පෘතුගාලයේ පාපන්දු පුහුණුකරු සහ පෘතුගාල පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සමග ඇතිකර ගත් ආරවුලකින් පසුව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු පුහුණු කඳවුරෙන් ඉවත්ව ගොස් තිබෙන්නේ ඉදිරි දිනවලදී ඔහු ජාත්‍යන්තර පාපන්දුවෙන් සමුගන්නා බවට ප්‍රකාශයක් කරනු ඇතැයි යන සැකයක් මතු කරමිනි.
ප්‍රධාන පුහුණුකරු හෝහේ ජීසස් (Jorge Jesus) සමග හටගත් ප්‍රබල මතභේදයකින් පසුව නායක රොනාල්ඩෝ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර පුහුණු කඳවුරෙන් පිටව ගොස් තිබෙන්නේ පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායම තුළ මහත් කැලඹිල්ලක් ඇති කරමිනි.
ජාතික කණ්ඩායමේ කඳවුරෙන් ඉවත්ව යාමේ තමාගේ තීරණය ප්‍රසිද්ධියේ කියා සිටීම පිණිස සමාජ මාධ්‍යයට පිවිසි රොනාල්ඩෝ, තමා මේ තීරණයට එළඹුනේ පෘතුගාල පාපන්දු සම්මේලනයේ සභාපති පේද්රෝ ප්රොඑන්සා (Pedro Proença) ට කතා කිරීමෙන් පසුව බව පැවසීය. මතභේදය සම්පූර්ණයෙන් විස්තර කර දෙන බවට පොරොන්දු වූ රොනාල්ඩෝ ඉදිරි කාලයේදී තමා සත්‍යය හෙළිදරව් කරන බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් යුරෝපීය මාධ්‍ය දැනටමත් මේ සිද්ධිය සම්බන්ධ අභ්‍යන්තර විස්තර වාර්තා කිරීම අරඹමින් රොනාල්ඩෝ, ජීසස් හා ප්රොඑන්සා අතර හටගත් සිදුවීම් පැහැදිලි කර දෙමින් සිටියි. මේ නාට්‍යමය තත්ත්වයෙන් නැවත මතුකර තිබෙන්නේ ජාතික සංචිතය තුළ රොනාල්ඩෝගේ කාර්යභාරය හා පුහුණු මණ්ඩලය සමග තිබෙන ඔහුගේ සම්බන්ධතාව පිළිබඳ තියුණු විවාදයයි.
සමාජ මාධ්‍යයට පිවිසෙමින් රොනාල්ඩෝ මෙසේ සටහන් කරයි:
“ජාතික කණ්ඩායමේ පුහුණුකරුගේ ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසුව හා ඉන් අනතුරුව පෘතුගාල පාපන්දු සම්මේලනයේ සභාපති සමග කළ සංවාදයෙන් පසුව, මම ජාතික කණ්ඩායමේ කඳවුරෙන් ඉවත් වීමට තීරණය කළා. මම සැමවිටම කැපවූ ජාතික කණ්ඩායම හැර යාමේ තීරණයට මාව පෙළඹවූ හේතු පිළිබඳ ඇත්ත මම ඉදිරියේ උචිත කාලයේදී පෘතුගාලයේ සියලු ජනතාවට කියනවා. දැන් පැමිණ තිබෙන්නේ පෘතුගාලයටත් මගේ සියලු කණ්ඩායම් සගයින්ටත් වාසනා වේවායි ප්‍රාර්ථනා කරන කාලයයි.”
මතභේදයේ ආරම්භය
පෘතුගාල මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන පරිදි, මේ ආරවුල ආරම්භ වී තිබෙන්නේ යුරෝපීය රටවල ලීගයේ (UEFA Nations League) නෝර්වේ රාජ්‍යයට එරෙහිව පැවති පෘතුගාල කණ්ඩායමේ තරගය අතරතුරයි. ඊට දින කිහිපයකට පෙර වේල්සයට එරෙහි ගෝල් 1-0ක ජයග්රහණයේදී එම තරගයේ ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමෙන් පසුව රොනාල්ඩෝව නෝර්වේ පිලට එරෙහි තරගය සඳහා නම් කර තිබුණේ බංකුවේ අසුන්ගත් ආදේශ ක්‍රීඩකයෙකු ලෙසයි. තරගයේ දෙවැනි භාගය ක්‍රීඩා කෙරෙන අතරතුර ඔහු ඇඟ උණුසුම් කර ගැනීම පිණිස කාලය ගතකර තිබුණත්, තරගය ගලා යන ආකාරය විසින් පුහුණුකරුගේ සැලසුම් වෙනස් කර තිබිණි.
