BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සාහිත්‍ය නිර්මාණකරුවන් මුදල් හඹා යාම වරදක් ද?

T

The Leader

October 1, 2026 • 4:33 AM

සාහිත්‍ය නිර්මාණකරුවන් මුදල් හඹා යාම වරදක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලාව වෙළෙඳපොළට යට නොවී, ලේඛකයා සිය නිර්මාණාත්මක සත්‍යය මුදල වෙනුවෙන් පාවා නොදීමේ දාර්ශනික හා ප්‍රායෝගික යථාර්ථය විමසා බැලීමක්.
  • එබැවින් සැබෑ ගත්කතුවරයකුගේ හෝ කවියකුගේ ප්‍රධාන අරමුණ වන්නේ තමා තුළ පවත්නා සුවිශේෂ ප්‍රතිභාව මුල් කොට යම් සංකල්පයක්, අත්දැකීමක් හෝ දැක්මක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීම මිස එයින් උපරිම මුදලක් උපයා ගැනීම නොවේ.
  • අද වන විට එය කෙතරම් බලගතු ලෙස ස්ථාපිතව පවතින්නේ ද යත්, මට එය හරිහැටි පසක් වූයේ ඉකුත් 27 වැනි ඉරිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශන භූමියට පිවිසි මොහොතේ ය.
  • ඊට හේතුව එහිදී මා අපේක්ෂා කරන විවේක බුද්ධියෙන් තමන් කැමති පොත් තෝරන පාඨකයන් වෙනුවට, ඇතැම් පොත් කුටි තුළ පොදි කමින් පොතපත තෝරන පාරිභෝගික පිරිසක් දක්නට ලැබීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සාහිත්‍යය යනු මිනිසාගේ අත්දැකීම්, සිතුවිලි, හැඟීම් සහ සමාජ යථාර්ථය වචන බවට පත් කරන අතිප්‍රබල මාධ්‍යයකි. එබැවින් සැබෑ ගත්කතුවරයකුගේ හෝ කවියකුගේ ප්‍රධාන අරමුණ වන්නේ තමා තුළ පවත්නා සුවිශේෂ ප්‍රතිභාව මුල් කොට යම් සංකල්පයක්, අත්දැකීමක් හෝ දැක්මක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීම මිස එයින් උපරිම මුදලක් උපයා ගැනීම නොවේ.
 
එහෙත් ග්‍රන්ථකරණය, සාහිත්‍යය හා කලාව කේන්ද්‍ර කරගත් දැවැන්ත ප්‍රචාරක හා අලෙවි ව්‍යාපාර ජාලයක් ද මේ වන විට ඉස්මතු වී තිබේ. අද වන විට එය කෙතරම් බලගතු ලෙස ස්ථාපිතව පවතින්නේ ද යත්, මට එය හරිහැටි පසක් වූයේ ඉකුත් 27 වැනි ඉරිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශන භූමියට පිවිසි මොහොතේ ය. ඊට හේතුව එහිදී මා අපේක්ෂා කරන විවේක බුද්ධියෙන් තමන් කැමති පොත් තෝරන පාඨකයන් වෙනුවට, ඇතැම් පොත් කුටි තුළ පොදි කමින් පොතපත තෝරන පාරිභෝගික පිරිසක් දක්නට ලැබීම ය. එමෙන්ම මෙම ව්‍යාපාර ජාලය හා සම්බන්ධ සමහර ගත්කතුවරුන් හා කවියන් ද එම අලෙවි තරගයට අවතීර්ණ වී සිටිනු දක්නට ලැබිණි.

පරිභෝජනවාදය සහ නිර්මාණයේ සැබෑ අරමුණ

ඒ ඔවුන් තුළ ද වත්මන් නව ලිබරල්වාදී සමාජය තුළ කලාව ඉක්මවා පරිභෝජනවාදය ඉස්මතුව පවතින බවට ඇති දැනීම මත පදනම් වූවක් ද යන්න සැකයකි. මා මින් අදහස් කරනුයේ ලේඛකයන්ට මුදල් අවශ්‍ය නොවන හෝ තම නිර්මාණවලින් ආදායමක් ලැබිය යුතු නැති පිරිසක් යන්න නොවේ. ගැටලුව ඇත්තේ මුදල නිර්මාණයේ අරමුණ බවට පත්වීම සහ නිර්මාණය ජීවිතය, සත්‍යය හා කලාත්මක අවශ්‍යතාව වෙනුවෙන් කිරීම අතර ය.

