1200 x 80 DMirror

 
 

ලංකාවේ වෙසෙන බහුතරයක්: පාඨක, ප්‍රේක්ෂක මෙන් ම රසික ප්‍රජාව කියන්නෙ ඕනෑම කලා නිර්මාණයක මතුපිට තලය පමණක්: නරඹන, සවන් දෙන

සහ කියවන පිරිසක්. ඒ අතර ඕනෑම නිර්මාණයක ගැඹුරට කිමිදිලා, එහි රස විඳල වගේ ම අදාළ නිර්මාණය ‘‘කියවාගත හැකි’’ පාඨක, ප්‍රේක්ෂක සහ රසික ප්‍රජාවකුත් ඉන්නව. ඒ වගේ ම ජනප්‍රිය හෝ ප්‍රබුද්ධ යැයි හඳුන්වාගත් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක ඉදිරිපත් කරන ඕනෑම නිර්මාණයක් උසස් නිර්මාණයක් ලෙස බාරගන්න පාඨක, ප්‍රේක්ෂක සහ රසික ප්‍රජාවකුත් ඉන්නව. ඒ කොහොම වුනත් ඕනෑම කලා නිර්මාණයක් විඳීමේ සහ කියවාගැනීමේ ශක්‍යතාව ගොඩනැගෙන්නෙ අදාළ පුද්ගලයාගේ නැණ පමණ අනුව කියන කාරණය මීට පෙරත් බොහෝ අවස්ථාවල ලියල තියෙනව.

 

ananda namal

ආනන්ද අබේනායක - නාමල් ජයසිංහ

 

මෙන්න මේ කියන ලක්ෂණ බොහොමයක් ඉතා ඉක්මනින් ම ප්‍රකට කරපු ටෙලි නිර්මාණයක් විදියට නාමල් ජයසිංහගේ තිර රචනයකට අනුව ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරපු ‘‘පීතෘ’’ ටෙලි නිර්මාණය හඳුන්වන්න පුළුවන්.

මේ නිර්මාණය ඉතා අඩු කොටස් ප්‍රමාණයකින් යුක්ත නිර්මාණයක් මෙන් ම ඉතා මන්දගාමීව ගලා යන නිර්මාණයක්. නාමල් ජයසිංහගේ බොහෝ තිර රචනාවල මෙන් ම මේ තිර රචනයෙත් සමාජයේ දැවෙන ප්‍රශ්න පිළිබඳ කතිකාවක් අන්තර්ගතයි; ඒකතිකාවේ ගැඹුර අන්තර්ගතයි. ඒ වගේ ම හැම රූප රාමුවක් තුළ ම පැවතියේ එළඹෙන තත්ත්පරය පිළිබඳ අවිනිශ්චිත හැඟීමක්. අනෙක් කාරණය තමයි සැඟවුණ චරිතය අවශ්‍ය මොහොත දක්වා ම සඟවා තබාගන්න දැරූ උත්සාහය. එය ඉතා ම සාර්ථකයි. ඒ සාර්ථකත්වය පිටුපස්සෙ නිර්මාණයේ කැමරා ශිල්පියා වගේ ම සංස්කරණ ශිල්පියත් විශාල වැඩ කොටසක් කරල තියෙන වග දැනෙනවා.

නළු නිළියන් ද තම තමන්ට හිමි වගකීම ඉතා මැනවින් ඉටු කරපු බව විශේෂයෙන් ම සඳහන් කරන්න ඕන. එහි ගෞරවය ඒ නළු නිළියන්ට වගේ ම නිර්මාණයේ අධ්‍යක්ෂ ආනන්ද අබේනායකට ද හිමි විය යුතුයි.

මම මෙතනදි නිර්මාණයේ අන්තර්ගත කතාව කෙටියෙන් හෝ ගෙනහැර දක්වන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට මේ නිර්මාණය තුළින් ගම්‍යමාන වන විවිධ මාන කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්නම්.

