‘‘වෙල්ලාව පෙරළා දමන ලද්දේ ගැටවුන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
දර කොට වැවට විසි කරන කල හවඩියාගේ නිරුවත් උඩු කයෙහි මස් ගොබ ඉලිප්පිණ. ඔහු යෝධයෙකු මෙන් ගැහැනු පිරිමි ළමා ළපටි අතර උස්ව නැගී සිටියේය. අනෝහාමි ඔහු දෙස බලා සිටියේ අපමණ ආශාවෙනි. කලකට පසු කබරා දුටුවාක් මෙන් සතුටක් ඇගේ ළය පුරා පැතිර ගියේ ය. ඇය ඔහුට ද ඔහු අනුව යන්නන් හටද ආශිර්වාද කළාය.
රෙදි වැල් කඩා දමමින් වැව් පිටිය පුරා දිව යන තරුණයන් නැගූ හඬ හාත්පස රැව් පිළිරැව් දුන්නේය. ඔවුන් එක් කුලයක එක් යුගයක් නිමා කළ බව අනෝහාමි වටහා ගත්තාය. එහෙත් වෙල්ලාව පෙරළා දැමූ පමණින් කුලභේදය අහෝසි වනු ඇත්දැයි සිතා බලන්නට තරම් දැන උගත්කමක් ඇය වෙත නොවීය. ඇය ද ශිෂ්ට සම්පන්න වෙමින් සිටියා ය. කැළයෙන් අවුත් දොළොස් අවුරුද්දක් ගතව තිබුණ ද සැමියාට සහ දියණියට හොරෙන් කංසා උගුරක් අදින්නට ඇය අමතක නොකළාය. ...’’
වාලුකා: ශාන්ති දිසානායක: පිටුව 371: 2012: සරසවි ප්‍රකාශකයෝ

ශාන්ති දිසානායක විසින් රචිත, පිටු 371 (අන්තර්ගතය) දිවෙන ‘‘වාලුකා’’ කෘතියේ කූටප්‍රාප්තිය සටහන් කෙරෙන්නේ යට උපුටාගත් කොටසේ (වෙසෙසින් ම පළමු ඡේදයේ ‘‘වෙල්ලාව පෙරළා දමන ලද්දේ ගැටවුන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. දර කොට වැවට විසි කරන කල හවඩියාගේ නිරුවත් උඩු කයෙහි මස් ගොබ ඉලිප්පිණ. ඔහු යෝධයෙකු මෙන් ගැහැනු පිරිමි ළමා ළපටි අතර උස්ව නැගී සිටියේය.’’ නමැති වාක්‍ය ත්‍රිත්වය කියවන විට පාඨක ප්‍රාවගේ මනසේ මැවුණු රූපරාමු) බව මගේ කියවීම ය; මගේ විඳීම ය. සාහිත්‍ය කෘතියක යටිපෙළ හඳුනාගත හැකි පාඨක ප්‍රජාවට එකී කූටප්‍රාප්තිය හඳුනාගැනීම අසීරු නොවෙතැයි ද මම විශ්වාස කරමි.
එහෙත් වාලුකා කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ ‘‘මහපොළොව’’ ටෙලිනාට්‍යයේ දී යට කී කූටප්‍රාප්ති නිමේෂය වුමනාවෙන් ම අත්හැර දමන්නට තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා වන සුමිත් රත්නායක කටයුතු කර ඇති බව ටෙලිනාට්‍ය නරඹා අවසන් වන විට ‘‘වාලුකා’’ කෘතිය කියවූ පාඨක ප්‍රජාවට හැඟෙනු නොඅනුමාන ය.

