පසුගිය දිනෙක ජනක කුඹුකගේ විසින් ඉදිරිපත් කරනු ලබන ‘‘Lines and Beyound ’’ නමැති Youtube නාලිකාව සමග සමග සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රවීණ
රංගධර ගිහාන් ප්‍රනාන්දු අපූරු ප්‍රකාශක් කළේ ය. එනම් ‘‘දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත’’ යන ප්‍රකාශය සම්බන්ධයෙනි. ඔහු එහි දී පවසා සිටියේ අදාළ ප්‍රකාශය අමු තක්කඩි ප්‍රකාශයක් බව ය. එය සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් මම ද බොහෝ තැන්වල ලියා ඇත්තෙමි.
නමුත් ගිහාන්ගේ ප්‍රකාශයේ වැදගත්ම ලක්ෂ්‍යය වූයේ අදාළ ප්‍රකාශය කාගේ ද යන්න කිසිවකු, කිසිම තැනක සඳහන් කර නොමැති බව හෙළිදරව් කිරීම ය. එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ එම ප්‍රකාශය තක්කඩි දේශපාලකයන් විසින් තමන්ගේ ම වාසිය වෙනුවෙන් කනු ලැබර ඇති ප්‍රකාශයක් බවයි.
ගිහාන්ගේ එම ප්‍රකාශයෙන් පසු සැබැවින් ම එසේ පවසා ඇත්තේ කවුදැයි යන්න සොයා බැලීමේ පිපාසාවක් මට ද ඇති විය. නමුත් ගිහාන් පැවසූ පරිදි ම අදාළ ප්‍රකාශය කවුරුන් විසින් කොතැනක දී කළ ප්‍රකාශයක් ද යන්න සොයාගැනීම අපහසු විය. එසේ වුව ද ‘‘කල්පිත ලන්තය’’ නමැති බේ අඩවියේ පළ වි තිබූ එක් ලිපියක ''දේශපාලනයේදී “සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත” ලලිත් ඇතුලත්මුදලිගේ කියමන ධනපති දේශපාලනයේ හැටියකි.'' යනුවෙන් සඳහන් වී තිබිණ. එය කෙතරම් දුරට නිවැරැදි ද යන්න පිළිබඳව සාක්ෂි සොයාගැනීමට අපහසු විය. එහෙත් අදාළ ප්‍රකාශය ‘‘තක්කඩි ප්‍රකාශයක්’’ බව නම් අවබෝධ කරගැනීම සඳහා නම් මේ වන විට ලංකාවේ පවතින දේශපාලන වටපිටාව කදිම උදාහරණයකි.
යට සඳහන් වදන් වැල සටහන් කළේ අද ලියන ‘ආලින්දයෙන් ඔබ්බට’ කලා විචාර ලිපියට පෙර සඳහනක් ලෙසිනි.
චාමර ජනරාජ් පීරිස්ගේ නිර්මාණයක් වන, ස්වාධීන රුපවාහිනී නාලිකාවේ විකාශනය වූ ‘‘වීදුරු මල්’’ ටෙලි නිර්මාණය ද ලලිත් ඇතුලත් මුදලි පැවසුවා යැයි සඳහන් එම තක්කඩි ප්‍රකාශය වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ කෙරෙන ටෙලි නිර්මාණයකි. එබඳු ටෙලි නිර්මාණයක් ස්වාධීන රුපවාහිනියේ විකාශනය කිරීම සම්බන්ධයෙන් එක් පසෙකින් විමතියක් දැනෙන අතර අනෙක් පසින් එය විකාශනය කිරීම අනුමත කළ කුමන හෝ බලධාරියාට හෝ නිලධාරියාට ද ස්තුති කළ යුතු ය.
සමස්ත නාට්‍ය පුරා ම දක්නට ලැබෙන දේශපාලන ක්‍රීඩාව (The political game) මෙරට දේශපාලනයේ යථාර්ථය පිළිබඳ අවබෝධයකින් තොර ප්‍රජාව වික්ෂිප්ත කරවනසුලු ය. එමෙන් ම අනාදිමත් කාලයක සිට මෙරට පැවති, මේ වන විට කූටප්‍රාප්තියට පැමිණ තිබෙන ‘ශ්‍රී ලාංකීය දේශපාලනයේ’ ශුද්ධ නිරුවත ප්‍රදර්ශනය කිරීමකි; එහි මුග්ධභාවයේ, දූෂිතභාවයේ, අමනභාවයේ සහ තක්කඩිභාවයේ පිළිබිඹුවකි.