පළමු සහ මුඛ්‍ය මානය වෙන්නෙ පියෙක් සහ දියණියක අතර (විශේෂයෙන් ම මව අහිමි) පවතින: සමීප බව, ආදරය, සෙනෙහස, කරුණාව සහ විවෘතභාවය. මෙහි ප්‍රධාන චරිතයක් වන ගෞරි (උමාලි තිලකරත්න) හට මව සිටියා වුව ද මව සහ දියණිය අතර මෙතරම් විවෘතභාවයක් නොතිබෙන්න පුළුවන්.

pitruc

පියත් සමග පැවති ඒ අපූරු පීතෘ සහ දුහිතෘ සෙනෙහස නිසාම තමයි ඒ දෙන්නට ම දෙන්නගෙ අදහස් බෙදාගන්න පුළුවන් වෙන්නෙ. ඒ කියන්නෙ ගෞරි එයාගෙ ආදරවන්තයත් එක්ක හෝටල් කාමරයකට ගිහින් ලිංගික සතුට වින්ද කියල ඍජුව ම කියන්න පුළුවන් වෙන්නෙ. ‘‘තාත්තෙ... මම ගියේ මට ආදරය කරන, මම ආදරය කරන කෙනත් එක්ක නෙ...’’ කියල ඍජුවම තාත්තට කියන්න පුළුවන් වෙන්නෙ. ලංකාවෙ වෙසෙන දියණිවරු සහ පියවරු අතර මෙබඳු විවෘතභාවයක් පවත්වාගන්න පුළුවන් නම් ඒක සමාජයේ වෙසෙන පියවරු සහ දියණිවරු අතර ඇතිවන බොහෝ ප්‍රශ්නවලට පහසුවෙන් ම විසඳුම් හොයාගන්න පුළුවන් තත්ත්වයක්.

 

මෙතනදි විශේෂයෙන් ම සඳහන් කරන්න වුවමනා දෙයක් තියෙනව. ඒ, පියා සහ දියණිය යන දෙදෙනා ම තමන්ගෙ ඉලක්ක වෙත හඹා යාමේ දී දක්වන ඉවසිලිවන්ත භාවය. මේ පියා සහ දියණිය යන දෙදෙනා ම එකිනෙකාට රහසේ තම තමන්ගෙ ඉලක්ක කරා හඹා යන මොහොතෙ දෙදෙනා ම දෙදෙනාගෙ රහස්‍යභාවය රැකගන්න විසාල ප්‍රයත්නයක් දරනවා.

272984426 1369456220168671 7175909043003588353 n

දෙවන මානය විදියට මම දකින්නෙ අවංක ආදරය වෙනුවෙන් ආදරවන්තයෙකුට මොන තතරම් ඉවසන්න පුළුවන් ද යන්න. ගෞරිගෙ පෙම්වතා වෙන ශානක එහෙම කෙනෙක්. ඔහු ගෞරිට ඇත්තට ම ආදරෙයි. ගෞරි පත්වෙලා ඉන්න මානසික අර්බුදය හේතුවෙන් ඇය දිගින් දිගට ම ශානකව ප්‍රතික්ෂේප කරද්දි පවා ‘‘එනෙං උඹ ඕන බම්බුවක් කරගනිං,’’ කියල පැත්තකට වෙලා ඉන්නෙ නැතුව දිගින් දිගට ම ඇය සමග බැඳීම් ඇති කරගන්න කරන උත්සාහය ඔහුගේ අවංකභාවය ප්‍රකට කරනවා. ඒ නිසා තමයි ඔහු කිහිප වතාවක් ම ඇය බලන්න යන්නෙ. ඇය රෝහලේ ඉන්න වෙලාවෙ ‘‘අංකල්... මට ගෞරිව බලන්න දෙන්න... ළඟට යන්න ඕන නෑ... මං ඈතින් ඉඳන් බලන්නම්,’’ කියල, ඒ වගේ ම ඈතින් ඉඳන් තමන්ගෙ ආදරවන්තිය දිහා බලාගෙන ඉන්නෙ; ගෞරිත් එක්ක කතා කරන්න ලැබුණු පළමු මොහොතෙම වුනත් ‘‘කමක් නෑ ඔයාට කැමති කාලයක් ඉන්න. මං එතකන් බලාගෙන ඉන්නං,’’ කියල එයාගෙ ඉවසීමේ ගුණය ඔප්පු කරන්නෙ; ඇය මොන තරම් තමන්ව ප්‍රතික්ෂේප කරත් ඇගේ විභාග අයදුම්පත ඇය අතට ම ලැබෙන්න සලස්වන්නෙ. ඇත්තට ම අවසානෙ මොනව වුනත් ඔහුගේ ඒ ඉවසීම ම තමයි ඔවුන්ගෙ ප්‍රශ්නය විසඳාගන්න මූලික වෙන්නෙ.