ඒ වන විට ආක්‍රමණශීලී ක්‍රීඩක ගොන්සාලෝ රාමොස් පෙරමුණේ හොඳින් ක්‍රීඩා කරමින් ගෝල් 2-1ක ජයග්‍රහණයේ ජයග්‍රාහී ගෝලය ලබා ගෙන සිටි අතර රොනාල්ඩෝ කොහෙත්ම භාවිත නොකිරීමට ප්‍රධාන පුහුණුකරු හෝහේ ජීසස් අවසානයේදී තීරණය කළ බැවින් ඔහුට තරගයේ මුළු මිනිත්තු අනූවම බංකුවේ වාඩි වී සිටීමට සිදුවිය. මෙයින් කලකිරීමට පත්ව සිටි රොනාල්ඩෝ තරගයේ අවසන් විසිල් හඬ නිකුත් වනවාත් සමගම ක්‍රීඩා මණ්ඩපය (Dressing room) වෙත ගියේ පෘතුගාල ක්‍රීඩා ලෝලීන්ට ස්තූති කිරීම සඳහා ඔහුගේ කණ්ඩායම් සගයින් සමග පිටියේ එක් නොවෙමිනි.
මෙය, 2008 වසරෙන් පසුව රොනාල්ඩෝව ආදේශ ක්‍රීඩකයෙකු වශයෙන් හෝ ඔහුගේ රට භාවිත නොකළ ප්‍රථම අවස්ථාව විය.
“තරගයේ දෙවැනි භාගය පුරාම පාහේ ඇඟ උණුසුම් කරගන්න කියලා අන්තිමේදී එයා සෙල්ලම් කරන්නේ නැහැ” යනුවෙන් BBC Radio 5 සජීවී විස්තර ප්‍රකාශයේ යෙදී සිටි ස්පාඤ්ඤ පාපන්දු විශාරද Guillem Balague සඳහන් කළේය.
“පාපන්දුවේදී නිහඬ නීති තියෙනවා. මෙවැනි දෙයක් පේලේට, මැරඩෝනාට, මෙසීට, රොනාල්ඩෝට කරන්නේ නැහැ, එහෙම නේද? රොනාල්ඩෝ මේ ක්‍රියාව දැක්කේ ඒ විදියටයි... ඒ වගේ ක්‍රීඩකයින්ට එහෙම කරන්නේ නැහැ කියලයි.”
ක්‍රීඩකයින් තේරීමේ නිර්ණායකයන් හා කණ්ඩායමේ බල අධිකාරය පිළිබඳ තමාගේ ආකල්පය පැහැදිලි කළ ජීසස්, ක්‍රීඩකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් තමාගේ ප්‍රතිපත්තිය මෙසේ විස්තර කළේය:
“වැදගත් වන්නේ ඔහුගේ ක්‍රීඩාවයි. අතීතය මෙතැනට වැඩක් නැහැ. ක්රිස්ටිආනෝත් අනෙක් අය වගේ තවත් ක්‍රීඩකයෙක්. ඔහු හොඳින් ක්‍රීඩා කරනවා නම්, ඔහු ක්‍රීඩා කරාවි. හොඳින් ක්‍රීඩා නොකරන්නේ නම් ඔහු කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ නැහැ.”
රොනාල්ඩෝ ජිම් ව්‍යායාම සම්පූර්ණ කිරීම සඳහා සාමාන්‍ය කණ්ඩායම් පුහුණුවීම්වලට පැමිණීම මඟහැර තිබෙන අතර මෙයින් නායකයා හා පුහුණුකරුවා අතර ආරවුලක් වැඩෙමින් තිබෙන බවට අනුමාන කෙරෙන මාධ්‍ය වාර්තාවලට තවදුරටත් ඉඩකඩ ලැබිණි.
මාධ්‍ය අනුමානයන් හා අවිනිශ්චිතභාවය වැඩි වෙමින් තිබියදී, පෘතුගාල පාපන්දු ප්‍රධානී පේද්රෝ ප්රොඑන්සා, රොනාල්ඩෝ හා ජීසස් සමග මුහුණට මුහුණ ලා සාකච්ඡා කිරීම පිණිස ස්කැන්ඩිනේවියාවට ගියේය. එම සාකච්ඡාවෙන් පසුව පුහුණුකරු ජීසස් මාධ්‍ය අමතමින්, බරපතල භේදයක් පිළිබඳ ඇති ආරංචි බැහැර කළේය.
එහෙත්, ඩෙන්මාර්කය සමග ඊළඟට පැවැත්වෙන තරගය හමුවේ ආරම්භක ක්‍රීඩක පෙළ හා උපක්‍රමශීලී ක්‍රීඩක ආදේශයන් සම්බන්ධයෙන් බලය තිබෙන්නේ තමා සතුව බව හෝහේ ජීසස් නැවත නැවතත් කියා සිටියේය.