මා මෙලෙස ලියන විට ‘‘සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් නිර්මිත ටෙලි නාට්‍ය යනු සාහිත්‍ය කෘතිය ම නොවේ’’ යැයි පවසන්නට සුමිත් රත්නායක මතු නොව තවත් බොහෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු පෙලඹෙනු නොඅනුමාන ය.
කිසිවකු එසේ පවසන්නේ නම් ඔවුන් සියලු දෙනාට මෙන් ම තමන්ගේ සාහිත්‍ය කෘති සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් බවට පත් කරන්නට අවසර දෙන්නට ප්‍රථම ඩබ්ලියු. ඒ. සිල්වා චරිතය (‘කතා රජ කතාව’) කියවන මෙන් මෙරට ලේඛක ලේඛිකාවන්ගෙන් ද මම ඉල්ලා සිටිමි.
ඩබ්ලියු. ඒ. සිල්වා ඔහුගේ ප්‍රබන්ධ නිර්මාණයක් වන කැලෑහඳ කෘතිය සිනමා නිර්මාණයක් සඳහා පැවරීමේ දී මතු නොව අදාළ කෘතිය සිනමා නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂක ප්‍රජාව හමුවට එන තෙක් හෙතෙම කටයුතු කළ ආකාරය (‘කතා රජ කතාව’ පිටු අංක 221 සිට 225 දක්වා) එයට කදිම නිදසුනකි.
සැබෑ ලේඛකයෙකුට හෝ ලේඛිකාවකට නම් තමා විසින් රචිත සාහිත්‍ය කෘති යනු තමාගේ දරුවන් මෙනි. ඒ දරුවන් අන් පුද්ගලයෙකු අතට පත් කර, දරුවන්ගේ අත පය කපා, දරුවන් විකෘති කර සමාජයට මුදාහරින්නට දරුවා වදා උස් මහත් කර මවකට හෝ පියෙකුට නොහැකි ය.
එමෙන් ම තමාගේ සාහිත්‍ය කෘතිවලට ආදරය කරන්නෙකුට එම සාහිත්‍ය කෘති වෙනත් පුද්ගලයෙකු වෙත පවරා, අනතුරුව එහි අන්තර්ගත සාරය විකෘති කර වෙනත් නිර්මාණයක් ඔස්සේ සමාජ ගතකිරීමට ඉඩ දිය නොහැකි යැයි මම විශ්වාස කරමි.
මන්ද කිසියම් සාහිත්‍ය කෘතියකින් සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් නිම කරන්නේ නම් එකී කෘතියේ අන්තර්ගතය මෙන් ම එහි චරිත ද විකෘති නොකළ යුතු ය, අවලක්ෂණ නොකළ යුතු ය; ඝාතනය නොකළ යුතු ය.
නමුදු වාලුකා කෘතිය ඇසුරෙන් නිර්මිත ‘‘මහපොළොව’’ ටෙලි නිර්මාණයේ දී කෘතිය තුළ සිටි ඇතැම් චරිත විකෘති කර ඇත. ඇතැම් චරිත ඝාතනය කර ඇත. ඇතැම් චරිත හුදු චරිතයක් ම පමණක් බවට පත් කර ඇත.

‘‘වාලුකා’’ සාහිත්‍ය කෘතියේ කැපී පෙනෙන චරිතය වූයේ ‘කබරා’ ය. ශාන්ති දිසානායක නම් ප්‍රවීණ ලේඛිකාව සිය කෘතිය තුළ කබරාගේ චරිතයට ප්‍රාණ වායුව සපයා ඇත්තේ විටෙක පාඨක ප්‍රජාව කබරා කෙරෙහි දැඩි පිළිකුලක් ඇති කරගන්නා ලෙස මෙන් ම විටෙක කබරා කෙරෙහි පහන් හැඟීමකින් බලන ආකාරයෙනි.
විශේෂයෙන් ම අනෝහාමි වැඩිවිය පැමිණ, අඟපසඟ මෝරා වැඩෙන අවධියේ දී ඇගේ ශරීරය කෙරෙහි ආසක්ත වන ඔහු යළි අනෝහාමි තමාගේ ම දියණියක ලෙස සලකා තම චිත්තභ්‍යන්තරයේ බුර බුරා නැගෙන කාම ආසා මැඩපවත්වාගන්නා ආකාරය ඉතා මැනවින් උද්දීපනය කරන්නට කතුවරිය සමත්වූවා ය.
කෘතියේ දී දක්නට ලැබුණු භාව චංචලත්වයෙන් යුත්, මිනිසත් බව උද්දීපනය කළ කබරා මට නම් ටෙලි නිර්මාණය තුළ දී දක්නට නොලැබුණි.
කතුවරිය සිය පෑන් තුඩ මෙහෙයවමින් කබරා වෙසෙස් චරිතයක් බවට පත් කළ ද එතරම් සාර්ථක ලෙස ඒ චරිතය රුපවාහිනී ප්‍රේක්ෂක ප්‍රජාව වෙත සමීප කරවන්නට අධ්‍යක්ෂකවරයා අසමත්ව ඇත.
නමුදු ලක්ෂ්මන් මෙණ්ඩිස් නම් වූ ප්‍රතිභාපූර්ණ නළුවා තමා අත පත් තිර රචනයට සාධාරණයක් ඉටු කර ඇති බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. ඔහු මතු නොව සමස්ත නිර්මාණයේ ම ආරම්භයේ සිට අවසානය දක්වා පෙනී සිටින නළු නිළියෝ තමන් අත පත් තිර රචනයට සාධාරණයක් ඉටු කර ඇත.
නමුදු තිර රචකයා මෙන් ම අධ්‍යක්ෂකවරයා සාහිත්‍ය කෘතියට සාධාරණයක් ඉටු කළ බවක් දක්නට නොලැබේ.

නමුදු ඔහු ඒ උච්චතම අවස්ථාව ඉවතට විසි කර දමා ඇත. ඔහු එසේ කරන්නට ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න නිශ්චය කරගත නොහැකි වුව ද මම පුද්ගලිකව අනුමාන කරන්නේ කතුවරිය කෘතිය පුරා ම සංකේතාත්මකව ඉදිරිපත් කර ඇති දෑ අධ්‍යක්ෂකවරයාගේ වින්දනයට හසු වී නොමැති බවයි.
එසේත් නොමැති නම් එවන් සමාජ පෙරළීයක් සිදුවීම අතාත්වික යැයි ඔහුට හැඟෙන්නට ඇති බවයි. ඒ කිසිවක් ම නොවේ නම් එවන් සිදුවීමක් තම දෘෂ්ටිවාදයට සාම්‍යයක් නොවන බවයි.

ශාන්ති දිසානායකගේ ම කෘතියක් වූ ‘‘ගිරිදේවී’’ ඇසුරෙන් නිර්මාණය වූ ‘‘ගිරිදේවී’’ ටෙලි නිර්මාණය .
මෙම ටෙලි නිර්මාණයට පෙර ශාන්ති දිසානායකගේ ම කෘතියක් වූ ‘‘ගිරිදේවී’’ ඇසුරෙන් නිර්මාණය කර විකාශනය කළ ‘‘ගිරිදේවී’’ ටෙලි නිර්මාණය ද මම නැරඹුවෙමි. එහි තිර රචකයා සමන්ත කුමාර ගමගේ ය. අධ්‍යක්ෂක ඉන්දික ධර්මතිලක ය.
ශාන්ති දිසානායක කතුවරිය මෙම කෘතිය අවසානයේ දී එහි ප්‍රධාන චරිතය වන ‘ආශා’ හට කිසියම් අසාධාරණයක් කළා යැයි මට හැඟුණි.
නමුදු දක්ෂ තිර රචකයෙකු වන සමන්ත කුමාර ගමගේ සිය තිර රචනයේ දී කෘතියේ කතුවරියගේ අනුදැනුම මත හෝ එය නොමැතිව වුව ද ‘ආශා’ සිය ජීවන ගමනේ වැඩි කාලයක් ගතකළ අයුක්තිය අසාධාරණය නොඉවසන තත්ත්වය ම ඇගේ ජීවිතය සමාජ යහපත වෙනුවෙන් භාවිත කරන තත්ත්වයට පත් කර ඇත.
සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් කෙරෙන සිනමා නිර්මාණයක් හෝ ටෙලි නිර්මාණයක් සාහිත්‍ය කෘතිය අභිභවා ඉදිරියට ගමන් කරන නිර්මාණයක් බවට පත් කරන්නේ කෙසේ ද යන්නට කදිම උදාහරණයක් සමන්ත කුමාර ගමගේ සපයා ඇත.
ඔහු ‘ආශා’ එතෙක් ආ ගමන් මග වෙනස් කරන්නේ ඇය අපහාසයට, උපහාසයට හෝ අවමානයට ලක් කරමින් නොවේ. ඇය සිය ජීවන ගමන් මගේ එතෙක් පැමිණ මාවත වැඩි දියුණු කරමිනි; සමාජයට ආදර්ශයක් සපයමිනි.
ඇයට ශාන්ති දිසානායක නම් වූ කතුවරිය අතින් සිදු වූ වැරැද්ද නිවැරැදි කිරීම සම්බන්ධයෙන් කතුවරිය සමන්ත කුමාර ගමගේට කෘතඥ විය යුතු ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.
එමෙන් ම තමන්ගේ සාහිත්‍ය නිර්මාණයක් ඇසුරෙන් ටෙලි නිර්මාණ කරන්නට අවසර දීමට පෙර එය ඇසුරෙන් කෙරෙන ටෙලි නිර්මාණය සාහිත්‍ය කෘතියට කෙතරම් සාධාරණයක් ඉටු කර තිබෙනවා ද යන්න ද අදාළ නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථම විමසා බැලිය යුතු ය.
එහි දී තමා සිය සාහිත්‍ය කෘතිය තුළින් සමාජගත කරන්නට යත්න දැරූ අදහස ඒ ආකාරයෙන් ම ඉටු වී තිබේදැයි විමසිලිමත් විය යුතු ය. ටෙලි නිර්මාණකරුවා විසින් සාහිත්‍ය නිර්මාණය අවමානයට ලක් කර හෝ එහි ගුණාත්මකභාවය, රසාත්මකභාවය අවප්‍රමාණ කර තිබේ නම් ඊට එරෙහි විය යුතු ය.
මෙය ශාන්ති දිසානායක පමණක් අනුගමනය කළ යුතු ක්‍රියාදාමයක් නොවේ. සියලු ලේඛක ලේඛිකාවන් අනුගමනය කළ යුතු ක්‍රියාදාමයකි.

මීට පෙර ද මෙවන් අවප්‍රමාණ වීම්. විකෘති වීම් සිදු නොවුණා නොවේ. ඒ සදහා කදිම උදාහරණයක් නම් සමරවීර විජයසිංහගේ ‘‘ස්වයංජාත’’ කෘතිය ඇසුරින් නිර්මාණය කළ ටෙලි නිර්මාණය යි.
එම ටෙලි නිර්මාණය ද සාහිත්‍ය කෘතිය අභිභවා යනවා වෙනුවට එය අවප්‍රමාණයට ලක් කර තිබුණි.

එමතු නොව මගේ කියවීමට අනුව නම් හෙළයේ මහාගත්කරු ලෙස විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහගේ ‘‘කරුවල ගෙදර’’ කෘතිය ඇසුරෙන් කළ ටෙලි නිර්මාණය ද කෘතියේ බර සැහැල්ලු කර තිබුණි; අවප්‍රමාණයට ලක් කර තිබුණි.
අවසන් වශයෙන් කිව යුත්තේ කිසියම් ටෙලි නිර්මාණ කරුවෙකු හෝ නිර්මාණකාරියක කිසියම් සාහිත්‍ය කෘතියක් ඇසුරෙන් ටෙලි නිර්මාණයක් කිරීමේ දී එම නිර්මාණය තුළ පැවති හරවත්, බරසාර කියවීම් ප්‍රකට කෙරෙන ලෙස සිය නිර්මාණය කළ යුතු ය යන්න ය;
සාහිත්‍ය කෘතිය රචනා කළ කතුවරයාගේ හෝ කතුවරියගේ අභිප්‍රාය වටහාගත යුතු ය. ඔහු හෝ ඇය සිය නිර්මාණයේ මතුපිට නොව යටිපෙළෙන් ගම්‍ය කළ සමාජ, ආර්ථික හෝ දේශපාලන කතිකාව සමාජ ගතකළ යුතු ය යන්න ය.
එසේ නොමැතිව ටෙලි නිර්මාණකරුවාට හෝ නිර්මාණකාරියට රිසි පරිදි අදාළ නිර්මාණයේ ඇතැම් කොටස් ඉවතලමින් ඇතැම් කොටස් උපුටාගෙන අදාළ කෘතිය තුළින් තමාගේ නිර්මාණයට ආලෝකයක් සපයා නොගත යුතු ය.

මහපොළොව ටෙලි නිර්මාණය යනු ඒ ආකාරයට සුමිත් රත්නායක කැමති කොටස් පමණක් උපුටා ගනිමින් ඔහුට අකමැති යැයි හැඟෙන කොටස් ඉවතලමින් ඉදිරිපත් කළ නිර්මාණයකි. එසේ කිරීම යනු ම අදාළ සාහිත්‍ය නිර්මාණය විකෘති කිරීමකි; එහි චරිත විකෘති කිරීමකි; එහි එන සමාජ ආර්ථික හෝ දේශපාලන සන්දර්භය කුඩුපට්ටම් කර දැමීමකි.
මෙබඳු අධ්‍යක්ෂකවරුන් සහ තිර රචකයන් කළ යුත්තේ අන් අයගේ නිර්මාණ විකෘති නොකර අදාළ සන්දර්භයට තමාගේ කැමැත්තක් පවතී නම් ඊට සාපේක්ෂ තිර රචනයක් ස්වීයව රචනා කරමින් නිර්මාණකරණයේ යෙදීම ය.
එවිට තමන් කැමති ආකාරයට, තමන්ගේ දෘෂ්ටිවාදයට අනුව එය නිර්මාණය කළ හැකි ය. අන් අයගේ දරුවන් (සාහිත්‍ය කෘති) විකෘතිභාවයට පත්කිරීම හෝ ඝාතනය කිරීමට වඩා එය බෙහෙවින් වටින්නේ ය.
එමෙන් ම යට සදහන් කළ ආකාරයට තමන්ගේ දරුවන් (සාහිත්‍ය නිර්මාණ) අන් අය අතට පත් කර ඒ දරුවන් විකෘති කිරීමට හෝ ඝාතනය කිරීමට ඉඩ ප්‍රස්තා ලබා නොදීමට ලේඛක ලේඛිකාවෝ ද තරයේ අධිෂ්ඨාන කරගත යුතු ය.

පාඨක ප්‍රජාවගේ අවධානය පිණිස ‘වාලුකා’ සාහිත්‍ය කෘතිය පිළිබඳ මගේ කියවීම ද මෙහි ඇතුළත් කිරීමට අදහස් කළෙමි. එය පළ වූයේ: 2016 වසරේ ග්‍රැෆිකෙයාර් ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘සාහිත රසවිත’ කෘතියේ පිටු අංක 165 සිට 171 දක්වා ය.

නිදහස් ලේඛක
ආලින්දයෙන් ඔබ්බට ජයසිරිගේ වෙනත් ලිපි :
THE LEADER TV
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්!
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස", වැඩ බැරි ඇමතිවරු ?