ලෝක සාහිත්‍ය ඉතිහාසය දෙස බැලූ විට මේ වෙනස පැහැදිලිව දැකිය හැකිය. මහ ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි තම Confession කෘතියේ තම තරුණ අවධියේ ලේඛනය සම්බන්ධයෙන් කළ ස්වයංවිවේචනය විමසා බැලීම මෙහිදී ඉතා වැදගත් ය. ඔහුගේ ස්වයංවිවේචනයෙන් පැහැදිලි වන්නේ කීර්තිය, සමාජ පිළිගැනීම සහ පෞද්ගලික අභිලාෂයන් පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ලේඛන ජීවිතය පිළිබඳ පසුකාලීන ආවර්ජනයට බලපෑ බවය. ඒ අනුව මුදල් සහ ප්‍රශංසාව තම අභ්‍යන්තර අරමුණ බවට පත්වන විට ලේඛනයේ සත්‍ය අරමුණ විකෘති විය හැකි බව ඔහුගේ ජීවිත අත්දැකීමෙන් ද පැහැදිලි වේ.

ෂොපන්හෝවර් සහ ඕර්වෙල්ගේ යථාර්ථවාදී දැක්ම
 
writer241230
එය ටෝල්ස්ටෝයිගේ පෞද්ගලික අත්දැකීමක් පමණක් නොවේ. ජර්මානු දාර්ශනික ආතර් ෂොපන්හෝවර් ද ලේඛකයන්ගේ අරමුණු පිළිබඳව දැඩි මතයක් ඉදිරිපත් කළ අයෙකි. ඔහුගේ On Authorship නම් ලිපියේ යම් විෂයයක් පිළිබඳව පැවසීමට යමක් ඇති නිසා ලියන ලේඛකයා සහ හුදු මුදල් උපයා ගැනීම සඳහා ලියන ලේඛකයා අතර වෙනස ඉතා නිරවුල් ලෙස දක්වා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ පළමු වර්ගයේ ලේඛකයා තමන්ට පැවසීමට වටිනා සිතුවිලි හෝ අත්දැකීම් ඇති නිසා ලියන අතර, දෙවැනි වර්ගය මුදල් උපයා ගැනීමේ අරමුණින් ලියන බව ය. ලේඛනයේ අරමුණ මුදල් බවට පත්වන විට අදහස්වල නිරවුල් බව, අව්‍යාජත්වය හා අන්තර්ගතයේ ගුණාත්මකභාවය පිරිහීමේ අවදානමක් ඇති බව ඔහු දැඩි ලෙස විවේචනය කරයි.

විසිවන සියවසේ ඉංග්‍රීසි ලේඛකයකු වූ ජෝර්ජ් ඕර්වෙල්ගේ අදහස් මේ සම්බන්ධයෙන් වඩාත් යථාර්ථවාදී ය. Why I Write නම් සිය ප්‍රකට රචනාව මඟින් ඔහු ලේඛකයකු තුළ කීර්තියට ඇති ආශාව, සෞන්දර්යාත්මක උනන්දුව, ඉතිහාසය හා සත්‍යය පිළිබඳ උනන්දුව සහ දේශපාලන අරමුණ වැනි විවිධ පෙළඹවීම් පවතින බව පැහැදිලි කරයි. ඒ අතරින් ලේඛකයාට ජීවිකාව සලසා ගැනීමේ අවශ්‍යතාව ද වෙනම කරුණක් ලෙස ඔහු සලකයි. ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ බැරෑරුම් ලේඛකයන් සාමාන්‍යයෙන් මුදල් කෙරෙහි අඩු උනන්දුවක් දක්වන නමුත්, ලේඛනය සම්පූර්ණයෙන්ම මුදලින් වෙන් කළ නොහැකි බව ය.

ජනප්‍රියත්වය, ආදායම සහ සාහිත්‍යයේ සමාජ වගකීම

ඕර්වෙල්ගේ ජීවිතයම මේ දෙය තේරුම් ගැනීමට හොඳ උදාහරණයකි. ඔහු දරිද්‍රතාව, කම්කරු ජීවිතය, සමාජ අසාධාරණය සහ දේශපාලන බලය පිළිබඳ ලිවීය. ඔහුගේ ' Down and Out in Paris and London වැනි කෘති මඟින් දරිද්‍රතාව හා සමාජ පන්තිය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කළ අතර, The Road to Wigan Pier සහ Homage to Catalonia වැනි කෘති මඟින්ද සමාජ හා දේශපාලන යථාර්ථයන් විමසා බැලීය. එහෙත් ඔහු ලේඛකයකුට ජීවිකාවක් අවශ්‍ය බව ප්‍රතික්ෂේප කළේ නැත. ඒ අනුව “සැබෑ ලේඛකයා මුදල් නොසොයයි” යන්නට වඩා “සැබෑ ලේඛකයා මුදල් නිසා තම ලේඛන අරමුණ පාවා නොදෙයි” යන්න ඔහුගේ අදහස් සමඟ වඩාත් ගැළපේ. ඕර්වෙල් තම ලේඛනයේදී කලාත්මක අරමුණ සහ සත්‍යය පිළිබඳ අරමුණ එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ කළ බවද Why I Write මඟින් පැහැදිලි වේ.
 