මෙරට යටත් විජිත පාලනයෙන් මිදී (මිදුණා යැයි සිතා) ගතවූ වසර හැත්තෑපහකට ආසන්න කාලයේ දී පක්ෂ දේශපාලනය වෙනුවෙන් රටේ සිවිල් වැසියන්ගේ ජීවිත කොපමණක් නම් බිලි දී ඇති ද...? එම බිලිවීම එක්සත් ජාතික පක්ෂය ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, ජනතා විමක්ති පෙරමුණ (පාර්ලිමේන්තු දේශපාලනය තුළ) ද, වෙනත් විවිධ පක්ෂ ද ඔවුනොවුන්ගේ පාක්ෂක පාක්ෂිකාවෝ කොපමණ නම් බිලි දී ඇති ද...? පාක්ෂික පාක්ෂිකාවෝ ඒ ආකාරයට තමන් කැමති පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන විට අනෙක් පසින් අදාළ පක්ෂවල නායකකාරාදිහු කරන්නේ කුමක් ද...? ඔවුහු විරුද්ධ දේශපාලකයන්ගේ ප්‍රිය සාදවල එකට එක්වී විනෝද වෙති. මධුපානොත්සව පවත්වති.
එම යථාර්ථය සාමාන්‍ය ඡන්ද දායකයා වටහාගන්නේ කවදා ද යන්න අදට ද ගැටලුවකි. රටේ ඡන්ද දායක ප්‍රජාව මෙය මැනවින් අවබෝධ කරගන්නේ නම් 2022/05/09 වන දිනයෙන් ඉක්බිති මෙරට සිදුවූ දේශපාලන පෙරළිය වුවමනාවටත් වඩා කදිම උදාහරණයකි. නමුදු ලාංකීය ඡන්ද දායක ප්‍රජාව එළඹෙන මැතිවරණයක දී එය අමතක කරන බව හෙට දිනයේ සූර්යෝදයටත් වඩා විශ්වාස ය. රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමීම සඳහා නිර්ලජ්ජිත ලෙස දායක වූ ඇතැම් දේශපාළුවෝ මේ වන විට රඟදක්වන පිළිකුල් සහගත රංගන නැරඹීම සඳහා සහභාගි වන ඡන්ද දායක ප්‍රජාව දකින විට එය මැනවින් පැහැදිලි කරගත හැකි ය.
‘‘විදුරු මල්’’ ටෙලි නිර්මාණය තුළින් මෙරට දේශපාලන භූමිකාවේ නිරුවත් පාර්ශ්ව කිහිපයක් ම නිරාවරණය කර ඇත. එහි දී ඍජුව ම දේශපාලනය සම්බන්ධ, එහෙත් දේශපාළුවෝ නොවන මිනිස් ප්‍රජාව අනෙකාගේ දේශපාලනය වෙනුවෙන් කෙතරම් අසීරු අවධිවලට මුහුණ දෙනවා ද යන්න ඉතා මැනවින් පිළිබිඹු කර ඇත.
තවත් පසෙකින් ගත් විට පාලක පෙළැන්තිය තම බලාධිකාරිය චිරාත් කාලයක් පවත්වා ගැනීමේ තිර අදිටනින් යුතුව හොඳින් හෝ නරකින් බලය එකිනෙකා අතර බෙදා ගන්නා අන්දම ද මෙම ටෙලි නිර්මාණය තුළ දක්නට ඇත. එය වර්තමාන තත්ත්වය ඉතා මැනවින් ප්‍රකට කරන සිතුවම් පෙළකි.
රටේ අල්ප පිරිසක් පිළිගන්නා, දන්නා සත්‍යට අනුව පාස්කු ප්‍රහාරය යනු ද යට කී ආකාරයේ බලයට පැමිණීම වෙනුවෙන් කළ ම්ලේච්ඡ මෙහෙයුමකි. එදා ඒ සම්බන්ධයෙන් එවකට පැවති ආණ්ඩුවට චෝදනා කර, ඒ පාලකයන් එළවා දමා බලයට ගෙනා පාලකයෝ අද දවසේ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් විරෝධතා පවත්වන්ට ඇතැම් ආගමික නායකාකරාදින්ට සිදුව ඇත්තේ ඇයි...? ඔවුන් අවස්ථාවාදී ආකාරයෙන් එකී බල හුවමාරුවට සහයෝගය දැක්වූ බැවිනි. දැන් ඔවුන් පත්ව සිටින්නේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන්ගේ තත්ත්වයට ය.
එක් පක්ෂයක් බලයට පැමිණ වසර පහක් හෝ දහයක් පාලනය කිරීමෙන් ඉක්බිති බලයේ සිටින පක්ෂය ද, බලය අත්පත් කරගන්නට යත්න දරන පක්ෂය ද ඔවුනොවුන්ගේ බල තන්හාව වෙනුවෙන් කෙතරම්: නින්දිත, පිළිකුල්, අධම, පාදඩ ක්‍රියාවල නිරතවන්නේ ද යන්න ද විදුරු මල්’’ තුළින් පිළිබිඹු කර ඇත. විශේෂයෙන් ම මෙහි දී අවධානය යොමු කළ යුතු ඉසව්ව ලෙස මගේ අවධානය යොමු වූයේ ‘‘රණවිරු’’ නාමකරණයට ලක් වූ ඇතැම් යුද හමුදා ප්‍රජාවගේ භූමිකාව වෙත ය.
නාමල් විජේසිංහ විසින් තිර රචනය කරන ලද, ආනන්ද අබේනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘වීරයා ගෙදර ඇවිත්’’ ටෙලි නිර්මාණය තුළ (මෙම ටෙලි නිර්මාණය පිළිබඳ මගේ කියවීම ‘විරයා ගෙදර ඇවිත් හෙළිදරව් කළේ මොනවාද’ යන මැයෙන් 2021 ජනවාරි 16 වන දින මෙම වෙබ් අඩවියේ ම පළ කළේ ය.) ද මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡා කර ඇත. විශේෂයෙන් ම තිස් වසරක් පුරා පැවති යුද සමයේ දී අතුරුදන් (missing) වී හෝ කර ඇතැයි සැලකෙන ඇතැම් හමුදා සෙබළු සහ නිලධාරිහු සැබැවින් ම අතුරුදන් වී ඇති ද, එසේත් නැතිනම් ඔවුන් තවමත් ජීවතුන් අතර ද යන්න සහ එසේ අතුරුදන් වී ඇතැයි සඳහන් හමුදා සෙබළු සහ නිලධාරිහු එක් එක් ආණ්ඩුවල නිල නොවන මැර හමුදා ලෙස භාවිත කර ඇති ආකාරය ‘‘වීරයා ගෙදර ඇවිත්’’ ටෙලි නිර්මාණයේ අප වෙත ව්‍යංගයෙන් පවසයි.
‘‘වීදුරු මල්’’ ටෙලි නිර්මාණයේ එම සිද්ධි මාලාව ව්‍යංගයෙන් තොරව ම ඉදිරිපත් කර ඇත. මෙම සිදුවීම් කෙරෙහි මෙරට ඡන්ද දායක ප්‍රජාව ඉතා ගැඹුරු අවධානයක් යොමු කළ යුතු බව මෙම නිර්මාණ ද්විත්වය තුළින් ම අපිට පසක් කරයි. එහෙත් මා කලින් සඳහන් කළ Lines and Beyound නාලිකාව සමග ගිහාන් ප්‍රනාන්දු කළ සාකච්ඡාවේ දී ම මතු කළ තවත් කරුණක් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. එනම් ‘කලා නිර්මාණයක් තුළින් මිනිස් මනස ශෝධනය කළ නොහැකි වුව ද කිසියම් දැනුවත් කිරීමක්, ඉඟි සැපයීමක්, අවධානය යොමු කිරිමක් කළ හැකි ය’ යන්න ය. ‘‘වීදුරු මල්’’ ටෙලි නිර්මාණය තුළින් ද ප්‍රේක්ෂක ජනතාවගේ මනස ශෝධනය කළ නොහැකි වුව ද ශ්‍රී ලාංකීය දේශපාලන භූමියේ පවත්නා පාතාල භූමිකාව මෙසේ ය යන්න ඉතා මැනවින් ප්‍රකට කර ඇත.
මේ වන විට එම නාට්‍ය ලක්ෂ ගණනක් වූ ප්‍රේක්ෂක ජනතාවක් නරඹා ඇති බවට සැක නැත. ඒ අතර මෙරට වෙසෙන ජනතාව සහ විප්‍රවාසි ජනතාව ද සිටිය හැකි ය. ඒ කවුරු වුව ද අදාළ නිර්මාණය ගැඹුරෙන් කියවා ගත්තේ නම් ඊළඟ: පළාත් පාලන මැතිවරණයේ දී, පළාත් සභා මැතිවරණයේ දී, මහ මැතිවරණයේ දී මතු නොව ජනාධිපතිවරණයේ දී වුව ද රටේ පාලනය බාර දිය යුත්තේ කුමනාකාරයේ දේශපාලන ව්‍යාපාරයකට ද යන්න පිළිබඳ පැහැදිලි නිගමනයකට එළඹිය හැකි ය. එය එසේ නොකරන තාක් මෙරට දේශපාලන භූමියේ රඟ දැක්වෙන්නේ මේ විකට නාට්‍යය ම බව සක් සුදක් සේ පැහැදිලි ය.
ඉදින් ‘‘වීදුරු මල්’’ නැරඹීමෙන් ඉක්බිතිව හෝ මෙරට දේශපාලන පාතාලය හඳුනා නොගන්නේ නම් එය දේශපාළුවන්ගේ වරදක් නොව ඡන්ද දායකයන්ගේ නොහැකියාවක්, නොහැදියාවක් මෙන් ම ලජ්ජා විරහිතභාවයක් බව නොකිව මනා ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2022/12/11
ආලින්දයෙන් ඔබ්බට ජයසිරිගේ වෙනත් ලිපි :
ආලින්දයෙන් ඔබ්බට : දශක ද්වයක දේශපාලන ඛේදවාචක ත්‍රිත්වයක් රැගෙන එන ‘‘අඳුන්ගිර’’
ආලින්දයෙන් ඔබ්බට : පිතු සෙනෙහේ ගැඹුර පිළිබිඹු කෙරෙන 'පීතෘ'
ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම
ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'
ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’
ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත
ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?
ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු
ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?
ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත