දැන් ආයෙත් මම සුපුරුදු පරිදි වැඩ. මම වෙලාව බැලුවෙ නිකමට වගේ. හරියට ම හතයි විස්සයි. ඒ එක්ක ම පැන්ට්‍රිය ඉස්සරහින් ''මචං... රොහාන් කියන්නෙ උඹට නෙ නේද...?'' කියනවා ඇහුණ මම ''ඔවු මචං... ඇයි...?" කියල ඒ සුදහත්වයෙන් ම ඇහුවා.
''උඹව හම්බෙන්න සුසන්ත කියල කොල්ලෙක් ඇවිත්..."
'දෙයියනේ...! සුසුන්ත ඇවිත්...!!'
මම පැය විසිහතරකටත් වඩා වැඩි කාලයක් බලාගෙන හිටපු අවස්ථාව... දැන් තමයි අම්පිටිය අයියගෙ උදව්ව වුවමනා වෙන වෙලාව.
''මචං... ඒ... ඒ... මගේ යාළුවෙක්... මේ... මේ... අම්පිටිය අයිය ඉස්සර ඉන්නව ද...?''
පණිවිඩය අරගෙන ආපු කොල්ල ආපහු යන්න හැරෙනවත් එක්ක ම මම එයාගෙන් ඇහුවා.
''අම්පිටිය...?''
යන්න ගියපු කොල්ලා ආයෙ පැන්ට්‍රිය ළඟට ආවෙ පුදුමයෙන් වගේ එහෙම අහන අතර ම යි.
''ඔවු මචං... අම්පිටිය අයියා..."
''ම්ම්ම්... දැන් ටිකකට කලින්නං හිටියා... ඇයි අම්පිටියව හොයන්නෙ...?"

''මෙ මේ... අම්පිටිය අයියා කිව්ව මගේ යාළුව ආවොත් එයැයිට කියන්න කියල... මං... මං යාළුවත් එක්ක ඩිංගක් කතා කරල එනකං එයැයි පැන්ට්‍රියෙ ඉන්නං කිව්ව... ඒකයි මචං...''
මම කොල්ලට ඇත්ත ම කිව්වෙ මට සුසන්තව හමු වෙන්න තියෙන හදිසිය නිසා ම යි.
''හරි හරි... හිටහංකො... මං බලල කියන්නං... එහෙම නැහ්නං මං යාළුවට ඇතුළට එන්න කියන්නං...''
'සුසන්ත ඇතුළට ආවොත් සමහර විට මට එයැයි එක්ක එළියට යන්න බැරි වේවි...'
''නෑ මචං... ඔ්න්නැ... පුළුහන්නං සුසන්තට කියන්නකො මං ඩිංගකින් එනවයි කියල. ඒ එක්ක ම අම්පිටියයියවත් බලහං මචං..."
''හරි මචං...'' කියපු කොල්ලා කඩ් ඉස්සරහ පැත්තට යනවා මම බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්.
ඇත්තට ම මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ දැන්. සුසන්ත හොදින් ඉන්නවනෙ... දැනට ඒ හොඳට ම ඇති.
'අනේ අම්පිටියයියේ විජහට වංරෙංකෝ...'

මමවත් නොදැනුවත්ව ම මගේ හිතට මොකක්දෝ වෙනව වගේ දැනෙනවා. ඒ එක්ක ම මගේ ඇස් ඉදිරියේ මැවෙන්න ගත්තෙ අපි දෙන්නා ගාල්ලෙන් පිටත් වුණ වෙලාවෙ ඉඳල මට මේ ජොබ් එක ලැබෙන තූරු ම අපි දෙන්නා දවස් දෙකක් ගත කරපු විදිය. මට ජොබ් එක කරන්න කියල සුසන්ත ඉබාගාතෙ ඇවිදගෙන ගිය විදිය.
'දෙයියනේ... සුසාට ජොබ්බෙකක් හම්බෙන්න ඇති ද... එහෙමත් නැහ්නං තවම මොකක්කවත් ලැබිල නැතුව ද... එහෙම උනොත්...'
මම එහෙම හිතද්දි ම පැන්ට්‍රියෙ දොර ඇරගෙන ඇතුළට ආවෙ අම්පිටිය අයියා.
''ආ... යාළු මාළුවා ඇවිත්ලු නේද... සන්තෝසයි සන්තෝසයි හරි..."
මට දැනුණ සතුට වගේ ම සතුටක් අම්පිටිය අයියටත් දැනිල වගේ. එයත් ඉන්නෙ මූණ පුරාම හිනාවකින් පුරවගෙන.
''ඉතිං තවත් බලං ඉන්නෙ... ගිහිං යාළුව ව එක්කරගෙන වරෙං; එක්කරගෙන ඇවිත් මොනව හරි කන්ඩ බොන්ඩ දිපං...''
''ඔවු අයියෙ... එහෙනං මං යන්න ද...?"
මම එහෙම ඇහුවෙ ඉහිලුම් නැති සතුටකින්.

''පලයං පලයං... ඊයෙ දවස තිස්සෙයි අදයි දෙකේ ම උඹ කෙල්ල තරා වෙච්ච කොල්ල වගේ හිටියෙ ඔ්කනේ... මං මෙහේ බලාගන්නං... මං කිව්ව වගේ ඉස්සෙල්ලම කඩේට එක්කරගෙන ඇවිත් මොනව හරි කන්ඩ බොන්ඩ දීපං; ඊට පස්සෙ කඩේ වහනකං හරි කතා කරල කඩේ වහන්න කලිං වරෙං... මං මෙහේ සේර ම බලාගන්නං...''
ඒ තමයි අම්පිටිය අයියා... ඇත්තට ම මට එහෙම මනුස්සයෙක් හම්බ වුණේ මගේ පරණ පිනකට ද කොහෙද... මගේ විතරක් නෙවෙයි සුසන්තගෙත්.
* * *
මම පුළුවන් තරම් ඉක්මනට කඩෙන් එළියට ආවෙ සුසන්තව දකින ආසාවෙන්; හරියට මාස ගණනාවකින් හමු නොවුණ පෙම්වතිය දකින්න එනව තරම් ආසාවකින්. කඩේ පඩි තුනත් ගොඩවෙලා පෙම්න්ට් එකට ආපු මම නිකමට වගේ ඉස්සරවෙලා ම බැලුවෙ දැකුණු පැත්ත; ඒ කියන්නෙ එදා සුසුන්ත ඇවිදගෙන ගියපු පැත්ත; නමුත් ඒ පැත්තෙ සුසන්ත හිටියෙ නෑ. ඒ එක්ක ම වගේ මට වම් පැත්ත බැලුණෙ ඉබේට ම වගේ; මෙන්න සුසන්ත ඉන්නවා.
''සුසන්ත...!"
''යසේ...!''

මම සුසන්තවත්, සුසන්ත මාවත් බදාගත්තෙ හරියට රළ පහරක් ඇවිල්ලා වෙරළ බදා ගන්නව වගේ දෙන්න ම රළ; දෙන්න ම වෙරළ...
''ඉතිං සුසා... කොහොම ද...?"
''ඊයෙ මං මෙතන ඉඳං වැල්ලවත්තෙ පාලම පහුවෙලා සැවෝයි එක ගාවට වෙනං ම පාර මාරු වෙවී කඩවල් දහයකට වඩා ගියා; ගිහින් ජෙබ් ඒකක් බැලුවා. ඒ උනාට ඒ එක කඩේකවත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණා.''
සුසන්ත කතාව පටන් ගත්තෙ එහෙම. හැබැයි එයා ඔය කියපු වැල්ලවත්තවත්, සැවෝයි හෝල් එකවත් තියෙන්නෙ කොහේද, එතනට මෙතන ඉඳල කොච්චර දුරද කියල මම දැනගෙන හිටියෙ නෑ. මට පුළුවන් වුණේ සුසන්ත කියන දේවල් අහගෙන ඉන්න විතරයි. මම සුසන්තට කතා කරා ගිහින් මොනව හරි කාල තේ බොමු කියල; ඒත් සුසන්ත ඒකට කැමති වුණේ නෑ. එයා කිව්වවෙ ම ''ඔ්න්නැ යසේ... මං දැං ඩිංගකට කලිං කඩෙං තේකක් බීල ආවෙ,'' කියල.
''යසේ... අපි ඩිංගක් වැල්ල දිහට්ට යං ද...?''
සුසන්ත එහෙම ඇහුවෙ මේ පැත්ත හුරු පුරුදුකාරයෙක් වගේ.
''වැල්ල දිහට්ට...! කොහෙන්ද වැල්ලට යන්නෙ...?"