දහනව වැනි සියවසේ ඉංග්‍රීසි නවකතාකරුවකු වූ චාල්ස් ඩිකන්ස්ගේ ජීවිතය ඒ සම්බන්ධ තවත් පැත්තක් පෙන්වයි. ඔහු තම ලේඛනයෙන් විශාල ජනප්‍රියත්වයක් හා ආදායමක් ලබාගත් ලේඛකයෙකි. එහෙත් ඔහුගේ සාහිත්‍යයේ මධ්‍යයට පැමිණියේ දුප්පත්කම, ළමා අසරණභාවය, සමාජ අසාධාරණය සහ මිනිස් ජීවිතයේ දුක්ඛිත පැතිකඩ ය. ඔහු ජනප්‍රියත්වය ලබාගත්තේ ජනතාවට කැමති හිස් විනෝදාස්වාදයක් පමණක් සැපයීමෙන් නොව, තම කාලයේ සමාජය පිළිබඳ දැඩි නිරීක්ෂණ සාහිත්‍යය මඟින් ඉදිරිපත් කිරීමෙනි. ඔහුගේ ලේඛන ජනතාව අතර ජනප්‍රිය වීම සහ ඒවායෙන් ආදායමක් ලැබීම එම නිර්මාණවල සමාජ අරමුණ අහෝසි කළේ නැත.

ආත්මය වෙන්දේසි නොකරන නිර්මාණශීලී නිදහස

කවිය සම්බන්ධයෙන් දහනව වැනි සියවසේ මුල් භාගයේ ඉංග්‍රීසි කවියකු වූ ජෝන් කීට්ස්ගේ ජීවිතය ද විශේෂ ය. ඔහුගේ ජීවිතය මූල්‍ය දුෂ්කරතාවලින් තොර එකක් නොවීය. එහෙත් කීට්ස්ගේ කාව්‍යමය උරුමය අද වටින්නේ ඔහු කොපමණ මුදලක් උපයා ගත්තේද යන්න නිසා නොව, කෙටි ජීවිතයකදී භාෂාව, සෞන්දර්යය, මරණය, ආදරය සහ මිනිස් අත්දැකීම සම්බන්ධයෙන් ඔහු කළ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් නිසා ය.

දහනව වැනි සියවසේ ඇමරිකානු කිවිඳියක වූ එමිලි ඩිකින්සන්ගේ උදාහරණය ඊටත් වඩා විශේෂ ය. ඇය තම කාව්‍ය නිර්මාණවලින් විශාල වෙළෙඳපොළක් ගොඩනැඟීමට උත්සාහ කළ කිවිඳියක නොවේ. ඇගේ ජීවිත කාලයේදී ප්‍රකාශයට පත් වූ කවි තිබුණේ ඉතා ස්වල්පයකි. එම ප්‍රකාශන බොහෝවිට නිර්නාමිකව හා සංස්කරණය කර පළ වූ අතර, ඇගේ ප්‍රකාශන අරමුණු පිළිබඳව ද සාහිත්‍ය විචාරකයන් අතර විවිධ අදහස් පවතී.

ඇගේ Publication – is the Auction නම් කවිය මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් වැදගත් ය. එහි ප්‍රකාශනය මිනිස් මනස “වෙන්දේසි කිරීමක්” ලෙස රූපකගත කරමින්, මිනිස් ආත්මය හෝ නිර්මාණශීලීත්වය මිලකට යටත් කිරීම පිළිබඳ දැඩි සැලකිල්ලක් පළ කරයි. එම කවිය ප්‍රකාශන කර්මාන්තය පිළිබඳ ඇගේ විවේචනාත්මක දෘෂ්ටිය සාකච්ඡා කිරීමට භාවිත කළ හැකි වැදගත් සාහිත්‍ය උදාහරණයකි.

මුදල සඳහා ලිවීම සහ ලියූ දෙයින් මුදල් ලැබීම

නමුත් මෙහිදී “සැබෑ ලේඛකයා මුදල් හඹා නොයයි” යන ප්‍රකාශය අන්ධ විශ්වාසයක් බවට පත් නොකළ යුතුය. ඉතිහාසයේ ලේඛකයන් රාශියක් තම ලේඛනයෙන් ආදායම් උපයා ඇත. සමහරු අනුග්‍රාහකයන්ගෙන් ජීවත් වූහ. තවත් සමහරු පොත් අලෙවිය, පුවත්පත් ලිපි, දේශන සහ ප්‍රකාශන මඟින් ජීවිකාව සලසා ගත්හ. එබැවින් දුප්පත් වීම හෝ මුදල් නොපැතීම හා නොලැබීම “සැබෑ සාහිත්‍යකරුවකු” හඳුනාගැනීමේ නිර්ණායකයක් නොවේ.

ඇත්ත වශයෙන්ම සාහිත්‍‍යය යනු මුදලට විරුද්ධ දෙයක් නොවේ. ගත්කතුවරයාට ද අනෙක් මිනිසුන් මෙන් ජීවත්වීමට, ආහාර ගැනීමට, සිය පවුල් ඒකකය පවත්වා ගැනීමට සහ තම නිර්මාණ කටයුතු සඳහා වියදම් කිරීමට මුදල් අවශ්‍ය ය. ප්‍රශ්නය වන්නේ මුදල් උපයා ගැනීම නොව, මුදල් සඳහා ලිවීම සහ ලියන දෙයින් මුදල් ලැබීම අතර පවතින වෙනස ය.
 
charles dickens writingචාල්ස් ඩිකන්ස්
ලේඛකයකු ජනප්‍රිය වීම ද එසේ ම ය. ජනප්‍රියත්වය යනු ස්වයංක්‍රීයව සාහිත්‍යයේ පිරිහීමක් නොවේ. ඩිකන්ස් වැනි ලේඛකයකුගේ කෘති විශාල පාඨක පිරිසක් අතර ජනප්‍රිය වූ අතරම ඒවා සමාජය පිළිබඳ ප්‍රබල නිරීක්ෂණ ද ඉදිරිපත් කළේ ය. නමුත් පාඨකයා කැමති දේ පමණක් සැපයීම සඳහා නිර්මාණයේ අන්තර්ගතය, භාෂාව හෝ සත්‍‍යය වෙනස් කිරීම සාහිත්‍යයේ ස්වාධීනත්වයට ගැටලුවක් විය හැකි ය.

කාලය පරයන සාහිත්‍යයේ සදාතනික වටිනාකම

එබැවින් සැබෑ ගත්කතුවරයකු හෝ කවියකු මුදලට සම්පූර්ණයෙන්ම පිටුපාන නිෂ්ක්ලේශී පුද්ගලයකු ලෙස අර්ථ දැක්වීම වරදකි. ඔහු මුදලේ අවශ්‍යතාව හඳුනාගන්නා නමුත් මුදලට තම නිර්මාණාත්මක නිදහස පාවා නොදෙන පුද්ගලයකු වීම වඩාත් වැදගත් ය. කීර්තිය, සම්මාන, අලෙවිය සහ ආදායම නිර්මාණයක ප්‍රතිඵල විය හැකි ය; ඒවා නිර්මාණයේ එකම අරමුණ බවට පත්වීම වෙනම කරුණකි.
 
එහෙත් සාහිත්‍යයක සැබෑ වටිනාකම තීරණය කරන්නේ එය රචනා කළ මොහොතේ ලේඛකයා උපයාගත් මුදලින් නොවේ. කාලය ගෙවී ගිය පසුවත් එම කෘතිය මිනිසාට තමන් ගැනත්, තම සමාජය ගැනත්, ලෝකය ගැනත් අලුතින් සිතීමට බල කරන්නේ ද යන්නෙනි. මුදල් කාලයත් සමඟ අවසන් විය හැකි ය. ජනප්‍රියත්වය ද අඩු විය හැකි ය. එහෙත් මිනිස් අත්දැකීමක ගැඹුරු සත්‍යයක් වචන බවට පත් කළ නිර්මාණයක් පරම්පරා ගණනාවක් පසුකර යා හැකි ය.

ඒ නිසා “සැබෑ ගත්කතුවරයා මුදල් නොහඹයි” යන වාක්‍‍යය වඩාත් නිවැරදිව කියන්නේ නම් එය මෙසේ විය හැකි ය: සැබෑ ගත්කතුවරයා මුදල් උපයා ගැනීමට විරුද්ධ නොවේ; එහෙත් මුදල් උපයා ගැනීම සඳහා තමන්ට පැවසීමට ඇති සත්‍යය අත්හැරීමට ඔහු සූදානම් නොවේ. සාහිත්‍යයේ දිගුකාලීන වටිනාකම රැඳී ඇත්තේ එම නිදහස තුළ ය.

Reeta Jenet Perera
(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...