274177997 1369456120168681 4815895613974425983 n

ගෞරිගෙ පියා වන ලලිත් (ප්‍රියන්ත සිරිකුමාර) ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයෙක් වෙන්නෙ ම සිය දියණියට දක්වන ආදරය, සෙනෙහස සහ කරුණාව නිසා. ඔහුත් ඔහුගෙ මිතුරා වන ධම්ම වගේ කටයුතු කරා නම් සිදුවෙන්නෙ වෙනස් ම සිද්ධි මාලාවක්. මෙතනදි ප්‍රේක්ෂකයො හිතන්න පුළුවන් මේ වගේ Cyber අපරාධවලට එරෙහිව කටයුතු කරන්න පුළුවන් අවස්ථා බොහෝ පවතිනව කියල. නමුත් ඒ අය නැවත හිතන්න වෙනව එබඳු ගැටලුවක් නීති මාර්ගයෙන් විසඳාගන්න ගියා නම් ගෞරි මොන තරම් සමාජ අපවාදයට ලක් වෙනව ද කියල. ඒක පොලිසියෙදි ඉතා මැනවින් ප්‍රත්‍යක්ෂ කෙරෙනව. පොලිසියෙ පහළ නිලධාරින් විතරක් නෙවෙයි... උසස් ම නිලධාරියට පවා ඒ ගැටලුව දිහා මානුෂික විදියට බලන්න බැරි වෙනව. ඔහු පවා කටයුතු කරන්නෙ පවතින සමාජ වටපිටාවට සාපේක්ෂ විදියට ම යි. මම හිතන්නෙ එක් වතාවක් දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කරපු විදියට පොලිසියට බඳවාගන්න වුවමනා වෙන්නෙ අපරාධ විද්‍යාව විතරක් හදාරපු අය නෙවෙයි. සමාජවිද්‍යාව හදාරපු අයත් අනිවාර්යයෙන් ම පොලිසියට බඳවාගත යුතුයි. එහෙම වුණා නම් එයාලට පවතින සමාජ තත්ත්ව අවබෝධ කරගෙන, වෙනස් විදියට හිතල ඔවුන්ගෙ රැකියාව කරන්න පුළුවන්; මිනිස් සමාජය පිළිබඳ යථාවබෝධයෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන්.

යට සඳහන් කරපු විදියට පියා සහ දියණිය කලබලයකින් තොරව තමන්ගෙ අභිප්‍රා සපල කරගන්න උත්සාහ දැරුවට ශානක එහෙම නැහැ. ඒ තමයි හුඟක් තරුණ පිරිමින්ගෙ විදිය. ඔහු කළ පළමු මෙහෙයුම ම අසාර්ථක වෙන්නෙ ඔහුගෙ තරුණකම ඉස්මතුවීම තුළ සිදුකරන ක්‍රියා නිසා. ඔහු සිය පෙම්වතිය වෙනුවෙන් කරන ඉවසීම අනෙක් කටයුතු වෙනුවෙනුත් භාවිත කළා නම්... ඔවු... එහෙම වෙන්නෙ නැහැ තමයි. මොකද එක් එක් පුද්ගලයො ජීවිතයෙදි මුහුණ දෙන එක් එක් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාර වෙනස්. මෙන්න මේ වෙනස තමයි ශානකගෙ චරිතය තුළින් අපිට ඉදිරිපත් කරන්නෙ.

තෙවන මානය විදියට මම දකින්නෙ තිර රචකයා ඉතා සියුම් ආකාරයෙන් දැනට පවතින සමාජ ප්‍රශ්න කිහිපයක් එක මිටකට අරගෙන ඒවායේ ඉසියුම් තැන් ඉතා මැනවින් ඉදිරිපත් කිරීම. එහි පළමු සහ බියකරු ම සිද්ධිය වෙන්නෙ විදෙස් රටවල පමණක් (විශේෂයෙන් ම ඉන්දියාවට) සීමා වෙලා තිබුණ වකුගඩු ජාවාරම මේ වන විට ලංකාවෙත් මොන තරම් ව්‍යාප්ත වෙලා තියෙනව ද යන්න සහ එය කෙතෙරම් සූක්ෂ්ම ආකාරයට සිදුකෙරෙනවා ද යන්න ප්‍රකට කිරීම.

