ඊට පස්සෙ මම සුසන්තට හැම දෙයක් ම කිව්වා: මැනේජර් ගැන, පේමෙ අයිය ගැන, පිඟන් හෝදන මනුස්සය ගැන, අම්පිටිය ගැන. ඊයෙ රෑ වුණ සිද්ධිය ගැන, එතනදි පේමෙ අය්යත් එක්ක පැටලුණ කෙනා ගැන... ඒ හැම දෙයක් ම කිව්වා.
''ඉතිං... කියනවකො... ඔයැයිට මක්කයි උණේ කියල..."
ඉවසාගෙන ඉන්න බැරිම තැන මම සුසන්තගෙන් ඇහුවා.
සුසන්ත

''මං කලිනුත් කිව්වනෙ... 'ඊයෙ මං මෙතන ඉඳං වැල්ලවත්තෙ පාලම පහුවෙලා සැවෝයි එක ගාවට වෙනකං ම පාර මාරු වෙවී කඩවල් දහයකට වඩා ගියා; ගිහින් ජොබ් එකක් බැලුවා. ඒ උනාට ඒ එක කඩේකවත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණා.' කියල...''
සුසන්ත ආයෙත් කලින් කියපු දේ ම කිව්වා.
''හරි හරි බං... මං අහන්නෙ පස්සෙං පහු මක්කයි උණේ කියල; ඔයැයිට මොකක් හරි වැඩක් හම්බුනයි...?"
''ඔවු... මං සැවෝයි එක ඉස්සරහදි පාරෙ යන එකෙක්ගෙන් වෙලාව ඇහුවා. මිනිහ කිව්වා 'දහයයි විස්සයි' කියල... ඇත්තට ම යසේ මට ඒ වෙද්දි වැඩ හොයන එක එපා වෙලා තිවුණෙ. ඔ්න එකක් වෙන්න කියල මං දහයයි තිහ පිචර් ඒක බැලුවා.''
සුසන්ත පිචර් ඒකක් බැලුව කිව්ව ම මටත් උන් හිටි තැන් අමතක වුණා.

''ඇත්තෙයි... මක්කයි පිචර් එක... ඉංග්ලිෂ් එකක්ය... ෆයිට් එකක් ද, හොරර් එකක් ද, ත්‍රිලර් එකක් ද... එහෙමත් නැහ්නං අඩල්ට්ස් එකක් ද?"
සුසන්තට හිනා. හිනාවෙන ගමන් ම සුසන්ත කතා කරා.
''ඔහේ විස්සාස කරන්න යසේ මං හෝල් එකට රිංගුවෙ පිචර් එක මොකද්ද කියලවත් බලන්නැතුව..."
සුසන්තගෙ මූණෙ හිනාව තවමත් ඒහෙම ම යි.
''හත්තිලව්වෙ... ඉතිං...''
''ඉතිං කියන්නෙ... ටිකට් අරං ගිහිං වාඩි උනාට පස්සෙ මොන මගුලක් උනත් බලන්න එපැයි...''
''අන්තිමේ බලද්දි මළ ජරාවක්... එහෙමෙයි...?''
සුසන්ත එයාගෙ කතාව කියල ඉවර වෙන්නත් කලිං මම මැදට පැන්නා.
ඉඩි අමින්
''පිස්සු ද... ඒක මරු පිචර් එකක්... ඉඩි අමින් ගැන.''
සුසන්තගෙ ඒ වචන ටිකත් එක්ක ම මට සුසන්ත ගැන අහන එක අමතක වුණා.
''අම්මටහුඩු... අඩේ... එහෙනං මටත් බලතැකි නේ... මොකද්ද පිචර් එකේ නම..."
දැන් ඒ ෆිල්ම් එකේ නම අහගන්න තුරු මට ඉවසිල්ලක් නෑ.
සුසන්ත ආයෙත් අමුතු විදියට හිනාවෙන අතර තුර ම ''හෝල් එකට රිංගද්දි නම බැලුවෙ නැති උනාට පිචර් එක ඉවර වෙලා එළියට ඇවිදිල්ල අහක්කෙල නම බැලුව.'' කියල කිව්වා.
''මක්කයි නම...?''
එසැණින් ම මම සුසන්තගෙන් ඇහුවෙ පුදුම හදිසියකින් වගේ.

