1200 x 80 DMirror
 
 

දෙනෙත් පෙනුණ ද අන්ධයන් ලෙස වෙසෙන, දෙසවන් ඇසුණ ද බිහිරන් සේ සිටින, කතා කළ හැකි වුව ද ගොළුවන් සේ සිටින මිනිසුන් හට යථා ලෝකයේ තථාභුතභාවය වටහාගැනීම බෙහෙවින් ම අසීරු ය. 

 
එමෙන් ම දෑසට පෙනෙන, දෙසවනට ඇසෙන, සියල්ල සත්‍ය නොවන බව වටහාගන්නට හැකි යමෙක් සිටී ද, යට කී පිරිසට එම පුද්ගලයා පෙනෙන්නේ සිහිය විකල් වුවකු, උම්මත්තකයෙකු ලෙස ය. භාවිත භාෂාවෙන් නම් ‘‘පිස්සකු’’ ලෙස ය. 
 
ඒ අන් කිසිවක් නිසා නොව ලොව වෙසෙන බහුතරයක් ජනතාව මායාකාරී දේශපාලකයන්ගේ මායා දැලට පැටලී සිටින බැවිනි. ඔවුන්ගේ: දෙනෙත්, සවන් හෝ මුව එකී මායා දැලෙන් බේරාගැනීම බෙහෙවින් ම අසීරු ය. 
 
අවසන සිදුවන්නේ ඔවුන් එම දැලෙන් බේරාගැනීමට ඉදිරිපත්වන පුද්ගලයා හෝ කණ්ඩායම උම්මත්තකයන් ලෙස නාමකරණය කර උම්මත්තකාගාර තුළට ගාල් කිරීම ය. එවිට දේශපාලකයන්ට ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන මායාකාරී ප්‍රෝඩාව දිගින් දිගට ම පවත්වාගෙන යා හැකි ය.
 
2018 වසරේ ඔක්තෝබර් මාසයේ විකාශනය අරඹා ඇති, අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයකට අනුව ජයප්‍රකාශ් සිවගුරනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද, කොටස් හැත්තැ දෙකකින් යුත් ‘‘දූවිලි අහස’’ රුපවාහිනී නාට්‍ය නිර්මාණය යට සඳහන් කළ සියලු කරුණු මැනවින් ප්‍රත්‍යක්ෂ කර ඇති රුපවාහිනී නාට්‍ය නිර්මාණයකි.
 
 
දේශපාලකයන්ගේ මතුපිට ස්වභාවය මතු නොව ඔවුන්ගේ යටිබිම්ගත පැවත්ම ද උද්දීපනය කළ රූපවාහිනී නාට්‍ය මෙන් ම: සිනමා, වේදිකා නාට්‍ය අපි කොතෙකුත් නරඹා ඇත. එම අනූභූති පදනම් කරගනිමින් ලියැවී ඇති සාහිත නිර්මාණ ද බොහෝ රසවිඳ ඇත. නමුදු ‘‘දූවිලි අහස’’ යනු එකී නිර්මාණ සියල්ල අභිභවූ නිර්මාණයක් ලෙස මට හැඟිණ. ඊට බලපෑ සාධක කිහිපයකි.
 
  
#බොහෝ නිර්මාණවල පරිදි දුෂ්ටයා පරාජයට පත්වී ප්‍රධාන කථකයා හෝ කථකාව ජයග්‍රහණය කිරීම වෙනුවට අවසන දුෂ්ටයා ම සියල්ල ජයගැනීම.
 
# දේශපාලකයන්ගේ මායාවලට මතු නොව සමස්ත සමාජයේ ම පවත්නා මායාවලට රැවටුණ, රැවටෙන ජනතාව අනාගතයේ ද එලෙස ම රැවටෙන බව ප්‍රත්‍යක්ෂ කිරීම.
 
# එකී මායාමයභාවය සක් සුදක්සේ වටහාගෙන, එයට එරෙහිව නැගී සිටින පුද්ගයන් සහ කණ්ඩායම් වෙත කිසිදු සමාජ අවධානයක් යොමු නොවීම.
 
# සිද්ධි එකින් එක රූප රාමු තුළින් ප්‍රදර්ශනය නොකළ ද සිදු වූයේ කුමක් ද යන්න සහ සිදුවන්නේ කුමක් ද යන්න ඉතා මැනවින් වැටහෙන ආකාරයට නිර්මාණය සංස්කරණය කර තිබීම (ඇතැම් විට මෙම නාට්‍ය බලධාරින්ගේ කතුරට අසුවූවා ද යන්න පවා සැක සිහිත ය.)
 
# කතා සන්දර්භයට අනුරූපව රංගනයේ යෙදෙන සියලු නළු නිළියෝ තම වගකීම මැනවින් වටහාගෙන කටයුතු කර තිබීම.
 
 
මේ ඇතැම් සාධක වෙනත් නිර්මාණ තුළ ද නොතිබුණා යැයි මෙයි අදහස් නොකෙරේ. නමුදු සමස්තයක් ලෙස ගත් විට ‘‘දුවිලි අහස’’ යනු යට කී සාධක සියල්ල එක් නිර්මාණයක් තුළ නිසියාකාරයෙන් උද්දීපනය කෙරෙන නිර්මාණයකි.
 
ttytyt
 
මෙම රුපවාහිනී නිර්මාණය නැරඹූ ප්‍රේක්ෂක ප්‍රජාව මෙහි කුමන පාර්ශ්වය කෙරෙහි ආසක්ත වුවා ද යන්න පිළිබද අවබෝධයක් කිසිදු ප්‍රේක්ෂකයෙකු, ප්‍රේක්ෂිකාවක, විචාරකයෙකු හෝ විචාරිකාවක සතු නොවන්නට පිළිවන. ඒ සියල්ල ග්‍රහණය කරගත හැක්කේ ඔවුනොවුන්ගේ නැණ පමණ සහ බින්න රුචිකත්වය අනුව ය. 
 
නමුදු මගේ කියවීමට අනුව නම් අපි මෙම නිර්මාණය නැරඹීමෙන් ඉක්බිති වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ එහි ප්‍රමුඛ චරිතය වන විපුල (ජනක් ප්‍රේමලාල්) තුළින් විදාරණය කෙරෙන යථාවබෝධය යි. දෙවනුව අවධානය යොමු කළ යුත්තේ: රවිඳු (උදිත් අබේරත්න), යසාරා (ආශා එදිරිසිංහ),  ඇගේ මව (හෂිණිකා කරළියැද්ද) සහ ඇගේ පුත් (ජනිත් වික්‍රමගේ) යන චරිත තුළින් අනාවරණය කෙරෙන සමාජ ගැටලුව යි. 
 
රවිඳුගේ මව (මල්කාන්ති ජයසිංහ) සහ පවනි (සොනාලි ෆොන්සේකා) යන චරිත කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඒ අන් කිසිවක් නිසා නොව රවිඳු සහ ඔවුන් දෙදෙනා ම සිය දෙනෙත් සියතින් ම අඳුරු රෙදිකඩකින් වසාගෙන, සිය දෙසවන් ඔවුන්ගේ ම ඇඟිලිවලින් වසාගෙන මායාකරුවන්ට අවශ්‍ය ආකාරයට පමණක් ම ඔවුන්ගේ වදන් හසුරවන බැවිනි.
 
 
මේ සියල්ල වර්තමානයේ ද පවතින සමාජ යථාර්ථය යි. තමන් පැටලි සිටින මායා දැලෙන් මිදීමට ඔවුන්ට කිසිදාක නොහැකි වනු ඇත. ඒ අන් කිසිවක් නිසා නොව තමන් ජීවත්වන සමාජය තුළ පවත්නා මායාව, මායාවක් බව වටහා නොගැනීම ය. 
 
  
එකී මායාව: දරුවන්ට එරෙහිව දෙමාපියන් ද, දෙමාපියන්ට එරෙහිව දරුවන් ද, පෙම්වතුන්ට එරෙහිව පෙම්වතියන් ද, පෙම්වතුන්ට එරෙහිව පෙම්වතියන් ද මෙහෙයවන බැවිනි; එසේ මෙහෙයවන බව ඔවුන් කිසිවකු වටහා නොගන්නා බැවිනි. සැබැවින් ම මෙහි එන චරිත අතර විපුල හැර අන් සියල්ලෝ ම එකී මායා ලෝකයේ වෙසෙන මායාකරුවන්ගේ අභිමත පරිදි ජීවත්වන චරිත මිස ස්වයං ජීවිත පවතකට හිමිකම් කියන්නෝ නොවෙති.
 
වත්මන් සමාජයේ වෙසෙනෙ පිරිස අතර ද විපුල බඳු පුද්ගලයෝ අතළොස්සක් හෝ සිටිති. නමුදු ඔවුන්ට ද අත්වන්නේ විපුලට අත්වූ ඉරණම ම ය. අවසන එවන් පුද්ගලයන්ට අත්වන ව්‍යසනයෙන් ඔවුන් බේරාගන්නට කිසිවකු ඉදිරිපත් නොවෙති. 
 
ඒ ඔවුන්ට එසේ කිරීමට හැකියාවක් නොමැතිව නොව ඔවුන් සියල්ලෝ ම පාහේ අන්ධභාවය සහ වහල්භාවය නමැති මඩ ගොහොරුවේ එරී සිටින බැවිනි; කරවටක් නොව නාසයටත් තරමක් ඉහළ දක්වා ම එරී සිටින බැවිනි.
 
 49442015 2276397559087189 5150224709178097664 n
 
තවත් පසෙකින් ගත් විට මෙම නිර්මාණය: ආණ්ඩුව, ආණ්ඩුවේ පාලකයෝ, ඔවුන්ගේ අන්තේවාසිකයෝ (වහල්ලු) සහ ජනතාව නියෝජනය කෙරෙන්නක් ලෙස ද සැලකිය හැකි ය. 
 
මෙහි එන ලයනල් (සම්පත් ජයවීර) සහ බලගල්ලේ නමැති දේශපාලකයෝ නියෝජනය කරන්නේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ පාලක පාර්ශ්වය යි.  ලෙස්ලි, ශාන්ත, විල්සන් (දයාසිරි හෙට්ටිආරච්චි), ලයනල්ගේ පුතු වන භාතියගේ (අඛිල ධනුද්ධර) රියදුරු සහ සහායකයා නියෝජනය කරන්නේ අන්තේවාසික භූමිකාව යි. පාලකයෝ යනු මායාකාරයෝ ය.
 
 එමතු නොව මෙහි එන යසාරා, ඇගේ මව සහ අයියා ද එක්තරා ආකාරයක මායාකාර වර්ගයකි. රවිඳු, පවනි සහ ඔවුන්ගේ මව යනු සමස්ත මායාකාර ප්‍රජාවගේ ම මායා දැලෙහි පැටලි සිටින ජනතාව නියෝජනය කරන පිරිසකි. ඔවුන් පැටලි සිටින මායා දැලෙන් පිටතට පැමිනෙන්නට ඔවු උත්සාහ නොකරති. ඉදින්, ඔවුන් ගලවාගන්නට වෙර දරන විපුල බඳු පුද්ගලයෝ තනිවම කුමක් කරන්න ද?
  
  
ලිපිය අවසන් කිරීමට පෙර ‘‘දූවිලි අහස’’ රුපවාහිනී නිර්මාණය නැරඹූ සහ අනාගතයේ නරඹන ප්‍රේක්ෂක ප්‍රජාවගෙන් එක් ඉල්ලීමක් කළ යුතු ය. එනම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑව ද ඔබට හැකි නම් විපුල කෙනෙක් වන්න. එවිට අවම තරමින් එක් මිනිසෙකු හෝ මේ මායාකාර පාලකයන්ගේ දැලෙන් ගලවාගතහැකි වනු එකාන්ත ය.
 
 

 
 
jayasiri 04 e1619629387941.jpgජයසිරි අලවත්ත
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/10/16  
 
 
 
ආලින්දයෙන් ඔබ්බට ජයසිරිගේ වෙනත් ලිපි :
 
 
 
 
 
  
 

 


 

THE LEADER TV 
 
 
 අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 

 
මුර බල්ලෙක් එලියට? | මොණරවිලගේ ලියමන 
 
  
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58