“මට කැමති දෙයක් මට පොරොන්දු වෙන්න පුළුවනි. මම තමයි පුහුණුකරු. ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ කියලා මම රොනාල්ඩෝට කීවා. මම ඔබව බංකුවේ තියා ගන්නවා. මට ඔයාව මිනිත්තු 30කට ඕනෑ නම් ඔයා ක්‍රීඩා කරාවි. එහෙම නැත්නම්, ඔයා ක්‍රීඩා කරන්නේ නැහැ.”
“මේ තරග දෙක (නෝර්වේ සහ ඩෙන්මාර්කය) ඔහු ක්‍රීඩා කරන්නේ නැති බව මම රොනාල්ඩෝට කිවුවා. නෝර්වේ සමග තරගය අතරතුර මට හිතුණා සමහර විට මට එයාව අවශ්‍ය වෙයි, ඒ නිසා ඔහු ඇඟ උණුසුම් කරගත යුතුයි කියලා. ඊට පස්සේ මම එයාව ගත්තේ නැහැ... ඕනෑම ක්‍රීඩකයෙක්, මිනිත්තු 20ක් 30ක් විතර ඇඟ උණුසුම් කර ගත්තයින් පස්සේ ක්‍රීඩා කරන්න බැරිවුණොත් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. විශේෂයෙන් රොනාල්ඩෝ. පේලේ හෝ මැරඩෝනා වුණත් එහෙමයි.”
“මගේ හිත වෙනස් කරන්න කිසිම ක්‍රීඩකයෙකුට බැහැ. රොනාල්ඩෝටත්, පාපන්දුවේ වෙනත් ඕනෑම කෙනෙකුටත් ඒක එහෙමයි. ඕනෑම සභාපතිවරයෙකුටත් ඒක එහෙමම තමයි. කවදාවත්, පැහැදිලිවම කිසිම කෙනෙකුට මගේ හිත වෙනස් කරන්න මට බලපෑම් කරන්න බැහැ.”
පුහුණුකරු ප්‍රසිද්ධියේ සිදු කළ මේ ප්‍රකාශයෙන් දෙදෙනා අතර තිබූ නොඉවසුම් ගතිය පුපුරා ගියේ ජීසස් මේ තත්ත්වය හැසිරවූ ආකාරය රොනාල්ඩෝට වෙනස් විදියකට දැනුණු බැවිනි. පිට පිට තරග දෙකකට තමාව තෝරා නොගන්නා බවට කෙරුණු මේ ප්‍රකාශයෙන් ටික වේලාවකට පසුව රොනාල්ඩෝ ඔහුගේ කණ්ඩායම් සගයින්ට සුබ පතමින් පුහුණු කඳවුරෙන් තමාගේ නික්ම යාම නිවේදනය කළේ ජාතික කණ්ඩායම සමග ඔහුගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමමිනි.
පශ්චාත්-රොනාල්ඩෝ සමය?
මේ අතර, පෘතුගාලය නේෂන්ස් ලීග් තරගාවලියේ ඩෙන්මාර්කය සමග පැවති තරගය ගෝල් 4-2කින් ජය ගත්තේ ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගෙන් පසු යුගයක පෙරනිමිති පෙන්වමිනි.
මෙය ජාත්‍යන්තර පාපන්දුවේ වාර්තාගත ගෝල්ලාභියා වන 41 හැවිරිදි රොනාල්ඩෝ නෝර්වේ පිලට එරෙහි තරගයේ බංකුවේ ඉඳගෙන සිටීමට සිදුවීම නිසා කණ්ඩායම අතහැර යාමෙන් පසුව පෘතුගාලය ක්‍රීඩා කළ පළමු තරගයයි.
ඩෙන්මාර්කයේදී ලැබූ මේ ජයග්රහණයෙන් පසුව 72 හැවිරිදි පෘතුගාල පුහුණුකරු ජීසස් මෙසේ පැවසීය:
“මම තවමත් හිතන්නේ හරියටම කලින් හිතපු විදියටමයි - වැදගත් තත්ත්වයක් තියෙන ක්‍රීඩකයින් ඉන්නවා. ඒක සක්සුදක් සේ පැහැදිලියි. නමුත් මම ඒක ආයෙත් කියන්නම් - නීති හැමෝටම එකයි. එය මම මගේ පුහුණුකරු දිවිය පුරාම අනුගමනය කළ හා ඉදිරියේදීත් පවත්වා ගෙන යන පිළිවෙළක්.”
වසර ගණනාවක්ම කණ්ඩායමෙන් පහකර නොමැති ප්‍රහාරක ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් තරග 234කට ක්‍රීඩා කරමින් ගෝල් 146ක් වාර්තා කර ඇත.
එහෙත් ක්‍රියාකාරීත්වය අඩු වෙමින් පවතින වර්තමාන වයස්ගත සමයේදී, මෙම විශිෂ්ට ක්‍රීඩකයා ජාතික කණ්ඩායමට යම් බරක් වී තිබෙන බවට වූ මතය මේ වන විට ප්රබලව සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.
(සටහන: වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




