BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විශේෂාංග

ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්

ලෝක ප්‍රාග්ධනයේ ග්‍රහණය හමුවේ හුදකලා නොවී, වැඩකරන ජනතාවගේ දේශසීමා ඉක්ම වූ සහයෝගීතාව ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත් වන්නේ ඇයි?

Pasan

Pasan

October 2, 2026 • 8:11 PM

ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමූහිකව හිමි ලෝකයක් දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව - සෑම තැනකම සිටින වැඩකරන ජනතා...
  • පළමුවන කොටස ඔබ වටා ඇති සාමාන්‍ය දේවල් දෙස බලන්න.
  • ඔබ ඇඳ සිටින ඇඳුම්, ඔබ අසල ඇති කෝප්පය, බිත්තිය තුළ ඇති විදුලි රැහැන්, ඔබේ අතේ ඇති තිරය.
  • ලෝකය දැනටමත් එහි කරන වැඩ කටයුතු ඔස්සේ එකිනෙකා හා බැඳී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සාමූහිකව හිමි ලෝකයක්

දේශසීමා හරහා ඇති සහයෝගීතාව තවදුරටත් හුදු හැඟීමක් නොව, ප්‍රායෝගික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේ මන්ද යන්න පිළිබඳව - සෑම තැනකම සිටින වැඩ කරන ජනතාව වෙත.


පළමුවන කොටස

ඔබ වටා ඇති සාමාන්‍ය දේවල් දෙස බලන්න. ඔබ ඇඳ සිටින ඇඳුම්, ඔබ අසල ඇති කෝප්පය, බිත්තිය තුළ ඇති විදුලි රැහැන්, ඔබේ අතේ ඇති තිරය. මේ කිසිවක් පාහේ ඔබ සිටින ස්ථානයේ නිපදවන ලද ඒවා නොවේ; ඒ කිසිවක් එකම මිනිසෙකුගේ දෑතින් පමණක් නිපදවූ ඒවා ද නොවේ. ගුජරාටයේ කපු වගා කරන්නෙක්, ඩකාහි යන්ත්‍ර ක්‍රියාකරුවෙක්, රොටර්ඩෑම්හි වරාය කම්කරුවෙක්, කටන්ගාවේ පතල් කම්කරුවෙක්, සාඕ පවුලෝහි රාත්‍රී වැඩ මුරයක් අවසන් කරන රියැදුරෙක් - සාමාන්‍ය උදෑසනක ඔබ භාවිත කරන බොහෝ දේ නිර්මාණය වී ඇත්තේ ඔවුන් සියළු දෙනාගේම් දායකත්වයෙනුයි. මේ මිනිසුන් කිසිදා එකිනෙකා හමු වී නැත. ඔවුන් එකිනෙකා ඔවුන්ගේ නම් පවා දන්නේ නැත. එහෙත් ඔවුන් සෑම දෙනාම, තම තමන්ගේ භාෂාවලින්, නිවාස කුලී ගෙවන්නේ කෙසේද යන්න ගැන එකම ගණන් බැලීමක නිරත ව සිටිති.

ලෝකය දැනටමත් එහි කරන වැඩ කටයුතු ඔස්සේ එකිනෙකා හා බැඳී ඇත. එය බෙදා වෙන් කර ඇත්තේ එහි පවතින දේශපාලනය මගින් පමණි. මේ පරතරය පියවා දැමීම අපේ කාලයේ තවමත් නිම කර නොමැති විශාලතම කාර්යය වේ. එය පියවා දැමිය යුත්තේ කෙසේද යන්න සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.