 

තවත් පසෙකින් ක්ෂුද්‍රමූල ණය ගත් පිරිස මුහුණ දෙන ඛේදවාචකය; ඒ ණයෙන් නිදහස් වෙන් ඔවුන් දරන උත්සාහය; අසාධ්‍ය රෝගියෙකුගෙ රෝගී තත්ත්වයට කඩිනමින් ප්‍රතිකාර කරන්න තරම් පහසු මාර්යක් නැති රටක ඒ වෙනුවෙන් පුද්ගලික අංශයේ පිහිට පතන්න වීම සම්බන්ධයෙන් රෝගියාගෙ පාර්ශවයෙන් අත් විඳින කටුකත්වය යනාදිය පිළිබිඹු කෙරෙනවා. එහි ම තවත් මානයක් විදියට තරුණ තරුණියන්ගෙ දක්ෂතාවලට අනුව ඔවුන්ගේ සිහින සඵල කරගන්න බැරිවීම තුළ ඔවුන් මුදල් සොයාගැනීම සඳහා පෙළඹෙන අවිහිංසක ක්‍රම ද පිළිබිඹු කෙරෙනවා. වව්නියාවෙ තරුණයෙක් youtube නාලිකාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත ඔහුගෙ වකුගඩුව මුදලට විකිණීම; අවසන ඔහු ඛේදනීය ලෙස මිය යාම.

 

ඇත්තට ම රටේ ඉන්න තරුණ පිරිසගෙ හැකියා සහ අවශ්‍යතා නිවැරැදිව හඳුනාගෙන, ඔවුන්ගෙ ඒ අවශ්‍යතා සපුරන්න රටක් විදියට අපිට පුළුවන්කම තිබුණ නම් ඒ තරුණයට තමන්ගෙ වකුගඩුව විකුණන්න වුවමනා වෙන්නෙ නැහැ; අකාලයේ තමන්ගෙ ජීවිතය නැතිකරගන්න වෙන්නෙ නැහැ. මේ ව්‍යසනවලට වගකිව යුත්තේ වකුගඩු ජාවාරම්කාරයො හරි වකුගඩුව විකුණන පුද්ගලය හරි නෙවෙයි. රටේ පාලකයො. රටේ පාලකයන් දක්ෂ වෙන්න ඕන රටේ මිනිස්සුන්ගෙ අවශ්‍යතා හඳුනාගෙන ඊට අදාළ සැලසුම් හදල ඒව ක්‍රියාත්මක කරන්න. එහෙම තත්ත්වයක් පැවතුණා නම් ඒ වගේ දක්ෂ තරුණ ජීවිත අකාලයේ අහිමි වෙන්නෙ නැහැ. නාමල් එයාගෙ තිර රචනය තුළ මෙන්න මේ ඛේදවාචකය ඉතා සරල මෙන් ම ගැඹුරු විදියට සාකච්ඡා කරනව. නමුත් මට හිතෙන්නෙ ‘‘පිතෘ’’ නරඹපු හුඟක් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවො නාමල් මතු කරන මේ සමාජ ඛේදවාචකය නිවැරැදිව හඳුනාගෙන තිබුණෙ නැහැ. ඒ නිසා තමයි මේ නාට්‍ය පිළිබඳව ගැඹුරු කතිකාවක් පැන නොනැගුණේ.

273414006 1369456046835355 2406214702026602462 n

දැන් බලමු Cyber අපරාධකරුවාගේ භූමිකාව කොහොම ද කියල. ටෙලි නිර්මාණයේ දකින්න ලැබෙන විදියට ඔහු ජංගම දුරකතන අලුත්වැඩියා කරන, ඒ සම්බන්ධයෙන් උසස් දැනුමක් සහිත පුද්ගලයෙක්. ඔහු එකවිට ම අපරාධ දෙකක් කරන්න උත්සාහ කරනව. එකක් ගෞරිගේ සහ ශානකගෙ ලිංගික ජවනිකා අලෙවි කරන බව පවසා ගෞරිගේ පියාගෙන් මුදල් ඉල්ලා සිටීම. අනෙක තමයි ගෞරිගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම.