''මං නං ඒ නම කියව ගත්තෙ රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ඉඩි අමින් (The Rice and Fall Of Idi Amin) කියල. හරිද්දන්නෑ.''
සුසන්ත එහෙම කිව්වෙ සැකෙන් වගේ.
''හරි ඇති හරි ඇති... මට තේරෙන විදියට නම් ඒ නමේ තේරුම ඉඩි අමින්ගේ නැගීම සහ කඩාවැටීම... නම හරි ඇති... හරි හරි... දැං කියනෝකො ඊට පස්සෙ මක්කයි උණේ...?''
සුසන්ත කතාව කියන් පටන් ගනිද්දි ම ''හූඌඌඌඌඌ ලකඩස් බකඩස් ලකඩස් බකඩස්... ලකඩස් බකඩස් ලකඩස් බකඩස්...'' කියාගෙන කෝච්චියක් කොළඹ පැත්තට වේගයෙන් ඇදිල ගියා. මුහුදෙ සද්දෙ කොච්චර තිබුනත් අපි දෙන්න කතා කරන දේවල් අපි දෙන්නට ඇහුණා. ඒත් කෝච්චිය එහෙම නෑ; එයා හැමදාම හැම තැන ම කරේ එයාගෙ වැඩේ කරගත්ත ඒක විතරයි.
කෝච්චිය ඈතට ම ඇදෙන තුරු බලාගෙන හිටපු සුසන්ත ආයෙත් කතාව පටන් ගත්තා.
''පිචර් ඒක බලල එළියට එද්දි හොඳට ම බඩගිනියි. ඒ වෙලාවෙ මං දැක්ක පොඩ්ඩක් ඉස්සරහ... ඒ කියන්නෙ දෙහිවල දිහට්ට යන පැත්තෙ, පාරෙන් එහා පැත්තෙ සයිවර් කඩයක් තියෙනව. එහෙම වෙලාවට ඉතිං තෝසෙ පාරක් නොදා පුළුවනෑ...

මං කඩේට තෝසෙ කන්න යද්දි කඩේ සෙනඟ පිරිල. වැඩි හරියක් හිටියෙ මේෂන් බාස්ල වගේ කට්ටියක්. එයැයිලගෙ ඇඳුම් දැක්කහම මට කියන්න පුළුවං. මාත් ඔය පැත්තකිං වාඩි වෙලා තෝසෙ දෙකක් අඹරල සල්ලිත් ගෙවල කඩෙන් එළියට ඇවිත් බලාන හිටිය අර බාස්ල යන්නෙ කොයි පැත්තට ද කියල. එයැයිල කට්ටියක් තෝසෙ කඩේ අයිනෙන් ම තිවුණ පාර දිගේ පහළට ගියා; තව කට්ටියක් ඒ පොඩි පාරෙ අනික් පැත්තට පැන්නා. මං එතකොට තමයි දැක්කෙ එතන හෙණ විසාල බිල්ඩිං එකක් හදනව. හරියට ම සැවෝයි එක ඉස්සරහ; ඒකියන්නෙ ඒ ගොඩනැගිල්ල ඉස්සරහට ගියාම පාරෙං අනික් පැත්තෙ හෝල් එක.''
''ඉතිං ඉතිං...''
ඉවසිල්ලක් නැති මම ආයෙත් මැදට පැන්නා.
''ඉතිං කියන්නෙ... මං අර බාස් කෙනෙක් වගේ කෙනෙක්ගෙන් ඇහුව 'අයියෙ... ඔහේල වැඩ කරන තැන කට්ටිය ගන්නව ද...?' කියල...''
දැන් මම හා හූවක් නැතුව කතාව අහගෙන ම ඉන්නවා. සුසන්ත කතාව කියනවා.
''ඒ මනුස්සය පොඩ්ඩක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳල 'තමුසෙට මේසන් වැඩ පුළුහං ද...?' කියල ඇහුව... මං කිව්ව මට මේසන් වැඩනං බෑ ගෝල වැඩේ නං ඇහැකිය කියල."
ඒ වෙලාවෙ නම් මමත් නොදැනුවත්ව ම වගේ මගේ කට ඇරුණා.
''හත්තිලව්වෙ... ඉතිං... ඔයැයි මීට කලිං ඒ වැඩ කොරල තියෙයි...?''
මම එහෙම ඇහුවෙ මම දන්න කාලෙක සුසන්ත එහෙම වැඩ කරල නොතිබුණ නිසා.

''රස්සාවටෙයි කියල එහෙම කරල නෑ... ඒ උනාට ඔයි ගමේදි ගෙවල් හදන තැන්වලදි උදව් කරල තියෙනව නෙ... එව්වයි තියෙන්නෙ ඉතිං ඔය බදාම අනන්නයි, එව්ව බාස්ල ගාවට ගොහින් දෙන්නයි, ගඩොල් අදින්නයි වගේ වැඩ නෙ...මේක අහනවකො... ඉතිං මිනිහ කියපි 'ගෝලයො නං ගන්නෙකක් නෑ. මං අහගෙන ඊයෙ හැන්දෑවෙ මහත්තෙයයි ලොකු බාස්උන්නැහෙයි කතා වෙනෝ බාස්ල නං ගන්නෝන කියල. කොයිකටත් තමුසෙ හවස හතරට විතර එනවකො. ඒ වෙලාවට ලොකු බාස්උන්නැහේ ඉන්නව.' කියල...''
''එතකොට වෙලාව කීයට විතර ඇතෙයි...?''
මම ආයෙත් කතාව මැදට පැන්නා.
''ම්ම්ම්... එතකොට මයි හිතේ එකට එකහමාට්ට විතර ඇති. ''
''ඉතිං..."
''පස්සෙ මං ඉතිං හෙමිහිට වැල්ල පැත්තෙ රවුමක් දාල එහෙම පාරෙ යන මිනිහෙක්ගෙන් වෙලාව අහගෙන හතරයි දහය විතර වෙද්දි බිල්ඩිං එක හදන තැනට ගියා.''
''ඉතිං... ඒ යද්දි බාස්උන්නැහේ ඇවිත් හිටියයි...?''
''ඇවිත් හිටිය ඇවිත් හිටිය... බාස්උන්නැහේ කිව්වට ඌත් අවුරුදු තිහක ඉතර කොල්ලෙක්... පස්සෙ මං එතෙන්ට ගිහින් විස්තරේ කිව්ව...''
බාස් උන්නැහේ
''මීට කලිං අත් වැඩ දීල තියෙනව කිව්වනෙ නේද... කෙච්චර කල් එහෙම වැඩ කරල තියෙනව ද, කොහේද ඒහෙම වැඩ කරල තියෙන්නෙ...?"
මම කොල්ලගෙන් ප්‍රශ්න වැලක් ම අහගෙන අහගෙන ගියා. දැනෙන විදියට කොල්ලට එහෙමකට පළපුරුද්දක් නෑ.. ඒත් ඉතිං රස්සාවක් හොයාගෙන ආපු තරුණ කොල්ලෙක්නෙ. අනික තව ගෝලයො දෙතුන් දෙනෙක් වුනත් මෙතෙන්ට වැඩි නෑ. ඒත් ඉතිං ඒක පාරට ම රස්සාවල් දෙන්නත් හොඳ නෑ. එතකොට අගයක් නැහැ නෙ...
''ඔයාට මෙහේ ඉන්න තැනක් තියෙනව ද මල්ලි...?''
කොල්ල ඒකට කතා කරල උත්තර දෙනව වෙනුවට ඔළුව දෙපැත්තට වැනුවෙ එහෙම තැනක් නෑ කියල කියනව වෙනුවට.

''හරි... මෙහෙමයි... අපි ගෝලයකුට දවසට ගෙවන්නෙ රුපියල් විස්සයි. රුපියල් දහයක් වියදං සල්ලි දෙනව. මෙහේ වැඩ කරන සමහර අය කන්නෙ කඩෙං... සමහර අය අර පල්ලෙහා බිල්ඩිං එකේ තියෙන වාඩියෙ උයාගෙන කනව. කොහොමටත් රෑට නිදාගන්න වෙන්නෙ එහෙ තමයි. ඒ හිංද කැමතිනං රෑට එහෙං කන්නත් පුළුවං. නිමල් අයිය තමයි වාඩිය බාරව ඉන්නෙ... ඔයා හෙට උදේ හත හතයි කාල වෙද්දි එන්න. මෙහේ වැඩ පටං ගන්නෙ හතහමාරට; ඉවර වෙන්නෙ හවස පහට. සමහර දවස්වලට හත අට වෙනකලුත් වැඩ කරනවා. එහෙම දවසට අමතර ගෙවනවා.''
මම කියන හැම දේකට ම කතා නැතුව ඔළුව විතරක් වනපු කොල්ල අන්තිමට ඇහුවෙ ''වාඩියෙ නතර වෙලා ඉන්නවටත් සල්ලි දෙන්න ඔ්නෙයි,'' කියල විතරයි.
මට තනියම හිනා. ඒ කියන්නෙ කොල්ල මිට කලින් මෙහෙම වැඩපළක වැඩ කරල ම නෑ.
''නෑ නෑ... නැවතිලා ඉන්නවට සල්ලි ගන්නෑ. රැට උයාගන්න නිමල් අයියට උදව් කරාම ඇති. හරි... එහෙනං ගිහිං හෙට උදෙංම එනවකො... ආහ්... ඒක නෙවයි... මොකද්ද ඔය මල්ලිගෙ නම...?''
''මං සුසන්ත; සුසන්ත ප්‍රදිප්...''
''හරි සුසන්ත... එහෙනං හෙට උදෙං ම එන්නකො...''

සුසන්ත
''බාස්උන්නැහේ එහෙම කිව්වෙ මට යන්න කියන එක කියල මට හොඳට ම තේරුණා."
''අප්පටසිරි... ඊට පස්සෙ මක්කයි කරේ...?''
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 06/ 28
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