ප්‍රහාරය නතර වී නැත

ප්‍රාග්ධනය විවේක නොගනී, මන්ද එයට එසේ කළ නොහැකි බැවිනි. වර්ධනය විය යුතු එසේ නැත්නම් රෝගී බවට පත් විය යුතු ක්‍රම පද්ධතියක් නිරන්තරයෙන්ම වර්ධනය වීමට අලුත් තැන් සොයා බලනු ඇත. පසුගිය දශක හතර පුරා එයට එවැනි ස්ථාන බොහෝමයක් හමු වී ඇත. ජලය, විදුලිය, දුම්රිය මාර්ග, සායන, පාසල්, විශ්‍රාම වැටුප්, නිවාස, බීජ තොග, දරුවන්ගේ සහ ඉතා වයස්ගත පුද්ගලයන් රැකබලා ගැනීම — කලක් පොදුවේ හෝ මහජන අයිතිය යටතේ පැවති මේ දේවල් දැන් මිල නියම කර, පැකේජ කර, විකුණා දමනු ලැබේ. මෙසේ පෞද්ගලික අයිතියට නතු කර ගැනීමේ සෑම පියවරක්ම අවතීර්ණ වූයේ, ‘කාර්යක්ෂමතාව’ පිළිබඳ පොරොන්දුවක් ද සමඟිනි. එහි ප්‍රතිඵල අපට එතරම්ම හොඳින් හුරුපුරුදුය. කිසිදාක එම සේවාව භාවිත නොකරන අය විසින් දුර බැහැර සිට මිල ගණන් නියම කරනු ලැබේ. කොටස් හිමියෙකු සෑහීමකට පත් කරන අවම මට්ටම දක්වා ප්‍රතිපාදන කප්පාදු කෙරේ. අවදානම නිහඬ ලෙස ගෘහස්ථය වෙත පටවා ලන අතර, එය එහි පැමිණෙන්නේ නිදි නැති රාත්‍රියක් ලෙසිනි.

කලක් ඡන්දදායකයන්ට වගකිව යුතු වූ ආණ්ඩු දැන් පළමුවෙන්ම ණය හිමියන්ට වගකිව යුතු තත්ත්වයට පත්ව ඇත. මැතිවරණයකට වඩා වේගවත්ව බැඳුම්කර වෙළඳපොළකට මුදල් ඇමතිවරයෙකු, ජනාධිපතිවරයෙකු පවා, හික්මවා ලිය හැකිය. මෙය දුෂ්ට පුද්ගලයන්ගේ කුමන්ත්‍රණයක් නොවේ. ක්‍රම පද්ධතියක් නිර්මාණය කර ඇත්තේ කුමක් සඳහාද, ඒ ආකාරයටම ක්‍රියා කිරීමේ සාමාන්‍ය ප්‍රතිඵලය වන්නේ එයයි.

commune2_20261002.jpg


බොහෝ භාෂාවලින් කියැවෙන එකම කතාව

මැද පෙරදිග, යුද්ධය සහ වාඩිලාගැනීම කාලගුණය මෙන් දෛනික සිදුවීම් බවට පත්ව තිබේ. නගර ගොඩ නඟා, ඒවා බෝම්බ හෙළා විනාශ කොට, නැවත ගොඩ නඟනු ලැබේ. දේශසීමා හරහාත් පරම්පරා හරහාත් පවුල් විසිරුවා හැර ඇත. දකුණු ආසියාවෙන් සහ නැගෙනහිර අප්‍රිකාවෙන් පැමිණි සංක්‍රමණික කම්කරුවෝ වඩා නිහඬ රාජ්‍යවල තමන්ට ඉවත්ව යාමට නිදහසක් නැති ගිවිසුම් යටතේ දිලිසෙන කුළුණු ගොඩ නඟති. කලාපයේ ධනය තෙල් බැරල්වලින් ද, එහි දරිද්‍රතාව අවමංගල්‍යවලින් ද ගණන් කරන අතර, ඒ දෙකම දරා සිටින්නේ එකම වැඩ කරන ජනතාවයි.

නැගෙනහිර යුරෝපයේ, එක් පරම්පරාවකට සෞභාග්‍යය පොරොන්දු කර, ඒ වෙනුවට ඔවුන්ට ලබා දුන්නේ ‘කම්පන ප්‍රතිකාරය’ යි. රාජ්‍ය කර්මාන්ත ඒවායේ සැබෑ වටිනාකමෙන් සුළු කොටසකට විකුණා දමන ලද්දේ, දශකයක් ඇතුළත බිලියනපතියන් බවට පත් වූ අයටයි. පවිත්‍ර කිරිමේ යෙදීමට, හෙද සේවයට, ඉදි කිරීම් කටයුතුවලට මිලියන ගණනින් බටහිර දෙසට සංක්‍රමණය වූ තරුණ තරුණියෝ ඔවුන්ගේ හැර යෑම නිසා පාළු වෙමින් තිබුන නගරවලට මුදල් ආපසු එවූහ. දැන් යුද්ධය එම භූමියටම යළි පැමිණ ඇති අතර, නැවතත් දෙපසින්ම, සටන් අගල් වෙත පෝලිමේ යවනු ලබන්නේ දුප්පත්ම දිස්ත්‍රික්කවල පුතුන් මය.

ලතින් ඇමරිකාවේ, මේ චක්‍රය, ණය, ගැලපුම් වැඩසටහන්, කප්පාදු කිරීම් සහ එම දශකයේ ලෝකයට අවශ්‍ය කරන කුමන භාණ්ඩය මත හෝ රඳා පැවතීම, හොඳින් හඳුනන කාරණයකි. දුප්පතුන් දෙසට ඕනෑවට වඩා නැඹුරු වන ආණ්ඩු, ජෙනරාල්වරුන් විසින් හෝ, දැන් වඩාත් ජනප්‍රිය අන්දමට, නීතිඥයන් විසින් ඉවත් කර දමනු ලැබේ. එහෙත් එම මහද්වීපයම — පැල්පත් නගරවල, ඉඩම් නොමැති ජනතාවගේ කඳවුරුවල සහ වෘත්තීය සමිති ශාලාවල — ලෝකයේ වඩාත්ම අධිෂ්ඨානශීලී හා නිර්මාණශීලී ජනතා ව්‍යාපාර බිහි කර ඇත.

සම්පත් බහුල මහාද්වීපයක් වන අෆ්‍රිකාවේ ජනයා සැලසුම් සහගත ලෙස දිළිඳුව තබා ඇත. කොබෝල්ට්, ලිතියම්, රත්‍රන්, තෙල් සහ දැව පිටතට ගලා යන අතර මුදල් ද එසේම පිටතට ගලා යයි. දැන් ආණ්ඩු ගණනාවක් සෑම වසරකම තම ජනතාවගේ සෞඛ්‍යයට වඩා වැඩි මුදලක් බාහිර ණය සේවාකරණය වෙනුවෙන් වැය කරති. කුසලතා සහිත යොවුන් ජනගහනයකට පිරිනමා ඇත්තේ අවිධිමත් රැකියාවක්, වීසා පෝලිමක් හෝ බෝට්ටුවකි.

ආසියාව ලෝකයේ කර්මාන්තශාලාව බවට පත්ව තිබේ. මිලියන සිය ගණනක් අන්ත දරිද්‍රතාවෙන් ගොඩට පැමිණ ඇත. එය සුළු දෙයක් නොවේ; එය කිසිවිටෙකත් එවැන්නක් ලෙස නොසැලකිය යුතුය. එහෙත් එම ගොඩ ඒම සඳහා මිල ගෙවා ඇත්තේ පැය දහසයක වැඩ මුර, නේවාසික කර්මාන්තශාලා, රසායනික පිළිස්සුම්, ඇඟලුම් කර්මාන්තශාලාවල ගිනිගැනීම්, සමාගම් නගර සහ දැන් සේවකයෙකක් ඇප් එකක් මගින් කළමනාකරණය කර ඊමේල් එකකින් සේවයෙන් පහ කරන, බෙදා හරින වේදිකාවල ඇලගොරිත්ම මත පදනම් වූ  කෑලි වැඩ මගිනි.


ප්‍රාග්ධනයට වර්ධනය වීමට තවමත් ඉඩ ඇත

මේ ක්‍රම පද්ධතියට ගමන් කළ හැකි නව සීමා සියල්ල අවසන් වී ඇති බවත්, එබැවින් එය තමන්ගේම බරින් ඇද වැටෙනු ඇති බවත් විශ්වාස කිරීම සැනසිලිදායක වනවා ඇත. එහෙත් එසේ වී නැත, එසේ වන්නේද නැත. සීමාව වැසී යනවාට වඩා එය වෙනස් හැඩයක් ගෙන ඇත. කලක් නව භූමි ප්‍රදේශයක් අදහස් කෙරුණු එයින් දැන් - අපගේ දත්ත, අපගේ ජෙනෝම, අවසරපත් වෙළඳපොළක් බවට නැවත ඇසුරුම් කරන වායුගෝලය, සාගර පතුල, අපගේ හිසට ඉහළින් ඇති කක්ෂ, සහ මිනිස් ජීවිතයක අවසාන අලෙවි නොවූ පැය කිහිපය - යන අළුත් ගැඹුරක් ද අදහස් කරයි. අප්‍රිකාවේ අභ්‍යන්තර ප්‍රදේශ, මධ්‍යම ආසියාව සහ කර්මාන්තය විසින්ම ඇති කළ උණුසුම හේතුවෙන් විවෘත වෙමින් පවතින ආක්ටික් ප්‍රදේශය භූගෝලීය වශයෙන් තවමත් විවෘත වෙමින් පවතී.

යන්ත්‍රය එය විසින්ම බිඳ වැටෙන තුරු කිසිවෙකු බලා නොසිටිය යුතුය. සංවිධානය වූ මිනිසුන් විසින් එය වෙනස් කරනු ඇත; නැතහොත් එය කිසිසේත් ම වෙනස් නොවනු ඇත.

commune3._20261002.jpeg


වඩා දිළිඳු රටවල පටු අවකාශය

මෙහිදී සටන් පාඨවලට වඩා අවංකබව අපට වැඩදායක වෙයි. තමන්ව තනිවම පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරන දුප්පත් රටක් බිත්තියක හැපෙයි. එයට විදේශ විනිමය අවශ්‍ය වන අතර, එය මුද්‍රණය කිරීමට හෝ පාලනය කිරීමට එම රටට නොහැකිය. එයට තවමත් නිපදවිය නොහැකි යන්ත්‍ර, ඖෂධ, පොහොර සහ අමතර කොටස් අවශ්‍ය වේ. එහි ණය හිමියෝ කොන්දේසි පනවති. එහි ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යයි. එහි උගත් තරුණ පරපුර විදේශයන්ට බඳවා ගනු ලැබේ. එය දිගටම ප්‍රතිරෝධය දක්වන්නේ නම්, එය සම්බාධකවලට, හුදකලා කිරීමට සහ අවහිර කරනු ලැබීමට ලක් විය හැකිය. වටලනු ලැබූ රටක් ගන්නා තීරණ, නිදහසේ පසුවන සාමකාමී රටක් කිසිදා නොගන්නවා ඇත.

මෙයින් ගත හැකි පාඩම වන්නේ අරමුණ වැරදි බව නොවේ. පාඩම වන්නේ කිසිදු දුප්පත් රටකට එය තනිවම උසුළා ගත නොහැකි බවයි. පරිවර්තනයක් සඳහා සාධාරණ කොන්දේසි මත වෙළඳාම් කිරීමට, තාක්ෂණය බෙදා ගැනීමට සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව සැපයීමට, හවුල්කරුවන් අවශ්‍යවේ. එබැවින් ජාත්‍යන්තරවාදය ව්‍යාපාරය අලංකාරවත් කරන ආභරණයක් නොවේ; එය එහි බර දරා සිටින ප්‍රධාන බිත්තියයි.


අසමාන ලෙස බෙදාගත් එකම වායුගෝලයක්

වාතය කිසිදු දේශසීමාවක් හඳුනා නොගනී; කිසිදු විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලන්නේද නැත. එහෙත් වායුගෝලයට සිදු කර ඇති විනාශයේ බර මුලින්මත්, වැඩිම වශයෙනුත් වැටෙන්නේ එය ඇති කිරීමට අවම දායකත්වයක් දැක්වූ අය, එනම්: වැසි අහිමිවී යන අයුරු බලා සිටින සහෙල් ප්‍රදේශයේ ගොවියා, ඉහළ යන ඩෙල්ටාවක සිටින ධීවරයා, දැඩි උණුසුම් වහලක් යට පලංචියක සිටින කම්කරුවා, දැන් ගංවතුර ගලා යන ස්ථානයේ කලක් සිය නිවස පිහිටා තිබූ පවුල මතයි.

ඊටත් වඩා නරක කාරණය වන්නේ, එම විනාශය අළුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය ද තවත් එක් වට කර ගැනීමක් ලෙස සංවිධානය වෙමින් පැවතීමයි. බලශක්ති සංක්‍රාන්තිය සඳහා අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය පෙර පරිදිම එම භූමියෙන්, එම ප්‍රජාවන්ගෙන්, එම කොන්දේසි යටතේම ලබා ගනිමින් තිබේ. ජීවත් වීමට වැටුපක් සහ ජීවත් විය හැකි ග්‍රහලෝකයක් යන දෙකෙන් එකක් තෝරා ගන්නා ලෙස කම්කරුවන්ට පවසනු ලැබේ. එම තේරීම කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දකි. අපට මෙම තේරීම ඉදිරිපත් කරනු ලබන්නේ පතල සහ අමාත්‍යාංශය යන දෙකේම අයිතිය හිමි පුද්ගලයන් විසිනි. පිළිතුර විය යුත්තේ සෑම කම්කරුවෙකුගේම ජීවනෝපාය සහතික කරන, බලශක්තිය පෞද්ගලික ආදායම් මාර්ගයක් ලෙස නොව පොදු යටිතල පහසුකමක් ලෙස සලකන, සහ මෙම් හානියෙන් ලාභ ලැබූ අය වෙත එහි වියදම යොමු කරන සාධාරණ සංක්‍රාන්තියකි.


වැඩ කරන ජනතාව උසුලන බර

භාෂාමය වෙනස්කම් පසෙකට කල විට සෑම තැනකම දිස් වන්නේ, වැටුපට වඩා වේගයෙන් ඉහළ යන ගෙවල් කුලී, දින අනූවකින් අවසන් වන රැකියා ගිවිසුමක්; දෙවන රැකියාවක්; රැකියා ස්ථානයේ ඔබේ ගමන් බිමන් නිරීක්ෂණය කරන, වැඩ මුරය අවසන් වූ පසුවත් නතර නොවන දුරකථනයක්; වෛද්‍ය බිල්පතක් හෝ පාසල් ගාස්තුවක් සඳහා ගත් ණය බරක්; දවස පුරා වෙහෙසකර වැඩ කොටසක් අවසන් කළ කාන්තාවන් රාත්‍රී කාලයේ කිසිදු වැටුපක් නොලබා කරන සත්කාරක කටයුතු; වෙහෙසක් ලෙස දැනීම නතර වී, ජීවිතයේ ස්වභාවයම එය යැයි දැනෙන්නට පටන් ගෙන ඇති තරමේ විඩාව වැනි ඩ්දේවලින් පිරුණ එකම ආකාරයේ ජීවිතයකි. අනාරක්ෂිතභාවය, නූතන ආර්ථිකයේ අහඹු සිදුවීමක් නොවේ. සාර්ථකව ක්‍රියාත්මක වන එය කළමනාකරණ ක්‍රමවේදයකි.

මේ සියල්ල යටින් දිවෙන්නේ මිනිසුන් සහ රටවල්, පුරවැසියාට එරෙහි සංක්‍රමණිකයා, ලේඛනගත පුද්ගලයාට එරෙහි ලේඛන නොමැති පුද්ගලයා, විධිමත් අංශයට එරෙහි අවිධිමත් අංශය, එක් ආගමකට, කුලයකට, වර්ණයකට, ලිංගයකට සහ භාෂාවකට එරෙහි තවත් එකක් යනුවෙන් බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලියයි. එම සෑම සීමාවක්ම එහි දෙපස ජීවත් වන මිනිසුන්ට සැබෑවක් වේ. ඒ සෑම එකක්ම යම් දේපලක් හිමි අයෙකුට ප්‍රයෝජනවත් වේ. බෙදා වෙන් කරන ලද ශ්‍රම බලකායක් යනු ලාභදායක ශ්‍රම බලකායකි. එය සිදුවන්නේ ඒ හේතුවෙනි.


(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
ඔක්තෝබර් 1, 2026

lionel.bopage@gmail.com

ආචාර්ය ලයනල් බෝපගේ

සමාජ හා දේශපාලන විශ්ලේෂක (ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

ආචාර්ය ලයනල් බෝපගේ යනු ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ඉතිහාසයේ වැදගත් චරිතයකි. 1971 කැරැල්ලට සම්බන්ධ වී සිරගත වූ ඔහු පසුව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, 1984දී පක්ෂයෙන් ඉවත් විය. පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචි වී දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම්වල නිරත විය. lionel.bopage@gmail.com

View all stories by ආචාර්ය ලයනල් බෝපගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...