් පිහිටියේ ය. මෙහිදී කුඩා යනුවෙන් සඳහන් කළේ මඩුවන්වෙල වලව්ව තරමට ම සුවිශාල නොවූ බැවිනි. නමුත් එය කාමර ගණනකින් යුතු සාමාන්‍ය නිවෙසකට වඩා විශාල වූවකි. මේ වලව්වේ ද හිමිකාරත්වය පැවතියේ මඩුවන්වෙල දිසාවේට ය. එය ඉදිරිපස පාරේ අනෙක් පැත්තේ කුඹුරු යායක් ඇත. ඒ රංචාමඩම දෙසට හැරෙන පාරේ ය. වලව්ව පිටුපස පැත්තෙන් දිස්වන්නේ ලොකු කන්දකි. මේ කන්ද හඳුන්වන විශේෂ නමක් නැත.
ඒ කාලයේ මේ ප්‍රදේශ විශාල කැළෑවල් ලෙස පැවතී තිබේ. මෙම කුඩා වලව්වේ සිට මේ ප්‍රදේශය හරහා ගලා බසින සුන්දර කිතලබොකු ඔයට මීටර් සියයකට වැඩි දුරක් නැත. ඔය ගලා බසින්නේ කඳු දෙකකට මැදිනි. එම ඔයට ආසන්නව පිහිටි නිම්නය දිගේ මඩුවන්වෙල දිසාවේ මහ වලව්වේ සිට දෝලාවෙන් පනාමුරේ පිහිටි එම වලව්වට පැමිණ ඇත.
මෙම ස්ථානයේ තවත් වලව්වක් ඉදිකිරීමට හේතුව ලෙස එම ප්‍රදේශවාසීන් පවසන්නේ මඩුවන්වෙල දිසාවේට ඇත්ගාලට පැමිණීමට තිබෙන පහසුවයි. මඩුවන්වෙල සිට ඇත්ගාලට කිලෝමීටර් අටක් පමණ ඇති මුත් පනාමුර වලව්වේ සිට ඇත්තේ කිලෝ මීටරයක පමණ දුරකි. කෙසේ වුවද අද වනවිට ඇත්ගාල පසුකර නන්දනගම උදාගම හරහා ගොස් 13 සැතපුම් කණුව අසලින් ඇඹිලිපිටිය - කොලොන්න පාරට සම්බන්ධ වන පාර එදා මඩුවන්වෙල දිසාවේ දෝලාවෙන් පැමිණි ගමන් මාර්ගයම බව දැන ගන්නට ඇත.
එවකට ඇත්ගාලේ ප්‍රමාණය අක්කර හැට හතරක් පමණ බව පැවසේ. ඇත්ගාල පවත්වනවිට ඒ වටා කැළෑව මැද වෙළඳ සැල් ඇතුළු සියලු දෙයින් පරිපූර්ණ තාවකාලික නගරයක් ඉදිවෙයි. දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල වශයෙන් ඇත්ගාල නැරඹීමට රැස් වන නිසා ඔවුන්ට තාවකාලික නවාතැන් පොළවල් ඇතුළු සියලු දේ මෙහි ඉදි වෙයි.(ඒ පිළිබඳව මතුවට විස්තර ඉදිරිපත් කරමි)

මේ අතර මඩුවන්වෙල දිසාවේ සමග රටේ ඉහළම තරාතිරම්වල ප්‍රභූ පිරිස් නවාතැන් ගත්තේ මෙම වලව්වේ ය.
පසුකාලීනව මඩුවන්වෙල දිසාවේට අයත් නින්දගම් ඇතුළු දේපොළ ශ්‍රීමත් මොලමුරේ ට පැවරෙන විට මෙම පනාමුරේ වලව්ව ද ඔහු සතුවී ඇත. ඇත්ගාල් පවත්වන කාලවල ශ්‍රීමත් මොලමුරේ ද මෙහි නතර වී සිටි බව පැවසේ.
මෙම වලව්වට ඇතින්නියන් වලව්ව යන නම ගම්මුන් විසින් පටබැඳ තිබුණේ මඩුවන්වෙල දිසාවේගේ කාලයේ සිටම ය. ඇත්ගාල් පවත්වන කාලවලට එම වලව්වට සතර දිගින් පැමිණෙන ප්‍රභූ පිරිසට රාත්‍රියේ නවාතැන්, කෑම, මත්පැන් සේම කාන්තාවන් ද සපයා තිබිණි. එය ගමට රහසේ සිදු වූවක් නොව මෙවැනි වංශක්කාරයින් එදා ගත කළ දිවි පෙවෙතෙහි ස්වභාවය එයයි. වලව්වේ නවාතැන් ගන්නා වංශක්කාර ප්‍රභූවරුන් සතුටු කිරීමට කාන්තාවන් ගෙන ඒම නිසා ගම්මුන් එම වලව්ව ඇතින්නියන් වලව්ව යන අපහාසාත්මක වදනින් හඳුන්වා තිබිණි.
කෙසේ වුවද 1964 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය හඳුන්වා දුන් ඉඩම් පනතෙන් මෙම නින්දගම් රජයට පවරා ගත් පසු මෙම ඉඩම මිලදී ගත් අය පරම්පරා කිහිපයක් තිස්සේ වලව්ව නවීකරණය කිරීමේදී දැන් එහි පැරණි ස්වභාවය වෙනස් වී ඇත.
ඇත්ගාලේ පිහිටි වතුර බුබුලපනාමුරේ ඇත්ගාල පිහිටා තිබුණේ පනාමුර දිය බුබුල නමින් හඳුන්වන ස්වභාවික ජල උල්පතක් වටාය. මෙම උල්පත වසර පුරා ජලය ලබා දෙන, වියළි කාලයේ දී පවා නොසිඳෙන උල්පතක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි. දිය බුබුලේ ජලය කිවුල් රසයෙන් යුතු විය. එහි ලුණු සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය තිබූ බව ප්‍රදේශවාසීහු කියති. එම ජලයට වල් අලි බොහෝසේ ප්‍රිය කළ අතර එනිසාම නිතර එම ස්ථානයට පැමිණියහ. අලින්ට මෙවැනි ඛනිජ අඩංගු ජලය සහ පස් අවශ්‍ය වන බව ජීව විද්‍යාත්මකවද පිළිගැනේ. වැසි රහිත දැඩි උණුසුම් දේශගුණික තත්ත්වයන් පවතින කාලයට උඩවලවේ වැනි ප්‍රදේශවලින් පවා මෙම වතුර බුබුල වෙත අලින් පැමිණ ඇත.
මෙම ප්‍රදේශයේ ඇත්තේ ඉතා මනස්කාන්ත පරිසරයකි. කොලොන්න දෙස සිට ගලා එන කිතලබොකු ඔය වම් පැත්තෙන් කළු කන්දාව කඳු පන්තිය පිහිටා ඇත. කන්දෙන් අනෙක් පැත්තේ තිබෙන්නේ අප ඉහත විස්තර කළ රංචාමඩම ය. එතරම් විශාල නොවූ ගමක් වන රංචාමඩමේ අනෙක් මායිම උඩවලවේ ය. පනාමුර දෙස සිට බලන විට කළුකන්දාව කඳු යායට ඉහළින් ඇති ගිනිගල්ගොඩ කන්ද දිස්වේ. එය අතීතයේ බෙහෙවින් මැණික් හමුවූ ප්‍රදේශයකි.
කිතලබොකු ඔයේ අනෙක් පැත්තෙන් වූයේ කොලඟයාය කන්ද සහ මහයාය කන්ද යි. කොලඟයාය කන්දට එම නම ලැබුණේ එහි විශාල වශයෙන් කොලොං ගස් පැවතීම නිසා ය. මේ කඳු දෙක කළුකන්දාව තරම්ම විශාල නැත. මේ කඳු අතර පැවති නිම්නයන් හි වර්තමානයේ විශාල කුඹුරු යායවල් පැවතියත් එකල පැවතියේ විශාල වනාන්තර යි. එසේම උඩවලවේ ජලාශය ද එකල නොතිබිණි. අලි ඇතුන්ගේ නිදහස් සංචරණයට සුදුසු විශාල ස්වභාවික වනාන්තර පද්ධතියක් ඒ කාලයේ මෙම පරිසරයෙහි පැවැතියේය.
පනාමුරේ මෙම ස්ථානයේ ඇත්ගාල ආරම්භ කර ඇත්තේ මුලින්ම වර්ෂ 1896 දී ය. ඉන්පසු 1898, 1902, 1907, 1912, 1914, 1918, 1922, 1924, 1929, 1944 යන වර්ෂවල ඇත්ගාල් පවත්වා ඇති අතර මින් එක ඇත්ගාලක් ඉංග්‍රීසි නිලධාරියෙකු සතුටු කිරීම සඳහා ඔහුට දැක බලා ගැනීම පිණිස ද පවත්වා ඇත. දොළොස්වෙනි ඇත්ගාල වූ අවසන් ඓතිහාසික ඇත් ගාල 1950 දී ශ්‍රීමත් මොලමුරේ විසින් පවත්වනු ලැබිණි.
කළුකන්දාව කන්ද මෙම ඇත්ගාල් සියල්ල ඉදි වුණේ එකම ස්ථානයක ය. එකම ස්ථානය යන්නෙන් අදහස් කරන්නේ එකම භූමිය සහ දිය බුබුල වටා ඇති ප්‍රදේශය බව මිස සෑම වරකම පෙර තිබූ ලී වැට, දොරටු සහ කොටු ඒ ආකාරයෙන්ම භාවිතා කළ ස්ථිර ඇත්ගාලක් පැවතියා යන්න නොවේ. ලීවලින් සෑදූ ඇත්ගාල කාලයත් සමඟ දිරාපත් වන නිසා, එක් එක් ඇත්ගාල සඳහා අලුතින් ලී කණු ගෙන නැවත ඉදිකරන ලදී. නමුත් තෝරාගත් ස්ථානය නම් වෙනස් නොවීය. එයට ප්‍රධාන හේතුව වූයේ දිය බුබුල, අලි නිතර පැමිණි ජල මූලාශ්‍රය සහ එම භූමියේ ස්වභාවික පිහිටීමයි.
කිතලබොකු ඔය ඇත්ගාල මැදින් ගලා ගිය අතර වතුර බුබුලෙන් ගලාගිය ජලය කිතලබොකු ඔයට එකතු වේ. මෙසේ ගලා යන කිතලබොකු ඔය පනාමුර ඇඹිලිපිටිය මායිමේ දී හුලංදාව ඔයට වැටේ. පසුකාලයක ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව ඉදිකරනු ලැබුවේ හුලංදාව ඔය හරස් කිරීමෙනි. මේවා පසුකාලීනව ඉදි වූ ඒවා ය.
ප්‍රදේශවාසීන් අතර දිය බුබුල පිළිබඳ ජනප්‍රවාද ද පවතී. අලි රංචු පැමිණ හඬ නඟන විට උල්පතේ ජල ප්‍රවාහය වැඩි වන බවත්, එය ගෞරවයෙන් සැලකූ ස්ථානයක් බවත් පැරණි වාර්තාවල සඳහන් වන එක් ජනප්‍රවාදයකි. එය විද්‍යාත්මකව තහවුරු කර නොමැති නමුත්, දේශීය ජනශ්‍රැතියේ එන වැදගත් දේවල් ය.

හීලෑ අලියකු තමන් සතුව හිඳීම අපේ අතීත සමාජයේ ධනවත්කම කියා පෑ ප්‍රධාන සාධකයක් විය. ඒ නිසාම එකල වංශක්කාර ධනවතුන් තම දියණියන් විවාහ කර දෙනවිට දායාදයට අලියකු හෝ ඇතෙකු ද දීමේ සිරිතක් පැවතිණි. ඇත්ගාල් පවත්වා අල්ලා ගන්නා ලද අලි ඇතුන් වෙන්දේසි කිරීමේ දී අලියකු හෝ ඇතකු මිලදී ගැනීමේ අපේක්වෙන් එම වෙන්දේසිපොලවල්වලට පැමිණි ධනවතුන් බොහෝ විය.
ලබන සතියේ යළි හමු වෙමු.
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් ඓතිහාසික පනාමුර ඇත්ගාල පදනමේ නිර්මාතෘ හිටපු නියෝජ්‍ය පොලිස්පති සමන් රත්නායක මහතාටත්, පනාමුර මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර ඇත්ගාල පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු ක්ෂේත්‍ර නිලධාරී ඓතිහාසික පනාමුර ඇත්ගාල පදනමේ සාමාජික ඩබ්ලිව්.එම්. පියදාස මහතාටත් ස්තුතියි.
ඡායාරූප - පනාමුරේ අරුණ ගමගේ සහ අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා








