රාජ්‍ය අනුග්‍රහය ලබන ජනපදිකයන්ගෙන් අක්කර දහස් ගණනක තෘණභුමි ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා තුන් වසරක් තිස්සේ කරන අඛණ්ඩ විරෝධතාවට සාධනීය විසඳුමක් ලබා දීම සදහා රජය තවත් මාස තුනක කාලයක් ලබාගැනීම සම්බන්ධයෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ කිරිගොවීන්ගේ නොසතුට පළ වී තිබේ.
ජනපති නියෝගය නොතකා ගොවි පවුල් 200කගේ අස්වැද්දීමක්
මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් සදහා තණ බිම් අක්කර 1500 ට වැඩි ප්‍රමාණයක් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් මහවැලි අධිකාරියට පසුගිය මැයි මාසයේ දී ලබා දුන් නියෝග එම අධිකාරිය විසින් ක්‍රියාත්මක නොකර හැරීමෙන් අලුතින් පදිංචි කළ ගොවි පවුල් දෙසීයකට වැඩි ගණනක් එම භුමිය අස්වැද්දීමට ඒ වනවිටත් මුල පුරා ඇති බව මඩකලපුව සිත්තාන්ඩි හන්දියේ 2026 සැප්තැම්බර් 16 වැනි බදාදා වීදි බැසගත් විරෝධතාකරුවන් විසින් පෙන්වා දී තිබුනි.
කිරි ගොවීන් වසර තුනක පමණ කාලයක සිට පෙන්වා දී තිබුනේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි ප්‍රදේශයක් සිංහල වගා කරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් 2026 මැයි මස 20 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් සදහා අක්කර 1570 ක් නිදහස් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරියට කළ නියෝග මේ දක්වාම ක්‍රියාත්මක වී නොමැත.
තණබිම් ගැසට් කිරීමට ඇමැති හඳුන්නෙත්තිගෙන් පොරොන්දුවක්
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ 2026 සැප්තැම්බර් 30 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළුව නැවතත් සාකච්ඡාවට ලක් කරන ලද බවයි.
එම රැස්වීම හමාර වීමෙන් පසු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පළාත් බද මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ තෘණභුමි තුළ වගා කටයුතු වල නිරත වී සිටින ගොවීන්ට ඒ සඳහා වෙනත් ඉඩම් ලබා දීමට තිරණය කළ අතර කිරි ගවයන් උලාකන ප්‍රදේශය තණබිම් කලාපයක් ලෙස ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු ‘මේ වන විට සිදු කරමින්’ පවතින බවයි.
"මයිලත්තමඩු–මාදවනේ කිරි ගොවීන්ගේ ගවයන්, වගා කටයුතු කරන ප්‍රදේශයේ තියෙන තණබිම් ප්‍රදේශයට යවන්නත්, ඒ වගේම ඒ ප්‍රදේශයේ ගොවීන්ට කිසිම ගැටලුවක් නැතිව වගා කටයුතු කරගෙන යන්නත් ඉඩ දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒකට අවශ්‍ය ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරියෙන් ලබාගන්නත් අපි තීරණය කරලා තියෙනවා. මහවැලි අධිකාරියේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවය ඇතිව, ගවයන් තණකොළ කන ප්‍රදේශය තණබිම් ප්‍රදේශයක් විදිහට ගැසට් කරන්න අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරගෙන යනවා. හැබැයි මේ කාරණය සමහරු ජාතිවාදී විදිහට බලන බවක් අපට පේන්න තියෙනවා. ඒ නිසා ගොවීන්ගේ වගකීම් වගේම ඔවුන්ගේ අයිතිවාසිකම්ත් අපි ආරක්ෂා කළ යුතුයි."
මයිලත්තමඩු මාදවනෙයි සාම්ප්‍රදායික කිරි ගොවියන් වසර ගණනාවක සිට සිය ගවයන්ට තණ කැවීම සදහා අක්කර 7700 ට අධික තෘණ භුමියක් භාවිතයට ගෙන තිබේ. එම භුමියෙන් ඉඩම් අක්කර 4000 ට ආසන්න ප්‍රමාණයකට මහවැලි සංවර්ධන අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හිමිකම් කියන අතර කිරි ගොවීන් ඉල්ලා සිටින්නේ ඉතිරි අක්කර 3500 ට වැඩි ප්‍රමාණය තෘණ භුමි ලෙස ගැසට් පත්‍රයක් මගින් ඉතා කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
"කල් දැමීමෙන් ගවයන් කුසගින්නේ මැරෙනවා" - ගොවි නායකයෝ
හඳුන්නෙත්ති ඇමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කිරි ගොවීන් කඩිනම් විසදුමක් ඉල්ලා සිටින ප්‍රශ්නයක් විසදීම සදහා රජය තවත් මාස තුනක් කල් ගැනීමෙන් සිය කිරි ගවයන්ට ආහාර නොමැතිව මරණය වැළඳ ගැනීමේ තත්වයක් ඇති විය හැකි බවයි.
"ඇමතිතුමා කියනවා මාස තුනක් ඇතුළත මේ ඉඩම ගැසට් කරනවා කියලා. දැන් අපේ හරක් තණකොළ කන්න යවන ඉඩම්වල වී වගාව පටන් අරගෙන තියෙනවා. ඒ නිසා දැන් අපේ හරක් එතනට තණකොළ කන්න අරගෙන යන්න බැහැ. අපේ තණබිම්වලටත් පිට ප්‍රදේශවලින් ආපු අය ඇවිල්ලා වගා කටයුතු පටන් අරගෙන තියෙනවා. දැන් අපේ ගවයන් කොහෙටද අරගෙන යන්නේ?
දැනට වගාකරන ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් තුනක් ඈතින් ජනපදික ගොවීන්ට ඉඩම් ලබා දෙන බව ඇමැතිවරයා පවසා තිබේ.
“ඒක ඇත්තටම කරන්න පුළුවන්ද? ඒක කවදද වෙන්නේ? අපට තණබිම් ලැබෙන්නේ නැහැ. තණකොළ නැතිව හරක් මැරෙයි. ඊට පස්සේ කිරි ගොවීනුත් මැරෙන්න වෙන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ," යි සීනිතම්බි නිමලන් පැවසීය.
දින දාහක් පිරුණු අරගලය සහ වියත් මග ආරම්භය
අවුරුදු තුනකට ඉහතදී මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටින් දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ කිරි ගොවීන්ගේ ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව 2023 සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් දින දෙකකට පසුවයි.
එදා පටන් දින දාහකට අධික කාලයක් තිස්සේ කිරි ගොවීන් දියත් කරන විරෝධතාවයට නායකත්වය සපයන මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් 2026 සැප්තැම්බර් 16 වැනි බදාදා දියත් කළ විරෝධතාව වාර්තාකරන මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර තිබුනේ කිරි ගොවීන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දුන් නියෝගය ක්‍රියාවේ යෙදවීම මහවැලි සංවර්ධන අධිකාරිය විසින් පැහැර හැර ඇති බවයි.
"අපේ ජනාධිපති මඩකලපුව දිස්ත්‍රික්කයට ඇවිත්, පස්වෙනි මාසයේ 20 වැනිදා දුන්න පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ නැතිව මේ ජනාධිපතිගේ පොරොන්දුව ඇදගෙන යන විදිහට මේ බලධාරින් කටයුතු කරගෙන ඉන්නවා. අපිත් නැතින් තැන, මහවැලි සංවර්ධන අධිකාරිය වගේ හැම තැනකටම ගිහින් බැගෑපත් වෙනකොට ඔයාලා මේ දෙන්නම්, 15 වැනිදාට කලින් කරලා දෙන්නම්, 10 වැනිදාට කලින් කරලා දෙන්නම් කියලා කිව්වා. අපිත් ඒක බාරගෙන තමයි දවස් දාහක් අවිහිංසා මාර්ගයේ හිටියේ."
මඩකලපුව සිත්තාන්ඩි හන්දියේදී 2026 සැප්තැම්බර් 16 වැනි බදාදා දියත් කළ උද්ඝෝෂණය අතරතුරදී මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ජනපතිවරයාගේ නියෝගය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා සිංහල ප්‍රදේශවලින් පැමිණි ගොවි පවුල් 200 ට වැඩි පිරිසක් තණ බිම් එළි පෙහෙලි කරමින් මේ වන විටත් ගොවිතැන් කටයුතු සදහා මුල පුරා ඇති බවයි.
පිට පළාත් වලින් පැමිණ තෘණ භුමි තුළ ගොවිතැන් කටයුතු කරන සිංහල ගොවීන් කිරි දෙනුන් ඝාතනය කර මස් පිනිස අලෙවි කරමින් සැලසුම් සහගත ලෙස කිරි ගොවීන්ගේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරමින් සිටින බවටත් විරෝධතාවයට එක්ව සිටි සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සභාරත්නම් ශිවයෝගනාදන් එදින චෝදනා එල්ල කර තිබුනි.
මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් ඒ සමයෙහි පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.
දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ අරගලයේ ප්‍රතිපලයක් ලෙස සිංහල ගොවීන් කිහිප දෙනකු එම භුමියෙන් ඉවත්ව ගිය ද කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමිය ගැසට් පත්‍රයක් මගින් පවරා දීම කල් මැරීම නිසා යලිත් වරක් සුපුරුදු පරිදිම තමන් සිංහල ගොවීන්ගේ ආක්‍රමණයට මුහුණ දී සිටින බව මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් වැඩි දුරටත් අවධාරණය කරයි.