මම ඊයෙ රෑ කළුවරේ ම මුහුද දැක්කට හරියට වැල්ල දැක්කෙ නෑ. අද උදේ වුනත් ඒ ජනේලයෙන් එහා පැත්තෙ මුහුදක් තියෙනව කියල මතක් වුණේ ම නෑ. පහළ තට්ටුවට බැස්සත් අඩි අටක දහයක තාප්පයට එහා පැත්තෙ මුහුදක් තියෙනව කියල පේන්නෙ නෑ; හැබැයි සද්දෙ නං ඇහෙනවා; මුහුදෙ සද්දෙ වගේ ම කෝච්චි සද්දෙ.
''ඔයි පාර අයිනෙං ඔ්නි තරං පාරවල් තියෙනෝ... අපි යංකො.''
සුසන්ත කතා කරේ එහෙම යන අතරතුර.
කොළඹ පැත්තට අඩි විස්සක් විතර යද්දි පහළ පැත්තට... ඒ කියන්නෙ මූද දිහාට පාරක් තිබුණා.
''මෙතනිං යං... මේ පාර කෙළවර වෙන්නෙ රේල්පාරෙන්; රේල් පාර පැන්න ම මුහුද?''
සුසන්ත කිව්වෙ ඇත්ත; යාර දහයක් විතර ඇවිදගෙන එද්දි හරියට මූද පේන්න පටන්ගත්තෙ චිත්‍රයක් වගේ. ඒ කියන්නෙ උස වැඩි, පළල අඩු චිත්‍රයක්; ඒ චිත්‍රෙ දෙපැත්තෙ ම ගෙවල්... ඩිංගක් දුරින් රේල් පාරෙ සිල්බර කොට දහයක් පහළොවක්, ඊට ටිකක් එහායින් වැල්ල; රළ එකින් එක ඇවිත් වැල්ල බදාගන්නවා. ඊටත් ඩිංගක් එහායින් මූද.

අපි දෙන්නා ඒ චිත්‍රය මැදින් ගෙවල් පහු කරගෙන යාර තිහක් හතළිහක් ඉස්සහට යද්දි ගෙවල් පේළිය අතුරුදන් වුණා; වමටයි දකුණටයි විහිදුනු රේල්පාරෙ ඉමක් කොනක් නොපෙනෙන තරම්; ඇතට යන්න යන්න රේල් පාර ඒකතු වෙලා වගේ; එහෙම පේන්නෙත් අඳුර මැදින්. ඉස්සරහින් මහා විසාලෙට මුහුද. ඒකත් ටිකක් විතර අඳුරුයි. මම කාලයක් මුහුද පෙනෙන දුරක පදිංචි වෙලා හිටියත් මේ දර්ශනය මට හරි අමුතුයි.
''යසේ...''
මම පියවි ලෝකයට ආවෙ සුසන්තගෙ කටහඬින්. මෙච්චර දුරක් කොහොමද ආවෙ කියලවත් මට මතක නෑ. මම වට පිට බැලුවෙ මම දැකපු චිත්‍රය කෝ කියල; ඒත් දැන් එහෙම එකක් නෑ. දකින්න තිබුණෙ මම මේ කියපු දර්ශන ටික.
''මොකෝ ඔහේ පුදුම වෙලා වගේ... හරියට මෙයිට කලිං වැල්ලට ඇවිත් නෑ වගේ නෙ... යං... අපි අර රේල් පාර අයිනෙං වාඩි වෙමු..."
ඒක නම් ඇත්ත. මට ඒ මොහොත දැනුණෙ ම එහෙම; අපි වැල්ල දිහාට ආවෙ මොකට ද කියන කාරණයත් මට අමතක වෙලා. පස්සෙ අපි දෙන්න ම ගිහින් රේල් පාර අද්දරින් වාඩි වුණා.

''නෑ සුසා... මූද ගෙයි පිළිකන්නෙ තිබුණ කාලෙවත් වින්දෙ නැති ලස්සනක් නෙ අපි පහු කරේ... හරි... දැං කියන්නකො... ඔය සැවෝයි ද මොකද්ද කියන එක ගාවට පස්සෙ මක්කයි උණේ...?''
''එයිට කලිං කියනවකො කොහොමෙයි මෙහෙම එළියට ආවෙ කියල... දැං වැඩ නැතෙයි...?''
ඊට පස්සෙ මම සුසන්තට හැම දෙයක් ම කිව්වා: මැනේජර් ගැන, පේමෙ අයිය ගැන, පිඟන් හෝදන මනුස්සය ගැන, අම්පිටිය ගැන. ඊයෙ රෑ වුණ සිද්ධිය ගැන, එතනදි පේමෙ අය්යත් එක්ක පැටලුණ කෙනා ගැන... ඒ හැම දෙයක් ම කිව්වා.
''ඉතිං... කියනවකො... ඔයැයිට මක්කයි උණේ කියල..."
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 06/ 21
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





