සතියකටවත් ප්‍රමාණවත් ආනයන ආවරණයකට විදේශ සංචිත නොතිබූ අතීත අවාසනාවන්ත තත්ත්වයෙන් මිදි පසුගිය අගෝස්තු වන විට මාස 3.4 ආනයන ආවරණය කීරිමට ප්‍රමාණවත් අන්දමට විදේශ නිල සංචිත ගොඩනගාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
අගෝස්තු මාසයේ විදේශ අංශයේ ආනයන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර ඇත.
පසුගිය අගෝස්තු නිමාවනවිට, මාස හතරකට පසු විදේශීය ජංගම ගිණුම නැවතත් අතිරික්තයක් වාර්තා කොට ඇතැයි මහබැංකුව පවසයි.
එම මස වාර්තා කළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 133කි.
අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ වාර්තා වූ හිඟයන්ගෙන් අනතුරුව, 2026 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුම එක්සත් ජනපද ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.
ආනයන වියදම් අඩුවීම, සංචාරක පැමිණීම් ක්‍රමිකව වැඩිවීම සහ විදේශ ප්‍රේෂණ අඛන්ඩව ඉහළ යාම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය පහළ යාම මෙම ජංගම ගිණුම් අතිරික්තය වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විදේශ ප්‍රේෂණ හා සංචාරක ආදායම
කෙසේ වෙතත්, මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට එල්ල වූ පීඩනයන් පිළිඹිමු කරමින්, 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 291ක් ලෙස සටහන් විය.
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ 2026 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 749ක් දක්වා පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 10.0කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව, 2026 ජනවාරි-අගෝස්තු කාලය තුළ සමස්ත ප්‍රේෂණ ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක් දක්වා සියයට 19.8කින් වර්ධනය වී තිබේ.
අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීම් 191,704ක් ලෙස සටහන් වූ අතර එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 3.3ක අඩුවීමකි. එසේ වුවද, අගෝස්තු මාසයේ සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 264ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය සියයට 2.1ක වර්ධනයකි.
කෙසේ වෙතත්, 2026 ජනවාරි-අගෝස්තු කාලසීමාවේ සමුච්චිත සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.1ක් දක්වා සියයට 10.0 කින් පහත වැටී ඇත.
වෙළඳ හිඟය සහ සංචිත වර්ධනය
අගෝස්තු මාසයේදී ආනයන වියදම් ඉහළ යෑම සහ අපනයන ආදායම් පහළ යෑම හේතුවෙන් වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 674ක් දක්වා පුළුල් විය. අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,240ක් වූ අතර (සියයට 3.3ක අඩුවීමක්) ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,914ක් විය (සියයට 12.8ක ඉහළ යාමක්). 2026 ජනවාරි-අගෝස්තු කාලසීමාව තුළ සමස්ත වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් දක්වා පුළුල් වී ඇත.
ඉන්ධන ආනයන වියදම අගෝස්තු මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් පහත වැටුණු අතර, ජනවාරි-අගෝස්තු කාලයේ සමස්ත ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 4.0ක් පමණ විය. මෝටර් රථ ආනයන වියදම අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 189ක් වූ අතර එය සියයට 24.2ක අඩුවීමකි.
මහ බැංකුව විසින් සිදු කළ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන්, 2026 අගෝස්තු මස අවසානය වන විට චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය මාස 3.4ක ආනයන ආවරණය සඳහා ප්‍රමාණවත් වේ.
මේ අතර, 2026 සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.3කින් අවප්‍රමාණය වී ඇත.
(සටහන | ජේ.මුණසිංහ)