 

273964306 1369455946835365 8177118874886190115 n

මේ ගැටලු දෙකට වෙන වෙන ම මුහුණ දෙන පියා සහ දියණිය ගන්න තීරණ සම්බන්ධයෙන් සාමානය ප්‍රේක්ෂක ප්‍රජාවට ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් මේ වගේ රටක වෙසෙන Cyber අපරාධකාරයො නීතියේ රැහැනට අහුවෙනව හරිම අඩුයි. අහුවුණත් ඊට පස්සෙ අදාළ සිද්ධියට සම්බන්ධ පිරිමි පාර්ශ්වය කෙහොම වෙතත් කාන්තා පාර්ශ්වයට මුහුණ දෙන්න වෙනේනෙ තවත් ඛේදවාචකයකට. මෙන්න මේ යථාර්ථය මේ පියා සහ දුව යන දෙන්නම හොඳින් ම දන්නව. ඒ නිසා තමයි මේ දෙන්න තමන්ට එල්ලවන අභියෝගයට දෙවිදියකට මුහුණ දෙන්නෙ. එහෙම වෙන්නෙත් අපේ සමාජයෙ පවතින නොදියුණු භාවය නිසා. මට දැනෙන්නෙ නාමල්ට කියන්න වුවමනා වෙලා තිබුණෙත් ඒක. හැබැයි බොහෝ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවො මේ යථාර්ථය තේරුම් අරගෙන නැහැ කියලයි මට දනුණෙ. මේ තත්ත්වය ඔහුගෙ බොහෝ තිර රචනාවල දක්නට ලැබුණ. විශේෂයෙන් ම ‘‘වීරයා ගෙදර ඇවිත්’’ තිර රචනයේ මේ ලක්ෂණය අන්තර්ගත වුණා; ඇත්තට ම වීරයා ගෙදර ඇවිත් සමාජයට කිව්වෙ මොනවද කියල හුඟ දෙනෙකුට වටහාගන්න බැරිවුණා. අන්න ඒ නිසා තමයි මම ඒ නිර්මාණය ගැන ලියපු ලිපියෙ සිරස්තලය ‘‘විරයා ගෙදර ඇවිත් කිව්වෙ මොනවද...?’’ කියල යෙදුවෙ.

වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද? - ජයසිරි අලවත්ත

‘‘විරයා ගෙදර ඇවිත් කිව්වෙ මොනවද...?’

 

‘‘පීතෘ’’ නිර්මාණය තුළ වුනත් නාමල් කියන දේට වඩා නොකියන දේ බහුලයි. ඒ දේවල කියවාගත යුත්තේ ප්‍රේක්ෂක ප්‍රජාව. එහෙම කියවාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාමල් හෝ නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වගකිව යුතු නැහැ යන්නයි මගේ අදහස. කෙසේ වෙතත් වට්ටෝරු ටෙලි නිර්මාණ අතර වෙනස් මානයක ටෙලි නිර්මාණයක් නරඹන්න අවස්ථාව සලසල දුන්නට නාමල් ජයසිංහ නමැති තිර රචකයාට මෙන් ම ආනන්ද අබේනායක අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වෙන අතර ම ‘‘පිතෘ’’ තිර රචනය තුළ මා දුටු අඩුපාඩුවක් ද සටහන් කරමින් මෙම ලිපිය අවසන් කරන්නම්.

ඒ දුර්වලතාව තමයි Cyber අපරාධකරුවා අතට මේ විඩියෝව ලැබුණෙ කොහොම ද යන්න. මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ප්‍රජාවට උපකල්පනය කළ හැකි මාන කිහිපයක් ම තියෙනව. එකක් තමයි අදාළ හෝටල් කාමරයේ සියුම් කැමරා සවිකර ඇතැයි අනුමාන කිරිම. අනෙක තමයි ගෞරිගෙ දුරකතනය පොලිසියේ තිබූ කාල සිමාවෙ පොලිසිය ගෞරිගෙ දුරකතනය තවත් පුද්ගලයෙකු (Cyber අපරාධකරු) අතට පත්කිරීම.

මේ දෙවිදියට ම මෙවන් සිද්ධි වන නිසා පාඨකයාට තමන් කැමති විදියක් උපකල්පනය කරගන්න තිර රචකයා ඉඩ සැලසුවා ද දන්නෙ නැහැ. අනෙක් පසින් ගත්තම මේක ප්‍රබන්ධයක් නෙ... ඉතිං ප්‍රබන්ධයක දි සියල්ල ම යථාර්ථවාදී විය යුතු ද, තාත්වික විය යුතු ද යන්නත් මෙතෙක් නොවිසඳුණ පැනයක් නිසා අවසානයේ ඉතිරිවන්නෙ අපි එක් එක් පුද්ගලයාගේ උපකල්පනයට අනුව එය වටහා ගැනීම පමණයි.


කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/10



 ආලින්දයෙන් ඔබ්බට - ජයසිරිගේ වෙනත් ලිපි :


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා